“ඉදිරි මාස හයේදී හෝ මට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙයි!” රාජ්‍ය ඇමතිගේ අපේක්ෂාව

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට යුතුකම් ඉ‍ටු කිරීම සදහා ඉදිරි මාස හයේ දී හෝ තමන්ට මහවැලි, පරිසර වැනි කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව ඉඩම් කළමනාකරණ, රාජ්‍ය ව්‍යාපාර හා ඉඩම් දේපළ පිළිබද රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ (23) සවස පොලොන්නරුව ඓතිහාසික ගල්විහාර පුදබිමේ සංවිධානය කර තිබූ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.

අස්ගිරිපාර්ශවයේ අනුනායක පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි නාහිමිපානන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ‍රැස්ව සිටි ජනතාව ඇමතූ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේ ද කීය.

“අපේ රටට ආව සෑම අභියෝගයක් වේලාවේම රට බෙදෙන්න ගිය අවස්ථාවල, රට කැඩෙන්න ගිය අවස්ථාවල මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසයි මේ රට ‍රැකුණේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් අතිගරු අගමැති මහින්ද රාජපක්ෂ මැති තුමාත් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගන්න උපදේශක සභාවන් පිහිටවලා මහා සංඝරත්නයේ උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ. එතුමන්ලා යන පාරේ එදා මමත් සිතුවෙ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අපට තියෙනවා අභියෝග ගණනාවක්. එකක් ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ සියල්ලම ගොඩනගන්න මහා සංඝරත්නයේ උපදේශක සභාවක අවවාද අනුශාසනා, මග පෙන්වීම් ලබා ගෙන කටයුතු කරන්න ක්‍රියා කරනවා. පොලොන්නරුව දිස්ත්‍රික්කය විදිහට කැබිනට් මණ්ඩලය 30කට සීමා වුණු නිසා ඒ අවස්ථාව පොලොන්නරුව ට ලබා දෙන්න ජනාධිපතිතුමාට ඒ වෙලාවේ තිබ්බ ඉල්ලීම හා යුතුකම් එක්ක යම් අපහසුතාවකට පත් වෙන්න ඇති. නමුත් මට ලොකු විශ්වාසයක් තිබෙනවා ඉදිරියේ දී ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ අභියෝගාත්මක දිස්ත්‍රික්කයේ එදා ජනාධිපතිවරයෙකුට පි‍ටුපාලා පොලොන්නරුව දිස්ත්‍රික්කයම හිට ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක. ඒ නිසා පොලොන්නරුවේ ජනතාවට යුතුකම් ඉ‍ටු කරන්න ඉදිරියේ දී අනිවාර්යයෙන් ම ප්‍රධාන තනතුරක් ලබලා දේවි. අපට දැනට ලබා දී තිබෙන ඉඩම් රාජ්‍ය අමාත්‍ය ධූරය. එම රාජ්‍ය අමාත්‍ය ධූරය ලබා දුන්නාට ජනාධිපතිතුමාට අගමැතිතුමාට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැති තුමාට ස්තුති වන්ත වෙනවා. මාව හැදුවෙ බලාගත්තේ වෙන කවුරුවත් නෙමෙයි මේ අතිගෞරවනීය මහා සංඝරත්නයයි. අපේ කණ්ඩායමේ පොලොන්නරුව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්න හයිය ශක්තිය දුන්නු හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේ 4 දෙනෙක් පාර්ලිමේතු යන්න හැකියාව ලැබුණා. අතුකොරල මැතිතුමා. සිරිපාල ගමලත් මැතිතුමා ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මැති තුමා. පොලොන්නරුව දිස්ත්‍රික්කය ගොඩනගන්න දිස්ත්‍රික්කයේ නායකයා විදිහට මේ සියලු දෙනා එක්ක එකට කටයුතු කරන්න මම කිසිසේත්ම පසුබට වෙන්නේ නෑ. මොකද හේතුව පොලොන්නරුවේ ජනතාව වෙනුවෙන් අප කළ යුතු යුතුකම උපරිමයෙන් කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි ආරම්භ කළා අනාගත පොලොන්නරුව සැලැස්මක්. ඒ සැලැස්ම හදන්න මූලික ම හේතුව වුණේ මම ලොකුවට හිතුවේ මහවැලි පරිසර වගේ කැබිනට් ඇමති ධූරය පොලොන්නරුවට අපට ලැබෙයි කියලා. ඒ කෙසේ වෙතත් මේ අනාගත පොලොන්නරුව වැඩසටහන ලැබුණු ඇමතිධූරය හරහා කටයුතු කරනවා. ජනාධිපතිතුමා රාජාසන කතාවෙත් මුලින් ම සදහන් කළේ ඉඩම් ප්‍රශ්නය පිළිබදවයි. මට කිව්වේ රොෂාන් මම ලොකු බලාපොරොත්තුවක් ඇතුව මේක දෙන්නේ මේ ඉඩම් ප්‍රශ්න අවසන් කරන්න සාර්ථක කරලා දෙන්න ඔයාට පුළුවන් කියලා. මම කිව්වා කළ හැකි උපරිමය වසර 5ක් තුළ කරන්නම් කියලා. අපේ මහා සංඝරත්නය වෙනුවෙන් දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා. එදා අපට මතකයි වේඩරුවේ උපාලි නාහිමියන්ටත් අපහාස කළා. උන්වහන්සේලා වෙනුවෙන් මම මේ වගකීම් කරට අරගෙන කටයුතු කළේ කිසිම කෙනෙකුගේ සහයක් රාජපක්ෂලා බලයට ගේන්න අවස්ථාව නොදුන් වටපිටාවකයි. කිසිදු පක්ෂ භේදයකින් තොරව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව ට සේවය කරන්න කැපවෙනවා. දිස්ත්‍රික්කයේ දියුණුව වෙනුවෙන් අධ්‍යාපනයට සෞඛ්‍යට, ආර්ථිකයට, තරුණ ව්‍යවසායකයින් ගොඩනගන්න, ආගම සංස්කෘතිය වෙනුවෙන්, සංචාරක කර්මාන්තය වෙනුවෙන් අනුකමි‍ටුවක් බැගින් පිහි‍ටුවලා පොලොන්නරුවේ ජනතාවට උපරිම සේවයක් කරන්න ඓතිහාසික පොලොන්නරුව ගල්විහාර පුදබිමේදී මහා සංඝරත්නය ඉදිරියේ සපථකර සිටිනවා.”

 ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම