යෝජිත ත්‍රස්ත විරෝධී පනත නිළධාරීවාදයේ ප්‍රථිපලයක්….!

ATA Act in sri lanka

නිළධාරීන්ගේ අත්තනෝමතිකභාවය නිසා ධනාත්මක ප්‍රතිසංස්කරණ අනතුරේ…

රජය විසින් ඉදිරිපත්කරන්නට යෙදී තිබෙන ත්‍රස්ත විරෝධී පනතට මේ වනවිට සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් විවේචන රාශියක් ඉදිරිපත් කර තිබේ. මේ අතර අපවෙත වාර්තා වන්නේ එම පනත සම්පූර්ණයෙන්ම නිළධාරීන් පිරිසක් විසින් සකස් කරන ලද්දක් බවත් එය සකස් කිරීමේදී ජාත්‍යන්තර ප්‍රවනතා, නීති විද්‍යාත්මක කරුණු තුලනාත්මකව සැසඳීම් කිසිවක් සිදුකර නොමැති බවයි. මේ නිසාම රජය විසින් සිදුකරගෙන පැමිණි අත්‍යවශ්‍ය ධනාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන ද අප්‍රසාදයට පත්ව ඇති බව දේශපාලන විශ්ලේෂකයින් විසින් පෙන්වා දෙනු ලබයි.

ආරංචි මාර්ග සඳහන් කරනු ලබන ආකරයට මෙම පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කටයුතු කර තිබෙන්නෙ අමාත්‍යංශ කිහිපයක නීති නිලධාරීන් කිහිපදෙනෙක්, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ වත්මන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසකි.

නන්දිකඩාල් මානසිකත්වය ආණ්ඩුවේ හන්දි කඩයිද?

අමාත්‍යංශවල නීති නිලධාරීන් යනු පනත් කෙටුම්පත් සැකසීම පිළිබඳව නීති විද්‍යානුකූලව අධ්‍යයන කරනු ලබන පිරිසක් නොව අමාත්‍යංශවල එදිනෙදා නඩු කටයුතු සඳහා කටයුතු කරන පිරිසකි. එමෙන්ම අමාත්‍යංශ ලේකම්වරු යනු පරිපාලන නිළධාරීන්ය. ඔවුන්ට ජාත්‍යන්තර ප්‍රවණතා, පනතක බලපෑම සෙසු සමාජය සහ අනාගත පරපුර කෙරෙහි බලපානු ලබන ආකාරය සහ දේශපාලන සමාජ විද්‍යාත්මක තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් නොමැත. ඔවුන් හැකිතාක් තමන්ට බලය උපරිම කරගෙන උපරිම බලයක් භුක්තිවිඳීමට ආසවක් ඇත්තෝ වෙති.

දේශපාලනඥයින්ට මෙන් ඔවුන්ට වසර පහක් අවසානයේ මහජනතාව ඉදිරියට යාමට අවශ්‍ය වන්නේද නැත. විශේශයෙන්ම යුධ මානසිකත්වයකින් සිටින නිළධාරීන් රටේ සාමන්‍ය නීති සම්පාදනයට දායක කරගැනීම අතිශය බැරෑරුම් තත්වයකි. මේ නිසා ඕනැම ආණ්ඩුවක මහජන හිතකාමී ස්වරූපයන් අභියෝගයට ලක්විය හැකිය.

අනාගතය කෙබඳුද?

මෙම තත්ත්වය තුළ මෙම පනත් කෙටුම්පත සඳහා එල්ලවන සිවිල් සමාජ විවේචනය සහ මහජන විරෝධය නිසා ආණ්ඩුව විසින් සිදුකරගෙන යනු ලබන අත්‍යවශ්‍ය ධනාත්මක ප්‍රතිසංස්කරණ සඳහා වන මහජන ප්‍රසාදය ද වියැකී යා හැක. එම තත්ත්වය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පූර්ණ වශයෙන් අකර්මණ්‍ය වීමට හේතුවනු ඇත. එමෙන්ම මෙම තත්වයන් වලක්වා ගැනීමට රජය වහ වහා කටයුතු කල යුතුව තිබේ.

අපවෙත ලැබෙන ආරංචි මාර්ග අනුව රජය ගෙන ඒමට නියමිත ජනසභා පනත, සත්‍ය හා සංහිඳියා කොමිෂන් සභා පනත, පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත, රාජ්‍ය නොවන සංවිධන නියාමන පනත, සමාජ සාධාරණත්ව කොමිෂන් සභා පනත ආදී වැදගත් පනත් කෙටුම්පත් කිහිපයක්ම මේ වනවිට නිළධාරීන්ගෙ අත්තනෝමතික මැදිහත්වීම් සහ නිලධාරී කමිටුවල ප්‍රමාදයන් නිසා පමාවීමේ ලකුණු පිළිබඳ වාර්තා වේ. එමනිසා එම තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිට ප්‍රතිසංස්කරණ ජනතාවාදීව සිදු කිරීමට කටයුතු කිරීම රජය කරවන දේශපාලන බළධාරීන්ගේ වගකීමක් බව සිවිල් සමාජ ක්‍රියාකාරීන් රාශියක් විසින් මේ වනවිට දැඩිව අවධාරණය කර ඇත.

Social Sharing
නවතම විශේෂාංග