IMF ණය අද ලැබෙයි..!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද (20) ලැබීමට නියමිත බව වාර්තා වෙයි.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර ඇත්තේ අද මෙම මුදල් අනුමත වීමත් සමග ඩොලර් අර්බුදය අවසන් වෙනු ඇති බවයි. මේ පිළිබඳව ජනාධිපතිවරයා පසුගිය 19 දා අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් ප්‍රකාශ කර තිබුණේ මෙම IMF සහනය ලැබුණ පසුව ඩොලරයෙහි වටිනාකම රුපියල් 185ක් දක්වා පහත බසිනු ඇති බවයි.

IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට පසුගිය වසරේ සැප්තැම්බර් මස මුලදී එළැඹීමේ දී එකඟ වූ පරිදි විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වසර 4ක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලැබෙන්නට නියමිත අතර ඒ සඳහා අද රැස්වෙන විධායක මණ්ඩලය එකඟවෙනු ඇතැයි වාර්තා පළවෙයි.

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය අද ලැබුණහොත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව හරහා තවත් අරමුදල් ලැබෙනු ඇතැයි විශ්වාසය පළවෙයි.

මේ වනවිට IMF විධායක මණ්ඩලය, ශ්‍රී ලංකාව සඳහා ණය ලබාදුන් ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගෙන ඇති අතර අද දිනයේදී මෙම ණය මුදල අනුමත වුවහොත්, මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවෙන 17 වැනි වැඩසටහන වනු ඇත.

Social Sharing
ආර්ථික නවතම පුවත්