‘දැරණියගල එකතුව’ට මොකද වුණේ?

ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සහ එතුමාගේ පියාණන් වූ පී. ඊ. පී. දැරණියගල මහතා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව පිළිබඳ සිදුකළ මෙහෙය අනූපමය. එබඳු ලෝක පූජිත ප්‍රාමාණික විද්වතුන් දෙපලක් නොලබන්නට ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් තවමත් ඉතා ප්‍රාථමික තලයක තිබෙන්නට ඉඩ තිබුණි.

පී. ඊ. පී. දැරණියගල මහතා සතු වූ, මෙයින් වසර 150,000ක් පමණ වන සන්ධර්භයකට අයත් වේ යැ’යි සැලකෙන බූන්දල පතිරාජවෙලින් සොයාගත් ගල් ආයුධ සමූහය ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතා භාරයේ තිබූ බටදොඹලෙන ආදී තෙත් කලාපීය ගුහා ප්‍රාග් ඓතිහාසික මානව වාසස්ථානයන්ගෙන් හමුවූ ‘බලන්ගොඩ තුඩ’ (Balangoda Point) නමින් හඳුන්වන මින්පෙරවසර 37,000 ක් දක්වා දිවෙන සන්ධර්භයකට අයත් ක්ෂුද්‍ර ශිලා මෙවලම් ඇතුළු එතුමා සතුව තිබූ අනෙකුත් ක්ෂුද්‍ර ශිලා මෙවලම් ද අනුරාධපුර ඇතුළුනුවර කැනීමෙන් හමු වූ ක්‍රි.පූ. 5 වන සියවසට කාල නිර්ණය කරන ලද පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි භාජන ශේෂයන් ද ඇතුළු ආචාර්ය ශිරාන් දැරණියගල මහතා භාරයේ තිබූ මානවකෘති එකතුව මේ වන විට දැයට අහිමි වී යෑමේ දැඩි අවදානමකට පත්ව ඇති බව හිටපු පුරාවිද්‍යා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා අද උදෑසන කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ විශේෂ දේශනයක් පවත්වමින් පැවසීය.

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ආචාර්ය ශිරාන් දැරණියගල මහතා 2021 වසරේ දී හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර එකී මිලකළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත මානවකෘති එකතුව මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙහි ඒවා තිබූ තැනින් බැහැර කොට ඇති බවත් එම එකතුව සුරක්ෂිත කිරීමට නිසි වැඩපිළිවෙලක් තවමත් සැකසී නැති බවත් පැවසූ එතුමා, තමන්ගෙන් පසු ඒ එකතුව පිළිබඳව එහි සියළු පසුබිම් තොරතුරු ද සහිතව හොඳින් දන්නා කෙනෙකු නොමැති බවත් හදිසියේ තමන් ද අභාවයට පත් වුවහොත් ඒ ඒ මානවකෘති වල අදාළ සන්දර්භයන් සමඟින් ඒවා වර්ගීකරණය කොට සංරක්ෂණය කිරීම කෙසේ සිදු කරාවිදැ’යි සිතා ගත නොහැකි බවත් සංවේගයෙන් යුතුව පැවසීය.

ජාතික උරුමයන් ලෙස ඒ මානව කෘතීන්ගේ වටිනාකම කිසිසේත් ම ලඝු කොට තැකිය නො හැකිය. උදාහරණයක් ලෙස අනුරාධපුර ඇතුළු නුවර කැණීමෙන් ලැබුණු ක්‍රි.පූ. 5 වන සියවසට දිවෙන පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි භාජන ශේෂයන් විදේශීය විද්වතුන් පවා විමතියට පත් කළ අතර එය මෙතෙක් ඉන්දීය උපමහාද්වීපයෙන් හමු වූ ඉපැරණි ම පූර්ව බ්‍රාහ්මී අක්ෂර සාධක අතර වේ. එම ‘දැරණියගල එකතුව’ පිළිවෙලට සකසා සංරක්ෂණය කිරීමට ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සමීපව ඇසුරු කරමින් ඒ පිළිබඳව දැනුවත් භාවයෙන් යුතුව සිටි තමන්ට සහ ආචාර්ය කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්මාට මීට පෙර අවස්ථාවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආරාධනා කොට තිබුණ ද ඒ සඳහා යන විට එකී එකතුව මලු වලට දමා කැණීම් අංශයේ තබා එම කාමරය වෙනත් පරිපාලන කටයුත්තක් සඳහා ලබා දී තිබූ බවත් එනිසා ආපසු හැරී ඒමට සිදු වූ බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් මෙම එකතුව මේ වන තෙක් නිසි පරිදි ලේඛන ගත කොට නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධික කාර්යබහුලත්වයත් කාර්යමණ්ඩල අවම වීමත් නිසා ඇතැම්විට මෙය දිනෙන් දින කල් යනවා වන්නට පුළුවන. කෙසේ නමුත් මේ ජාතික උරුමය අනාගත පරපුර වෙත නිසි පරිදි දායාද කළ යුතුව ඇත. මෙම මානව කෘතීන්ගේ වටිනාකම ඔප් නැංවෙන්නේ ඒවා සොයාගත් සන්ධර්භයන් ආදී වැදගත් ශාස්ත්‍රීය තොරතුරු සමඟින් අනාගතයට දායාද වුවහොත් පමණි. නැතිනම් ඒවාද ආතක් පාතක් නැතිව ගබඩාවක සිර වූ ‘තවත් පුරාවස්තු සමූහයක්’ පමණක් වීමට ඉඩ තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමනි, ඔබතුමා කාරුණිකව මේ කර්තව්‍ය සඳහා මැදිහත් වී ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ සහ ආචාර්ය කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්මාගේ සහාය ලබාගෙන ‘දැරණියගල එකතුව’ නිසි පරිදි ලේඛන ගත කොට, ඔබ දෙපාර්තමේන්තුවට අයත් කෞතුකාගාරයක එම ජාතික වස්තූන් නිසි පරිදි ස්ථානගත කරමින් දැයේ අනාගත පරපුර වෙත සුරක්ෂා කොට දෙන මෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමි. එවිට ඒවාට නිසි වටිනාකම ලැබෙන්නා සේ ම ඒ පිළිබඳ අධ්‍යනය කරනු කැමති විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට ද මහජනතාවට ද එම වටිනා මානව කෘතීන් අඩුම තරමේ දැකීමට හෝ අවස්ථාවක් ලැබෙනු ඇත.
තෙරුවන් සරණයි!

මෙයට,
අළුදෙණියේ සුබෝධි ස්ථවිර
ව්‍යවහාර වර්ෂ 2023ක් වූ අප්‍රේල් මස 09 වන දින දී ය.

Social Sharing
අවකාශය නවතම