යහපාලන දූෂණ මර්දන කමිටුවේ සිටි කවුද මේ මාලිමාවේ ආනන්ද විජේපාල?

– අජිත් පැරකුම් ජයසිංහ –

ආනන්ද විජේපාල යනු යහපාලන සමයේ හොරු ඇල්ලීම සඳහා පිහිටුවන ලද අනුර කුමාර දිසානායක ලේකම් ධුරය දැරූ බව කියන දූෂණ විරෝධී කමිටුවෙහි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයායි. ඔහු අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ 2004-2005 සමයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ කළ අනුර කුමාරගේ හිතවතෙකි.

යහපාලන රජයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පිහිටුවූ දූෂණ විරෝධී කමිටුව ව්‍යවස්ථා විරෝධී, නීති වි‍රෝධී කමිටුවක් බවට 2015-19 අතර කාලයේ සිදුවූ දේශපාලන පළිගැනීම් ගැන විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

කුමක් වුවත්, එය ඉතා අසාර්ථක ව්‍යාපෘතියක් වූ අතර, ඒ ඔස්සේ පවරන ලද නඩු බොහොමයක් අසාර්ථක විය. එමගින් අවසානයේදී සිදු වූයේ බොහෝ දූෂණ චෝදනා බොරු බව ඔප්පු වීම පමණකැයි කෙනෙකුට තර්ක කළ හැකිය.

2017 ජුනි මාසයේදී මෙම ලේකම් කාර්යාලය වසාදමන ලදි. ඒ දක්වා නීතිපති දෙපාර්තමේන්තුව හරහා චෝදනා ගොනුකරන ලද නඩු 42කට මෙම දූෂණ මර්දන කමිටුවේ විශේෂඥ උපදෙස් ලැබුණු බව වාර්තා වේ.

දූෂණ විරෝධී කමිටුවේ මගපෙන්වීම ඔස්සේ නිර්මාණය කරන ලද පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (FCID) සම්බන්ධයෙන් ද ගැටලු පවතී.

වසර තුනක කාලයක් ක්‍රියාත්මක කරන ලද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ සේවකයන් 44දෙනාගේ වැටුප් හා දීමනා, දුරකතන, විදුලිය හා ජලය බිල්, අතිකාල සහ නිවාඩු දින වැටුප්, වාහන නඩත්තුව, ඉන්ධන හා ලිපිද්‍රව්‍ය වෙනුවෙන් රුපියල් 33,714,807ක මුදලක් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් වැයකර ඇති බව පසු කලෙක අනාවරණය වේ.

මෙම කමිටු ලේකම් කාර්යාලයේ ඉහළම තනතුරක සිටි පුද්ගලයෙක් රාජ්‍ය සේවකයකු ලෙස වැඩ කරන අතරතුර මසකට රුපියල් 47,015.00 මුදලක් ද ලබා ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, ආනන්ද විජේපාල දූෂණ විරෝධී කමිටුවේ තනතුර වෙනුවෙන් වසර තුනක කාලයක් තුළ රු. ලක්ෂ 12ක් වැටුප් ලෙස ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.  පසු කලෙක ඔහු යහපාලන රජය විසින් හානිපූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙස පත්කර තිබිණි.

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයකු වන ආනන්ද විජේපාල මෙවර මාලිමාව ලකුණින් ගල්ගමුව ප්‍රාදේශීය සභාවට තරග කරන්නේ කණ්ඩායම් නායකයා ලෙසයි. දූෂණ විරෝධී කමිටුව සමාජිකයන් 22ක් සහිත වූ අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ එවකට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහය.

එහි සෙසු සාමාජිකයන් ලෙස හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, චම්පික රණවක, රාවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක යන අය කටයුතු කර තිබුණි.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම යන දෙදෙනාත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, නීතිඥ ජේ. සී. වැලිඅමුණ, ආනන්ද විජේපාල, පී. ප්‍රේමශාන්ත, නිහාල් අමරසිරි, සුජාතා කුමාරි, අයි. වීරරත්න, තුසිත් මුදලිගේ, ලාල් නානායක්කාර, අනුෂ කුමාරස්වාමි, දිනේෂ් පෙරේරා සහා හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන පිරිස ද එහි සාමාජිකයෝ වූහ.

යහපාලන රජය හොරු ඇල්ලුවේ නැති බව කීව ද ඇත්තටම සිදු වූයේ හොරුන් ඇල්ලීම සඳහා හොර මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇනගැනීමයි. එම මෙහෙයුමට නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව දැන් ඉතා පැහැදිලිය.
මහින්ද රාජපක්ෂ 2010 ජනාධිපතිවරණයෙන් පසු ප්‍රතිවාදී අපේක්ෂක සරත් ෆොන්සේකාගෙන් පළිගත් ආකාරයට හොරුන් ඇල්ලිය නොහැකි බව ඉතා පැහැදිලිය.

දූෂණ මර්දනය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියේ පනතක් නුදුරු කාලයේදී ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Social Sharing
නවතම විශේෂාංග