2023 ගෙවිය යුතු ණය..!

imf loan sri lanka economic crisis rajith keerthi tennakoon

ගෙවුණු 2022 වසර අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 83,595ක්. රුපියල් බිලියන 30,355ක්. මේවා හරියටම ගණන්. මෙයින් ඩොලර් මිලියන 76,758ක් (රුපියල් බිලියන 27,872ක්) මධ්‍යම රජයේ ණය. ඉතිරි කොටස රාජ්‍ය සංස්ථා වල සහ මහ බැංකුවේ ණය.

පහත තියෙන්නේ පොලී ගෙවීම්ද ඇතුළත්ව ඉහත ණය ප්‍රමාණයෙන් 2023 වසර තුළ ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය. ඒ කියන්නේ 2023 වසරේ ණය සේවාකරණ අවශ්‍යතාවය. පැහැදිලිව මතක තියාගන්න මේ 2023 වසර තුළ ගෙවිය යුතු ප්‍රමාණය පමණයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට – ඩොලර් මිලියන 212යි
ලෝක බැංකුවට – ඩොලර් මිලියන 284යි
ආසියානු සංවර්ධන බැංකුවට – ඩොලර් මිලියන 521යි
අනෙකුත් බහුපාර්ශවීය ණය දෙන ආයතන වලට – ඩොලර් මිලියන 63යි.
බහුපාර්ශවීය ණය දෙන ආයතන වලට වසර තුළ ගෙවිය යුතු මුළු මුදල – ඩොලර් මිලියන 1,080යි

ජපානයට – ඩොලර් මිලියන 197යි
පැරිස් සංසදයේ අනෙකුත් රටවලට – ඩොලර් මිලියන 276යි
චීනයට -ඩොලර් මිලියන 596යි
ඉන්දියාවට – ඩොලර් මිලියන – 653යි
පැරිස් සංසදයට අයත් නැති අනෙක් රටවලට – ඩොලර් මිලියන 33යි
වසර තුළ ගෙවිය යුතු ද්විපාර්ශ්වීය ණය හා පොලී එකතුව – ඩොලර් මිලියන 1,755යි

ස්වෛරිත්ව බැඳුම්කර – ඩොලර් මිලියන 2,010යි
චීන සංවර්ධන බැංකුවට – ඩොලර් මිලියන 477යි
අනෙකුත් වාණිජ ණය – ඩොලර් මිලියන 2යි.
වාණිජ ණය එකතුව – ඩොලර් මිලියන 2,489යි

ඉන්දියාව සමඟ මුදල් හුවමාරු ගිවිසුම – ඩොලර් මිලියන 400යි
බංග්ලාදේශය සමඟ මුදල් හුවමාරු ගිවිසුම – ඩොලර් මිලියන 200යි
චීනය සමඟ මුදල් හුවමාරු ගිවිසුම – ඩොලර් මිලියන 1,433යි
මුදල් හුවමාරු ගිවිසුම් එකතුව – ඩොලර් මිලියන 2,033යි

වෙනත් රටවල නීති යටතේ ලබාගෙන ඇති ණය වෙනුවෙන් වසර තුළ ගෙවිය යුතු මුළු ණය වාරික හා පොලී මුදල – ඩොලර් මිලියන 7,356යි.

මෙම මුදල ගෙවිය යුතුව තිබෙන්නේ වෙනත් රටක නීතියක් යටතේ බැවින් ලංකාවට ඒක පාර්ශ්වීයව මෙම ණය මුදල නොගෙවා සිටීමේ හැකියාවක් නැහැ. ණය නොගෙවා සිටිය හැක්කේ ද්විපාර්ශ්වික එකඟත්වයක් මගින් පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් තුළ සිදු වන්නේ එයයි.

ඉහත මුදලින් ඩොලර් මිලියන 2,506ක් ගෙවිය යුතුව ඇත්තේ චීනයටයි. ඉන්දියාවට ඩොලර් මිලියන 1,053ක් ගෙවිය යුතුයි. (ඉන්දියාවට ගෙවිය යුතු ඩොලර් බිලියන 2ක පමණ ආසියානු නිෂ්කාශන සංගම් පියවීම් මෙම ගණනට ඇතුළත් නැහැ.)

දේශීය නීතිය යටතේ ලබාගෙන ඇති ණය:
වසර තුළ භාණ්ඩාගාර බිල්පත් කල්පිරීම් – ඩොලර් මිලියන 10,404යි
බැඳුම්කර කල් පිරීම් හා කූපන් පොලී – ඩොලර් මිලියන 6,106යි
අනෙකුත් ණය – ඩොලර් මිලියන 3,862යි

දේශීය නීතිය යටතේ වසර තුළ ගෙවිය යුතු ණය වාරික හා පොලී වියදම් එකතුව – ඩොලර් මිලියන 20,372යි.

දේශීය නීතිය යටතේ සහ වෙනත් රටවල නීති යටතේ ලබාගෙන ඇති ණය වෙනුවෙන් වසර තුළ ගෙවිය යුතු මුළු ණය වාරික හා පොලී මුදල – ඩොලර් මිලියන 27,727යි.

මෙම මුදල රුපියල් වලින් රුපියල් බිලියන 10,065ක්.

වසර තුළ අපේක්ෂිත මුළු රාජ්‍ය ආදායම:
බදු ආදායම – රුපියල් බිලියන 3,130යි
බදු නොවන ආදායම – රුපියල් බිලියන 278යි
ප්‍රදාන – රුපියල් බිලියන 12යි
එකතුව – රුපියල් බිලියන 3,280යි

ඇස්තමේන්තුගත වියදම්:
රාජ්‍ය සේවක වැටුප් – රුපියල් බිලියන 1,012යි
භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් – රුපියල් බිලියන 300යි
සහනාධාර – රුපියල් බිලියන 1,104යි
ප්‍රාග්ධන වියදම් – රුපියල් බිලියන 1,073යි
පොලී ගෙවීම් හා ණය ගෙවීම් හැර මුළු වියදම – රුපියල් බිලියන 3,489යි

වසර තුළ වියදම් වෙනුවෙන් අරමුදල් අවශ්‍යතාව – රුපියල් බිලියන 209යි.

මම හිතන්නේ දැන් තත්ත්වය පැහැදිලි ඇති. මේ වසරේ රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 209ක් ණයට අරගෙන වියදම් කරන්න වෙනවා. ඊට අමතරව වසර තුළ ණය හා පොලී ගෙවන්න තවත් රුපියල් බිලියන 10,065ක් ණයට ගන්න වෙනවා.

වියදම පැත්තකින්ම තියමු. බදු වැඩි කරලා, රාජ්‍ය ආයතන විකුණලා අමාරුවෙන් එකතු කරගන්න රුපියල් බිලියන 3,280ක ආදායමකින් ණය නොගෙන රුපියල් බිලියන 10,065ක ණය වාරික හා පොලී ගෙවිය හැකි ක්‍රමය කාට හරි කියන්න පුළුවන්ද?

රාජ්‍ය සේවක වැටුප්, සහනාධාර, ප්‍රාග්ධන වියදම් ආදී සියල්ලම එක්ක රජයේ වියදම රුපියල් බිලියන 3,489යි. හොරකම්, දූෂණ ආදිය වෙනවානම් ඒ සියල්ල තියෙන්නේ ඔය ගණන ඇතුළේ. හොරකම්, දූෂණ නවත්වලා ණය නොගෙන රුපියල් බිලියන 10,065ක ණය වාරික හා පොලී ගෙවිය හැකි ක්‍රමය කාට හරි කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් වියදම් කපලා ඔය වැඩේ කරන විදිහ කාට හරි කියන්න පුළුවන්ද?

සමහර අය තවමත් සිහින ලෝක වල හිටියට ඕවා සුරංගනා කතා පමණයි. ප්‍රායෝගිකව නෙමෙයි සෛද්ධාන්තිකවවත් කරන්න බැහැ. කරන්න පුළුවන් එකම දෙය ක්‍රමයෙන් ආදායම් වැඩි කරගෙන, ආදායම හා ගැලපෙන තරමට වියදම් කරමින් ණය ගෙවන්න කීයක් හෝ ඉතිරි කරගන්න එක. එතෙක් දිගටම ණය ගන්න වෙනවා. ඒ වගේම, ගෙවාගන්න බැරි ණය ගෙවන්න කල් ඉල්ලාගන්න වෙනවා. ඕක තමයි අවුරුදු 75ක සමාජවාදී හා ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති වල අවසාන ප්‍රතිඵලය.

කොයි තරම් කාලයකටද?

අඩුම වශයෙන් අවුරුදු 25ක්වත් යනතුරු ඔය ණයෙන් ගොඩ එන්න බැහැ. පුළුවන්නම් ක්‍රමය කියන්න. එහෙම හරි ගොඩ එන්න පුළුවන් මේ වගේ සැලසුම්සහගත වැඩපිළිවෙලක් එපමණ කාලයක් එක දිගට ක්‍රියාත්මක කළොත් පමණයි. එහෙම නැත්නම් වෙන්නේ මේ වැටුණා වගේ කිහිප ගුණයක් විශාල අගාධයකට වැටෙන එක පමණයි.

මම හිතන්නේ මේ තරම් පුළුල් ස්ථායීකරණ වැඩපිළිවෙළක් මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම වුනත් ලංකාව වෙනුවෙන් හදලා නැහැ. එහෙම හදන්න තරම් අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. කලින් වාර වල තිබුණේ අවුරුදු හතර පහකින් ගොඩදාගන්න පුළුවන් තාවකාලික ප්‍රශ්න.

දැන් තත්ත්වය කලින් වාර වල මෙන් සැහැල්ලුවට ගන්න පුලුවන් එකක් නෙමෙයි. මෙවර කලින් වාර වල මෙන් අරමුදලට තනියම රට ස්ථායී කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වැඩේට බටහිර රටවල, චීනයේ, ඉන්දියාවේ උදවුව අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ සැරෙත් මේ ස්ථායීකරණ ක්‍රියාවලියෙන් පිට පැන්නොත් එහෙමවත් ගොඩදාන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න බැරි වෙනවා. සහසුද්දෙන්ම කතාව ඕකයි.

සමහර අය මෙම ස්ථායීකරණ වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා එක්ක අනන්‍ය ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අය වාමාංශික අදහස් දරන අය බවයි පෙනෙන්නේ. මේක රනිල් හදපු එකක් නෙමෙයි. රනිල්ට හෝ වෙනත් තනි පුද්ගලයෙක්ට හදන්න පුළුවන් වැඩපිළිවෙළකුත් නෙමෙයි. පසුව යම් යාවත්කාලීන කිරීම් කර ඇතත් මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් බාහිර උපදේශකයින් සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙළ සකස් කළේ වසරකට පමණ පෙරයි.

ඒ වගේම, මේක රනිල් වික්‍රමසිංහට හෝ කවුරු හෝ රටේ ජනාධිපතිවරයාට තනිව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළකුත් නෙමෙයි. මහ බැංකුව ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය, බැංකු පද්ධතිය, ව්‍යාපාරික ප්‍රජාව, බාහිර පාර්ශ්වයන් මෙන්ම සාමාන්‍ය මහජනතාවටද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම තුළ යම් කාර්යභාරයක් තිබෙනවා. එහෙම නැතුව වැඩපිළිවෙලක් තිබුණු පමණින් සියල්ල හරියන්නේ නැහැ. හැබැයි හරියන්න හෝ වැරදෙන්න පළමුව නිවැරදි වැඩපිළිවෙලක් අවශ්‍යයි. දැන් ඒක තිබෙනවා.

වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහගේ නොවුනත් ඔහු මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් සෘජු ලෙස පෙනී සිටිනවා වගේම එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැපවීමක් පෙන්වනවා. සමහර අය මෙම වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා එක්ක අනන්‍ය ලෙස දකින්නේ ඒ නිසා වෙන්න ඇති.

සමගි ජන බලවේගය විසින් මෑතකදී ඔවුන්ගේ වැඩපිළිවෙළ කියා එකක් ඉදිරිපත් කළා. කලින් ඉදිරිපත් කළ එකම යාවත්කාලීන කිරීමක්. දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන මේ වගේ ප්‍රතිපත්ති රාමුවක් කවදාවත් අරමුදල විසින් සකසා ඇති ආකාරයේ විස්තරාත්මක සැලසුමක් වෙන්නේ නැහැ. එහෙම වෙන්න අවශ්‍යත් නැහැ.

මේ වගේ සංකීර්ණ තාක්ෂනික කටයුත්තක් කළ හැකි අය ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය නැතිව මහ බැංකුවට වුනත් තනිව මේ වගේ දෙයක් කළ හැකියි කියා මම හිතන්නේ නැහැ. වැඩපිළිවෙළ මුළුමනින්ම තේරුම් ගන්න පුළුවන් අය වුනත් ඔය දේශපාලන පක්ෂ ඇතුළේ ඉන්නවානම්, ඔවුන්ගේ බාහිර උපදේශකයින්ද ඇතුළුව, එක අතක ඇඟිලි ගණනට වඩා අඩුවෙන්. සමහර දේශපාලන පක්ෂ වලනම් කවුරුවත්ම නැහැ. දේශපාලන පක්ෂයකට කරන්න පුළුවන් ඔවුන්ගේ පක්ෂයේ දේශපාලන දර්ශනය මත පදනම් වූ, වැඩපිළිවෙළකට පාදක කරගත හැකි, කතාවක් ඉදිරිපත් කරන එක පමණයි.

සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ එවැනි කතාවක්. ඒ කතාව මත පදනම්ව ස්ථායීකරණ වැඩපිළිවෙළක් හදන්න පුළුවන්. මේ වන විට හදා තිබෙන වැඩපිළිවෙළ සජබ කතාව මත පදනම්ව හැදිය හැකි ආකාරයේ එකක්. නමුත්, සජබ කතාව සමග ගැලපෙන පරිදි හැදිය හැකි එකම වැඩපිළිවෙළ නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ කතාව හා ගැලපෙන තරමක් වෙනස් වැඩපිළිවෙළක් වෙන්න පුළුවන්. ඒක එහෙමනම්, ඒ වෙනස් විය යුතු තැන් මොනවාද කියා පැහැදිලිව කියන එක ඒ අයගේ වැඩක්.

ඒ කතාව හා මේ කතාව හැර වෙනත් කතා ඇත්නම් ඒවා සුරංගනා කතා පමණයි. අසංගත සුරංගනා කතා මත පදනම්ව සංගත වැඩපිළිවෙළක් කවදාවත් හදන්න බැහැ.

දූෂණය වැළැක්වීම අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළේ මූලික ඉලක්ක වලින් එකක්. සාමාන්‍යයෙන් අරමුදලේ වැඩ සටහනක දූෂණය වැළැක්වීම ප්‍රමුඛ ඉලක්කයක් ලෙස හඳුනාගන්නේ නැහැ. ඒ වගේම, පීඩාවට පත් වන අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම මෙහි ප්‍රමුඛ අංගයක් එය අරමුදලේ වැඩසටහන් තුළ හැමවිටම සිදුවන දෙයක් නෙමෙයි. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා ධනවතුන්ගේ ධනය මත ධන බද්දක් හඳුන්වා දීමට නියමිතයි. මෙය දක්ෂිණාංශික මතධාරීන් විසින් දැඩි ලෙස විවේචනය කරන දෙයක්. දිගුකාලීනව ආර්ථික වර්ධනය අඩුවීමට හේතු වන දෙයක්. එහෙත් ඒ මගින් ආදායම් විෂමතා අඩු කළ හැකියි. අරමුදලේ වැඩ සටහන හදද්දී මේ වගේ වෙනම පැත්තකට ගිහින් තියෙන්නේ ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් මත පදනම්ව විය යුතුයි.

දූෂණය වැළැක්වීම කළ යුතුම දෙයක් වුනත්, රටේ ආදායම මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මුදලක් වසර තුළ ණය හා පොලී ලෙස ගෙවන්න තියෙද්දී බදු වැඩි නොකර, ණය නොගෙන දූෂණය වැළැක්වීමෙන් පමණක් ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ. ඒවා තනිකරම සුරංගනා කතා පමණයි.

සමහර වාමාංශික අදහස් දරන අය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ කියා හිතන බව පේනවා. තමන් සහයෝගය දෙන කණ්ඩායමට රට නැවත ස්ථායී කළ හැකි බවට කිසිම විශ්වාසයක් ඔවුන්ට නැති බවයි එයින් පෙනෙන්නේ. හැබැයි මමනම් එහෙම හිතන්නේ නැහැ. අවශ්‍ය කැපවීම තිබෙන ඕනෑම කණ්ඩායමකට මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න පුළුවන්. එවැනි කැපවීමක් තිබෙනවා නම් ඒ බව ප්‍රදර්ශනය කළ යුතු අවස්ථාව මේකයි. එහෙම නැත්නම් එයින් අදහස් වන්නේ ඒ අයගේ අවසාන ඉලක්කය රටේ ආර්ථිකය ස්ථායී වීම වලක්වා විශාල විනාශයකට පාර කැපීම කියන එකයි. ඇතැම් අයට එවැනි ඉලක්ක තිබීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි.

සමහර අය හිතාගෙන ඉන්නේ ලංකාවට තවත් වැටෙන්න තැනක් නැහැ කියලයි. එය මිථ්‍යාවක්. ඔය වැටුනා වගේ කිහිප ගුණයක් නරක තැනකට රට වැටෙන්න පුළුවන්. අප ලියා පළ කරන දේවල් පසුව ඉවත් කරන්නේ නැහැ. නමුත්, කාට හෝ සැකයක් තිබේනම් ස්ක්‍රීන්ෂොට් අරගෙන තියාගන්න.

#ඉකොනොමැට්ටා

 

Social Sharing
ආර්ථික නවතම