ආදරය ඉදිරියේ ඔබට ෆුජී කන්ද වෙන්න පුළුවන් ද?

-මහේෂ් හපුගොඩ-

‘උදය වලාකුළු’ කෙටි කතාවේ යසුනරි කවබත උත්සාහ කරන්නේ තරුණ වියට එළඹෙමින් ඉන්න ශිෂ්‍යාවක්ගේ දර්පණ අවදිය (mirror stage) එයාටම තේරුම් ගන්න ඉඩ හසර හදන එක. අලුත ඉස්කෝලෙට ආපු කිකුයි මිස් කියන ගුරුවරී ගොඩක් ලස්සන කෙනෙක්. ඉස්සර ගුරුතුමා වගේ නෙවෙයි. ඇසූ පිරූ තැන් ගොඩක් නැති උනාට ‘ලස්සන’ කියන එකේ පරිපුර්ණ බවට (perfection) ආසන්න උන කෙනෙක්. කොහොමත් පරිපුර්ණ කියල හිතෙන දෙයක් දිහා ඉබේටම ඇහැ යනවා.

ලස්සන උණාට එයා වලාකුළක් වගේ. වලාකුළු ලස්සනයි. හැබැයි වේගෙන් වෙනස් වෙනවා. ගමනාන්තයක් නැතුව ගමන් කරනවා. එක එක ස්වරූප ගන්නවා. පස්සේ නැතිවෙලා යනවා. ඉතුරු වෙන්නේ මතකයක් විතරයි.

ඉතින් කිකුයි මිස් දිහා බලාගෙන ඒ පරිපුර්ණ බවට ආසන්න වෙමින් තිබ්බ ස්ත්‍රී ලස්සනට ආශා කරන ශිෂ්‍යාව තමයි මියකෝ සන්. ඒ ආශාව ගොඩක් දුරදිග ගිය හද පතුළෙන් ආපු එකක්. ලේ රත්කරන එකක්. දවස් ගණන් වැතිරිලා ඔහේ මනෝ ගහන ජාතියේ එකක්. ශරීරය ගිනියම් කරන ජාතියේ එකක්. කතා කරන්න ඕනි උනත් වචන නැති ජාතියේ එකක්. වචන ගොත ගැහෙන එකක්. තෘෂ්ණාවෙන් පිරුණ එකක්. කවදාහරි එයාට වඩා ලස්සන වෙලා එයා දිනාගන්න ඕනි කියල හිතෙන කාලය ගැන ඉවසිල්ලක් නැති එකක්. පව් කරන්න ඕනි කියල හිත එඩිතර කරන ජාතියේ එකක්.

ඒ තෘෂ්ණාධික ආදරය ප්‍රකාශ කරලා මියකෝ අනන්ත වාරයක් කිකුයිට ලියුම් ලියනවා. ලියනවා ලියනවා. උමතුවෙන් වගේ ලියනවා. එකක් පස්සේ එකක් විදියට වැළ නොකැඩී ලියුම් ලියනවා. ප්‍රතිචාර නැති නිසා, පියුම් මාම විශ්වාස නැති නිසා, දන්න කෙනෙක් අතේම යවනවා. ඒත් උත්තර නැහැ. සියල්ල හිස්. ගැඹුරු නිශ්ශබ්ද බවක ගිලිලා.

වෙහෙස වෙච්ච මියකෝ අන්තිමට කරන්නේ ලියුම් ලියන එක නතර කරන එක. ඒ නතර කරපු මොහොතේ ඉඳල එයාට තේරෙන්න ගන්නවා වචන වෙනුවට කඳුළු විතරක් දිනපොතේ පිටු අතර ශේෂ වෙන බව. කඳුළු වලින් වචන විසංයෝනය කරන්න පුළුවන් බව.

එතැන් සිට ආරම්භ වෙනවා කතාවේ හැරවුම වගේම මියකෝගේ ජීවිතේ හැරවුම (twist). වචන වලින් පිරුණු බාලිකා සමයේ අවසානය සනිටුහන් වෙලා වචනයට නගන්න බැරි වගකීම් සහගත තරුණ වියක ආරම්භය. වචනයට නඟන්න බැරි පුනර්භවයක ආරම්භය. ඇයගේ ගෞරවයට පාත්‍ර වන විදියේ රූපාන්තරණයක් (metamorphosis) නැතුව ඇගේ ආදරය දිනා ගත නොහැකි බව. මෙන්න මේක නේද ඔය ලකාන් පාසැලේ උගන්වන දර්පණය? අනෙකාගේ ඇස තුළින් ‘මම කවුද’ කියන ප්‍රශ්නෙට ලබන උත්තරය?

මියකෝ සන් කියන්නේ ‘පොඩි ළමයෙක්මත් නෙවෙයි’ කියල දවසක් කිකුයි ගුරුතුමී කියන එකේ බර ඇත්තටම දැනෙන්න ගන්න එක තමයි එයාගේ වැඩිවිය පැමිණීම වෙන්නේ. ඒ කියන්නේ ගුරුවරිය කිව්ව දේ තමන් තුළ අර්ථවත් කර ගන්න එක. යුංගියානු පාසලේ අරුතින් කිව්වොත් පරිණත වෙන එක. වමේ සාහිත්‍යය ඇතුලේ කිව්වොත් සහේට ගන්නවා වෙනුවට අල්තිනායි නගරයට යවන එක. හමුවීම වෙනුවට වෙන්වීම. ඒ වෙන්වීම ඇතුලේ ඇත්තටම හමුවීම.

පරිපුර්ණ ලස්සන කියන්නේ මොකක්ද කියල තේරුණාම කඳුළු නතර වෙනවා නම්, වඩාත් යහපත වෙත සිත යනවා නම්, ජීවිතය කියන්නේ වලාකුළක් නෙවෙයි සිසිපියානු මහා කන්දක් කියල තේරෙනවා නම් මොකක්දෝ වෙනසක් ඔබ තුළ සිදුවෙලා තියනවා. ඒ කියන්නේ කිකුයි මිස් යන දුම්රිය කන්දට මුවාවෙලා අන්තිමට වලාකුළු අතර නොපෙනී යනකොට හැමෝම කෑ කොස්සන් ගහද්දි ඔබ නිශ්ශබ්ද නම්, ඔබේ හිත සන්සුන් නම්, එහෙනම් මොකක් දෝ විපරිණාමයක් ඔබ තුළ සිදුවෙලා. ඒක තමයි කිකුයි මිස් ගේ ඇත්ත ත්‍යාගය. වචන නැති බවේ ත්‍යාගය. වචන වලට වැඩි ත්‍යාගය.

අපරිණත බවෙන් පරිණත බවට ගමන් කරන්න එයා ඔබට උදව් වෙලා. ඒ වෙනුවෙන් කණ්ණාඩියක් ත්‍යාග කරලා. මා දිහා බලන්න. ඒ එක්කම ඔබ ඔබ දෙසත් බලන්න.

ඒ කියන්නේ මේ සියල්ල ඔස්සේ ඔබ වැඩිහිටියෙක් බවට පත් වෙලා. ශිෂ්ටාචාරයේ බර කරට ගන්න ඔබට දැන් පුළුවන්. ‘ඉපදීම’ (becoming) කියල නීට්ෂ කියන්නේ මේකට. ඒ බර උසුලන්න ඔබට පුළුවන් නම් දෙවියන්ගේ පණිවිඩය තේරුම් ගන්න එක අමාරු නැහැ. යේසුස් ඒ බර දැරුවා. ඒ නිසයි එයා යේසුස් උණේ. එහෙම බර දරාගන්න පුළුවන් ජාතියකට අළු මතින් නැගිටින්නත් අමාරු නැහැ.

ආදරය ඉදිරියේ ඔබට ෆුජී කන්ද වෙන්න පුළුවන් නම්, එහෙනම් ඔබට ජපන් ආත්මය තේරුම් ගන්න පුළුවන්.

ජපන් ආදරයේ නිශ්ශබ්ද බව වෙනුවෙන් මේ සටහන.

 

Social Sharing
අවකාශය නවතම