නාඋල ඝාතනය : එය වෙඩි වැදීමෙන් සිදු වූ මරණයක්

පොලිස් ඝාතනයක් බවට චෝදනා එල්ල වන නාඋල අලුත්ගෙදර තුෂාර චන්ද්‍රරත්න නම් පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය අවසන් කරමින් එය වෙඩි වැදීමෙන් සිදු වූ මරණයක් බව නාඋල මහේස්ත්‍රාත් ආර්.එන්.කේ. චන්ද්‍රවංශ තීරණය කළාය.

මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ ඇතැම් සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවලින් මෙම මරණය සම්බන්ධයෙන් අපරාධයකට තුඩු දෙන ආකාරයේ යම් යම් කරුණු අනාවරණය වන බව ද පසුගියදා ඊට අදාළ ව මහේස්ත්‍රාත්වරිය ලබාදුන් තීන්දුවේ සඳහන් ය. අපරාධයකට තුඩු දෙන ආකාරයේ කරුණු හෙළි වී ඇති නිසා මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මෙමගින් නියෝග කර ඇත.

එසේ ම මෙම සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් සැකකරුවන් ලෙස නම් කළ යුතු ද සහ ඔවුන් අත්අඩංගුවට ගත යුතු ද යන කරුණු පිළිබඳ තීරණයක් ගැනීම සඳහා සියලු වාර්තා නීතිපතිවරයා වෙත යොමුකරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පොලිසියේ හැසිරීම

මෙම නියෝගය ලබාදීමට පෙර විවෘත අධිකරණයේදී කරුණු දක්වමින් අගතියට පත්, මියගිය පුද්ගලයාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටින නීතිඥ චාරක ධර්මසිරි සඳහන් කළේ අධිකරණය මගින් මීට පෙර ලබාදුන් නියෝගයකට අනුව පොලිසිය මෙම සිද්ධියට අදාළ නිවැරදි බී වාර්තාවක් මෙතෙක් ඉදිරිපත් කර නැති බවයි.

එසේ ම මීට අදාළ සැකකරුවන් සිටී නම්, ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කළ නියෝගය ද පොලිසිය ඉටු කර නැති බව නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. සිදුවීම පිළිබඳ විමර්ශන අධිකරණය විසින් නියෝග කළ ආකාරයට මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඇති විශේෂ කාර්යාංශයකට බාර නොදී, තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතට පත්කර ඇතැයිද සඳහන් කළ නීතිඥවරයා, මේ ආකාරයට දිගින්-දිගටම පොලිසිය අධිකරණයේ නියෝග කඩ කර ඇති බව අවධාරණය කළේය.

සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ විමර්ශන සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයට සෑහීමකට පත්විය නොහැකි බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

‘චෝදනා ප්‍රතික්ෂේප කරයි’

එම අවස්ථාවේදී මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් මෙම නඩුවට පෙනීසිටින නීතිඥ අසිත තොටගොඩ පැවසුවේ අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ඇති විමර්ශන අංශයකින් මෙම විමර්ශන සිදුකරන බවත් ය.

සාක්ෂිකරුවන් කිව්වේ මොනවාද?

ඇඳුම් ගලවා දමා සිදු කළ පරීක්ෂා කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ වචන හුවමාරුවකින් පසු නාඋල පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් පිස්තෝලයකින් මියගිය පුද්ගලයාගේ පපුවට වෙඩි තැබූ බව නාඋල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින් සාක්ෂිකරුවෝ තිදෙනෙක් මීට පෙර ප්‍රකාශ කළහ.

එසේම මෙම සිදුවීමට අදාළ සටහන් සහිත පොලිස් තොරතුරු පොතේ පිටු 02ක කොටස් ටිපෙක්ස් කර මකා දමා ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය.

මෙසේ වෙඩි තැබීමෙන් මරණයට පත්වී තිබුණේ අලුත්ගෙදර තුෂාර චන්ද්‍රරත්න හෙවත් රාල නම් 39 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසිය ප්‍රකාශ කර තිබුණේ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර සිදුවූ බහින්බස්වීමකින් පසු මිය ගිය පුද්ගලයා පොලිස් නිලධාරීන් සතු ගිනිඅවිය පැහැරගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කරද්දී ගිනි අවිය ක්‍රියාත්මක වී ඔහුට ම වෙඩි වැදුණු බවයි.
වින්දිත පාර්ශ්වය

කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කර තිබුණේ පොලිසිය ඇඳුම් ගලවා එක් වරක් පරීක්ෂා කර, දෙවැනි වර ද පරීක්ෂා කරද්දී ඊට විරෝධය දැක්වීම නිසා ගිනි අවිය රැගෙනවිත් පොලිස් නිලධාරියකු ඔහුට වෙඩි තබා මරා දැමූ බවයි. මිය ගිය පුද්ගලයා නාඋල, ඇළහැර පාරේ දෙකේ කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි අතර, මෙම සිදුවීම සිදුවී තිබුණේ ඔහුගේ නිවස ආසන්නයේදී ම ය.

2022 මාර්තු 03දා මෙම සිදුවීම සිදු වී ඇති අතර, පොලිසිය මුලින්ම මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ‘ඒආර්’ වාර්තාවකිනි. ඉන්පසු ව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම මත මාස ගණනාවකට පසු ‘බී’ වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. 2022 මාර්තු 03දා මෙම සිද්ධිය සිදු වී තිබිණි.
මරණ පරීක්ෂණ ගැන නඩු

මීට පෙර ද අගතියට පත් පාර්ශ්වයෙන් කරුණු දක්වමින් නීතිඥ චාරක ධර්මසිරි ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාළ ව අවස්ථා කිහිපයකදී අධිකරණය ලබා දුන් නියෝග පොලිසිය පැහැර හැර ඇති බවයි.

2022 දෙසැම්බර් 14දා මෙම සිදුවීමට අදාළ සාක්ෂි කැඳවූ අවස්ථාවේදී පොලිසීය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුවන් ගුණසේකර සහ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා අතර සංවාදාත්මක තත්ත්වයක් ඇති විය.

‘මරණ පරීක්ෂණයකදී මහේස්ත්‍රාත්වරයාගේ කාර්යභාරය ගැන 2017 මාර්තු දෙවැනිදා අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන විසින් ලබා දුන් පිටු 43ක නඩු තීන්දුවක් තිබෙනවා. ඒ වගේම සෙනෙහෙරත්න එදිරිව නීතිපති නඩු තීන්දුව ගැනත් එහි සඳහන් වෙනවා. මරණ පරීක්ෂණයේදී මහේස්ත්‍රාත්වරයකු කටයුතු කළ යුත්තේ කෙසේද යන්න එහි පැහැදිලිව සඳහන් වෙනවා. නීතිඥ රුවන්ට ඕන විදිහට සාක්කි මෙහෙයවන්න දෙන්න බෑ. පොලිසිය වෙඩි තියලා තියෙන්නේ. ඇසින් දුටු සාක්කි නැතුව පොලිසියේ පිරිසක් සාක්කිකරුවන් විදිහට ගෙන්වන්න උත්සාහ කළා.

‘මනුෂ්‍යයෙක් මැරිලා’

ඒ වගේම මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ තිබෙන විශේෂ ඒකකයකින් විමර්ශන කරන්න කියලා අධිකරණය නියෝග කළාම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු යටතේ විමර්ශන කරනවා. මුලින් බී වාර්තාවක් ඉදිරිපත් කළේ නෑ. පසුව අධිකරණය නියෝග කළා බී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස. දැන් බී වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. එහි අදාළ වගන්ති සඳහන් කරලා නෑ. ඒ වගේම සැකකරුවන් අත්අඩංගුවට ගන්න කිව්වා. එය සිදුකරලත් නෑ. ශ්‍රී ලංකා පොලිසිය අධිකරණය හෑල්ලු කිරීම පුරුද්දක් කරගෙන තිබෙනවා. වෙඩි වැදුණු පුද්ගලයා කවර තරාතිරමක වුවත් ඔහු මනුෂ්‍යයෙක්. ඔහු මැරිලා තියෙනවා.

පොලිසියේ කැපවීම

මම නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු 15ක් පමණ රාජකාරි කරලා තියෙනවා. අපි දන්නවා අධිකරණ කටයුත්තකට අදාළ ව පොලිස් ස්ථානාධිපතිවරයෙක් අධිකරණයට ගෙන්වාගන්න තියෙන අමාරුව. නමුත් මේ නඩුවට අදාළ ව පොලිස් නීතිඥවරුන් 06ක්, මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු ඉහළ නිලධාරීන් රැසක් අධිකරණයට ඇවිත් ඉන්නවා. මෙම අධිකරණය දුන්නු නියෝගවලට එකඟ නැත්නම් පොලිසිය කළ යුත්තේ ඉහළ අධිකරණයට යන එක. එහෙම නැතුව නියෝග ක්‍රියාත්මක නොකර වෙන වෙන දේවල් කරන්න බෑ. සාක්කිකරුවන්ට පැමිණෙන්න කියලා කළ දැනුම්දීමේ තිබෙන්නේ නාඋල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්න කියලා නීති අධ්‍යක්ෂ රුවන් ගුණසේකර ඉදිරියේ.’ යැයී නීතිඥ චාරක ධර්මසිරි මෙහිදී ප්‍රකාශ කළේය.
‘වරදක් නෑ’

ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ මෙම සිදුවීමට අදාළ ව නීතිපතිවරයාට මැදිහත් වන ලෙස මුලින්ම ඉල්ලිම් කර ඇත්තේ අගතියට පත් පාර්ශ්වයෙන්ම බවයි. ‘අගතියට පත් පාර්ශ්වයෙන් නීතිපතිට ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් නීති කොට්ඨාසයට පිටපත් සහිතව පොලිස්පතිට ලිපි දෙකක් යොමු කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය මට දුරකතනයෙන් කතා කරලත් කිව්වා මැදිහත් වෙන්න කියලා. ඒ වගේම මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් ඉල්ලීමක් කරලා තියෙනවා පොලිස්පතිගෙන්. ඒ අනුව තමයි පොලිස් නීති කොට්ඨාසය මේකට ආවේ. මම අද සාක්කි ලැස්තුවක් ඉදිරිපත් කරනවා.

මම ඉදිරිපත් වෙලා ඉන්නේ අධිකරණයට සහාය වෙන්න. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ තිබෙන විශේෂ විමර්ශන ඒකකය කියන්නේ මේ විදිහේ විමර්ශන කරන එකක් නෙමෙයි. ඒක විනය ගැන කටයුතු කරන එකක්. විමර්ශන නිලධාරීන් කියනවා මේ වන තෙක් කළ විමර්ශන අනුව වරදක් අනාවරණය වෙලා නෑ කියලා. ‘
භයානක තත්ත්වයක්

නීතිඥ චාරක ධර්මසිරි – මුලින් නාඋල පොලිසියෙන් විමර්ශන කළා. දැන් තෙල්දෙණියට දීලා විමර්ශන කරනවා. රුවන් ගුණසේකර ඩුවල් කැපෑසිටි එකකින් මෙතන ඇවිත් පෙනී සිටිනවා. පොලිසිය නීතිය හෑල්ලු කිරීම දැන් ට්‍රෙන්ඩ් එකක් බවට පත්වෙලා තියෙනවා. මෙහෙම ගියොත් මිනිස්සුත් නීතිය අතට ගන්න භයානක තත්ත්වයක් වෙන්න පුළුවන්. අපට තියෙන්නේ මේ අධිකරණයේ රැකවරණය විතරයි. මේක අපි මෙතනින් නතර කරන්නේ නෑ. අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත් මේ ගැන දැනුම් දෙනවා. මේක සීරියස් කේස් එකක්. අපි මේ විදිහට බලාගෙන හිටියොත් ඊළඟ දවසේ කාට තුවක්කුව එල්ලවෙයිද කියලා බරපතළ සැකයක් තිබෙනවා.’

දෙපාර්ශ්වය කරුණු දැක්වීමෙන් පසු රුවන් ගුණසේකර ඉදිරිපත් කළ සාක්කි ලැයිස්තුව අනුව සාක්කි ලබාගැනීමට විරෝධයක් ඇත්දැයි අගතියට පත් පාර්ශ්වයෙන් විමසා සිටි අතර, එලෙස විරෝධයක් නැතැයි දැනුම්දීමෙන් පසු එදින සාක්කි ලබාගැනීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පළමු සාක්කිය

නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත මුලින්ම සාක්කි ලබාදුන්නේ අමරතුංගගේ තිස්ස කුමාර නම් පුද්ගලයකු වන අතර, ඔහු මිය ගිය පුද්ගලයාගේ මස්සිනා බව කියැවිණි. රුවන් ගුණසේකර කෙටි ප්‍රශ්න විමසද්දී සාක්කිකරුට දීර්ඝ ලෙස පිළිතුරු දිය හැකි වන පරිදි ප්‍රශ්න විමසන ලෙස මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය. රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත සාක්කි ලබා දුන් තිස්ස කුමාර නම් තරුණයා මෙසේ ද පැවසීය.

‘2022 මාර්තු 03 වෙනිදා උදේ 9.30ට විතර මස්සිනා එක්ක සුනඛයාට බෙහෙත් විදින්න යන්න පිටත් වුණා. මස්සිනා කියන්නේ මියගිය පුද්ගලයා. අපි ත්‍රීරෝද රියෙන් තමයි යන්න හැදුවේ. ත්‍රීරෝද රථයේ රියදුරු අල්ලපු ගෙදර අයියා. මම ත්‍රීවිල් එක හොයන්න යන්න යද්දි මස්සිනා ගෙදර ඉස්සරහා අම්මා එක්ක බල්ලා තියාගෙන හිටියා. අයියා සුනඛයා එක්ක ඇවිත් ත්‍රීරෝද රියට ගොඩ වුණා. ත්‍රීරෝද රිය ඇළහැර පැත්තට මුහුණ දාලා තිබුණේ. නාඋල සිට ඇළහැරට යද්දි ත්‍රීවිල් එක නතර කරලා තිබුණේ වම් පැත්තේ. ත්‍රීවිල් එකේ ඉස්සෙල්ලම සුනඛයා නැග්ගුවා. ඊට පස්සේ අයියා නැග්ගා. ඊට පස්සේ මම නැග්ගා. ත්‍රීරෝද රියෙන් බහින පැත්තෙ මුලින්ම හිටියේ මම.

– – – දෙසට යන්න ත්‍රීරෝද රථය හරවන්න යද්දි පොලිසියේ දෙන්නෙක් ස්කූටරයකින් ඇවිත් වීල් එක ඉදිරියෙන් හරස් කරලා නතර කළා. පොලිසියේ දෙන්නා ආවේ නාඋල පැත්තේ ඉඳන්. මාව මුලින්ම බැස්සුවා. දෙවැනියට අයියව එළියට ගත්තා. ඊට පස්සේ අපි දෙන්නාව සෝදිසි කළා. පොලිසියේ දෙන්නා හිටියේ නිල ඇඳුමෙන්. අපිව සෝදිසි කරන්න හේතුව දන්නේ නෑ. ඒ වන විට ත්‍රීරෝද රියදුරු ත්‍රීරෝද රියේ ඇතුළෙ ම හිටියේ. සෝදිසි කරලා ඇඳුම් ගලවලා පාතට කරලා ආයේ මාව සෝදිසි කළා.
‘වෙඩි තියලා දාපං’

සෝදිසි කළාට මොනවත් හොයගත්තේ නෑ. ඇඳුම් ගලවලා ආයේ සෝදිසි කරන නිසා එහෙම කරන එක ප්‍රතික්ෂේප කළා. එක් නිලධාරියෙක් පරුෂ වචනයක් කියලා වෙඩි තියලා දාපං කිව්වා. ඊට පස්සේ පොලිස් නිලධාරියා යතුරුපැදියට ගිහින් යතුරුපැදියෙන් පිස්ටල් එක අරගෙන ආවා. පිස්ටල් එක අරං වෙඩි තියන්න යද්දි අපේ අම්මා මගේ කොල්ලො දෙන්නට වෙඩිතියන්න එපා කියලා කිව්වා. පොලිසියේ කෙනා එන ගමන් බිමට වෙඩිල්ලක් එල්ල කළා. ඉන්පස්සේ මගේ පිටිපස්සේ හිටපු අයියට වෙඩි තියලා යතුරුපැදියෙන් යන්න ගියා. මස්සිනා බිමට ඇදවැටුණා. ඉන් පස්සේ අයියව ත්‍රීවිල් එකේ දාගෙන රෝහලට ගෙනිච්චා. ඔහු මිය ගියා කියලා පස්සේ ආරංචි වුණා. මම මෘත දේහය දැක්කා. අපි රෝහලට යද්දි අපිට ඉස්සරහින් ඒ පොලිසියෙ දෙන්නා බයික් එකේ ගිය එක මම වීඩියෝ කළා. ’

ඉන් අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ චාරක ධර්මසිරි අධිකරණයේ අවධානයට යොමු කරමින් මෙම සාක්කිකරුගෙන් තවදුරටත් කාරණා කිහිපයක් අනාවරණය කරගැනීමට අත්‍යවශ්‍ය බැවින් ප්‍රශ්න යොමුකිරීමට අවශ්‍ය බව දැන්වීය. ඊට රුවන් ගුණසේකර විරෝධය දැක්වූ අතර, මහේස්ත්‍රාත්වරිය එම ප්‍රශ්න යොමුකිරීමට ඉඩ දුන්නාය.

ඒ අනුව පිළිතුරු ලබාදෙමින් එම සාක්කිකරු (මස්සිනා) මෙසේ ද ප්‍රකාශ කළේය.

කටඋත්තරය

‘එදා රෝහලට ඇවිත් නාඋල පොලිසියට එන්න කිව්වා. නාඋල පොලිසියෙදි කටඋත්තර ලියාගත්තා. ඒ වෙලාවේ පොලිසියේ ලයිට් තිබ්බේ නෑ. ලියාගත්තු කටඋත්තරය කියවලා දුන්නෙත් නෑ. ආයෙත් මාතලෙනුත් කටඋත්තර ගන්න එනවා කියලා තියාගත්තා. මාතලේ පොලිසියත් ඇවිත් කටඋත්තර ගත්තා. මාතලෙන් කටඋත්තර අරං ඉවර වෙනකොට රෑ 12 විතර වුණා. කටඋත්තරේ කියා දුන්නේ නෑ.’
තුන්වැනි සාක්කිය

ඉන්පසුව මිය ගිය පුද්ගලයාගේ බිරිඳගේ මව වන ජුවානිස්ගේ සුමනලතා (53) තුන්වැනි සාක්කිකරු ලෙස නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත සාක්කි ලබාදුන්නාය.

‘මියගියේ මගේ බෑණා. ඔහු මගේ දියණිය විවාහ කරගෙන ඉන්නවා. මිය ගිය කෙනාගේ නම ඒ.පී.තුෂාර චන්ද්‍රරත්න. එදා සුනඛයා ගෙනියන්න ත්‍රීවිල් එක ගේන්න පුතා ගියා. ඒ වෙනකං අපි බලං හිටියා. ත්‍රීවිල් එක එද්දි බල්ලව අරගෙන ඉස්සරහට ගියා. ත්‍රීවිල් එකට ගොඩවෙනතුරු මම පාර අයිනේ හිටියා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් දෙන්නෙක් නාඋල පැත්තේ ඉඳන් ඇවිත් ත්‍රීවිල් එක ඉස්සරහින් නැවැත්තුවා. පුතයි බෑණයි දෙන්නව ත්‍රීවිල් එකෙන් බැස්සුවා. ඊට පස්සේ එයාලා දෙන්නව සෝදිසි කළා.
‘බෑ කියද්දිත් ගත්තා’

සෝදිසි කළාට පස්සේ කලිසං පාතට දාලා ටී ෂර්ට් උඩට දාලා දෙවැනි පාර පරීක්ෂා කරන්න ගියා. මේක මහ පාර. මෙතන එහෙම කරන්න එපා කියලා බෑණා කිව්වා. පොලිස් නිලධාරීන් කිව්වා කට වැඩී කියලා. එක පොලිසියෙ එක්කෙනෙක් ස්කූටියේ කැබින් එකේ තිබිලා පිස්තෝලයක් ගත්තා. ඒක අරං එන ගමන් බිමට වෙඩි තිබ්බා. මං කෑගැහුවා වෙඩි තියන්න එපා කියලා. පුතයි බෑණයි මට පිටිපස්සෙන් හිටියේ. දෙවැනි වෙඩිල්ල අපි ඉස්සරහින් තිබ්බා. ඒකෙන් බෑණට තුවාල වුණා. වෙඩි තියලා එයාලා යන්න ගියා. රෝහලට ගෙනිහින් ටික වෙලාවකින් බෑණා නැතිවුණා කියලා ආරංචි වුණා. පුතා ආවේ නෑ බලන්න කියලා ත්‍රීරෝද රියදුරුගේ අම්මා කිව්වා. ඊට පස්සේ මම ගියා පොලිසියට. මගෙනුත් කටඋත්තර ගන්න ඕන කිව්වා. මං කිව්වා දැන් කරුවලයි, මගේ කොලස්ට්‍රෝලුත් වැඩියි ඒ නිසා බෑ කියලා. බෑ කියද්දිත් කටඋත්තර ගත්තා.’
දෙවැනි සාක්කිය

ඉන්පසුව නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත සාක්කි ලබාදුන්නේ මිය ගිය පුද්ගයාගේ බිරිඳ වන දිනූෂා කුමාරයි.

‘මිය ගිය කෙනා මගේ සැමියා. 2022 මාර්තු 03 වැනිදා මං හිටියේ වැඩ කරන තැන, – – – කොට්ඨාස කලාප කාර්යාලයේ. මගේ මහත්තයට පොලිසියෙන් වෙඩි තිබ්බා කියලා අම්මා කතා කරලා කිව්වා. මම වැඩකරන තැනට දැනුම්දීලා ආවා. මං යද්දි සිද්ධිය වෙච්ච තැනින් හොස්පිටල් අරං ගිහින්. රෝහලේදි කිව්වා නැතිවෙලා කියලා. මම ඉල්ලන්නේ මට සාධාරණයක් කරලා දෙන්න කියලා.’
පස්වැනි සාක්කිය

ඉන් අනතුරුව සාක්කි ලබාදුන්නේ ඉබ්බාගමුවේ පදිංචි නාලක ප්‍රදීප් කුමාර නම් 33 හැවිරිදි පුද්ගලයෙකි. පස්වැනි සාක්කිකරු ලෙස ඔහු සාක්කි ලබාදුන්නේ ද නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම අනුව ය.

‘මම ටයිල් වැඩ කරන්නේ. මාතලේ ටයිල් වැඩක් කරලා 2022 මාර්තු 03 වෙනිදා අඹනට යන්න ගියා සල්ලි ගන්න. යතුරුපැදියෙන් මමයි වැඩකරපු අනිත් කෙනයි ගියේ. අනිත් කෙනා රුවන් කියලා කෙනෙක්. සම්පූර්ණ නම මතක නෑ. මම ඒ පැත්තට ගියේ පළවෙනි පාරට. පාර අහගෙන අහගෙන තමයි ගියේ. මම යනකොට සිද්ධිය වුණ තැන දුරට පේනවා. එතන බල්ලෙක් හිටියා. පොලිසියේ දෙන්නෙක් හිටියා. ඒ නිසා බලාගෙන ගියා මොකද කියලා.
‘අත දන්න පටං ගත්තා’

ඒ සිද්ධිය වෙන්නේ පාරේ වම් අත පැත්තේ. පොලිසියේ දෙන්නා නිල ඇඳුමෙන් හිටියේ. ත්‍රීවිල් එක හරහට බයික් එකක් දාලා තිබ්බා. ගැහැනු කෙනෙක් එළියේ හිටියා. තවත් එක්කෙනෙක් එළියේ හිටියා. කලබලේ දඟලනවා වගේ හිටියේ. කෑගහන සද්දේ තිබ්බා. කවුද කෑගැහුවේ කියලා හරියට කියන්න බෑ. ඉස්සරහට ටික දුරක් යද්දි වෙඩි සද්දයක් ආවා. ටික දුරක් යද්දි අත දන්න පටං ගත්තා. අත බලනකොට උණ්ඩ කෑල්ලක් ඇලිලා තිබුණා. ඊයම් කෑල්ලක් වගේ ඇලිලා තිබ්බේ.

යතුරුපැදිය පැදගෙන ගියේ මම. වම් අතෙයි දැවිල්ල ආවේ. මං බලනකොට අතෙන් ලේ එනවා. බයිසිකලෙන් බැහැලා එතන හිටපු පොලිසියේ කෙනාට කිව්වා. එහා පැත්තේ එක්කෙනෙක් වැටිලා හිටියා. මට වෙඩි වැදුණා කියලා පොලිසියට ඊයම් කෑල්ල බාරදුන්නා. මම තුවාලයට ගෙදර ගිහින් බෙහෙත් දාගත්තා.’
ව්‍යාජ සාක්කිකරුවෙක් ද?

මෙම සාක්කිකරු පොලිසිය විසින් හඳුන්වා දුන් ව්‍යාජ සාක්කිකරුවකු ද යන්න පරීක්ෂා කිරීමට ඔහුගෙන් මෙම මරණයට අදාළ ව තවත් කරුණු අනාවරණය කර ගත යුතු බව අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ චාරක ධර්මසිරි ප්‍රකාශ කළ අතර, ඊට ඉඩ දිය නොහැකි බව නීතිඥ රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය. නීතිඥවරයකු ලෙස තමන්ට ඊට අවස්ථාව නැත්නම් නීතිඥවරයකු ලෙස රුවන් ගුණසේකරට ද ඊට අවස්ථාව ලබාදීමට හැකියාවක් නැති බව නීතිඥවරයා ප්‍රකාශ කළේය.
ළබැඳියාවන් අතර ගැටුමක්

පුද්ගලයන් මරා දමා සටහන් පොත් වෙනස් කළ ඉතිහාසයක් පොලිසියට ඇති බවත්, මෙය ද එවැන්නක්දැයි සැකසහිත සිදුවීමක් බවත්, පොලිසිය යම් යම් කරුණු වසං කරන බවත්, පොලිස් නිලධාරියකු වන රුවන් ගුණසේකර නීතිඥවරයකු ලෙස පැමිණ ප්‍රශ්න ඇසීම ළබැඳියාවන් අතර ගැටුමක් ඇති කරවන බවත් නීතිඥවරයා සඳහන් කළේය.

අධිකරණයේ අවසරය මත යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්කි ලබාදෙමින් සිටි පුද්ගලයා පැවසුවේ වෙඩි සද්දයෙන් පසු අතේ දැවිල්ල ආ බවයි. දැවිල්ල ආවේ පළවෙනි වෙඩිල්ලෙන් පසුව බවත්, ගෙදර ගොස් ඩිස්පැන්සරියකින් බෙහෙත් දමා ගත් බවත්, සිද්ධියෙන් පසු කටඋත්තර ගැනීම සඳහා පොලිසියෙන් කැඳවීමක් ලැබුණු බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඔහු සමඟ යතුරු පැදියේ පිටුපසින් ගිය බව කියන රුවන්සිරි පුෂ්පකුමාර නම් 42 හැවිරිදි ගොකරැල්ලේ පුද්ගලයකු ඉන් අනතුරුව නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත සාක්කි ලබාදුන්නේය.

‘මම ටයිල් වැඩ කරන්නේ. මාතලේ වැඩක් ඉවර වෙලා සල්ලි ගන්න අඹනට එන්න කිව්වා. අඹනට යන්න මාතලේ ඉඳන් පිටත් වුණා. මාත් එක්ක වැඩ කරන අනිත් මල්ලිගේ යතුරුපැදියෙන් ගියේ. මම ඒ අයට කියන්නේ රාල කියලා. අපි යද්දි පොලිසියේ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ගලක් අරං වෙඩි තියන්න කියලා ඉස්සරහට ආවා. ඒ රාලහාමි මහත්තයා බිමට වෙඩි තිබ්බා. ඊට පස්සේ තව වෙඩිල්ලක් පපුවට තිබ්බා.’

එම සාක්කිකරුගෙන් නීතිඥවරයාට ඇති ප්‍රශ්න යොමුකිරීමට සූදානම් වෙද්දී නීතිඥවරයා හරස් ප්‍රශ්න ස්වරූපයෙන් ප්‍රශ්න අසන බවට සටහන් කරන්නැයි නීතිඥ රුවන් ගුණසේකර ඉල්ලා සිටියේය. රුවන් ගුණසේකරගේ හැසිරීම කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට් බවට ද සටහන් තබා ගන්නැයි නීතිඥවරයා ප්‍රකාශ කළේය. සාක්කි ලබාදෙමින් එම පුද්ගලයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘මම වැඩ කරපු සල්ලි ගන්න ගියේ. මං දැක්කා වෙඩි තියනවා. පළවෙනි වෙඩිල්ල තියද්දියි මං එතනින් පාස් වුණේ. මුලින්ම වෙඩිල්ල තිබ්බේ බිමට. මීටර් 20ක් 30ක් යද්දි තමයි දෙවැනි වෙඩිල්ල තිබ්බේ. ඒක තිබ්බේ පපුවට. මං එක්ක ගියපු කෙනාගේ අතට කෑල්ලක් වැදුණේ පළවෙනි වෙඩිල්ලේ. දෙවැනි වෙඩිල්ල පපුවට තියනවා දැක්කා. යතුරු පැදිය නතර කරලා ආයිත් සල්ලි ගන්න ගියා. සල්ලි ගන්න ගිය කෙනා පොලිසියට කිව්වා කියලා මං හිතන්නේ. සතියකට විතර පස්සේ කටඋත්තර ගන්න එන්න කිව්වා.’

සාක්කි අංක 06 ලෙස නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත ඊළඟට සාක්කි ලබාදුන්නේ 58 හැවිරිදි ජයතිලක බණ්ඩා නම් අඹන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

වෙඩි 01යි

‘සිද්ධය වෙච්ච දවසේ අඹන සේනාගම නිවසේ සිට නාඋලට බඩු ගෙනියන්න ආවා. අඹන සිට නාඋලට එන්න තියෙන අඹන හංදියෙන් හැරිලා ඇළහැර පාරේ ආවේ. මම නාඋලට එද්දි – – – හංදියේ කන්ද පාමුල මම එනකොට පොලිසියෙන් මහත්තුරු වගයක් පොර බැදුවා. මං එද්දි දකුණු පැත්තේ පොලිසියේ ඇඳුමෙන් දෙන්නෙක් හිටියා. අනිත් මහත්තයා සිවිල් හිටියේ. ඒ තුන්දෙනා තමයි පොර බැදුවේ. ඒ වෙලාවේ ත්‍රීවිල් එකක්, බයිසිකල් එකක් වගේ තිබ්බා, හරියට මතක නෑ. මම බයිසිකලය ස්ලෝ කරලා බැලුවා. වෙන මුකුත් මං දැක්කේ නෑ. මං ටවුමට ආවා. මට වෙඩි ශබ්දයක් වගේ ඇහුණා. එච්චරයි. වෙඩි 01යි ඇහුණේ.’

ඉන්පසුව මරණ පරීක්ෂණයේ සාක්කි ලබාදුන්නේ මෙම සිද්ධියට අදාළ පොලිස් නිලධාරියෙකි. මේ වන විට මාතලේ පොලිසියේ සේවය කරන, එම සිදුවීම සිදු වන අවස්ථාව වන විට නාඋල පොලිසියේ සේවය කරමින් සිටි පොලිස් සැරයන් 36705 අංක දරන විජේතුංග බණ්ඩාර නම් 56 හැවිරිදි පොලිස් නිලධාරියා නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත සාක්කි ලබාදෙමින් මෙසේ ද පැවසීය.
පොලිසියේ සාක්කි

‘1988 දෙසැම්බර් 08 වැනිදා මම පොලිසියට බැඳුණේ. දැන් අවුරුදු 34කට ආසන්න වෙනවා. 2022 මාර්තු 03 නාඋල පොලිසියට අනුයුක්තවයි රාජකාරි කළේ. එදා දිවා ජංගම රාජකාරි පැවරිලා තිබුණා. මම උදේ 6.35ට රාජකාරියට වාර්තා කළා. ස්ථානාධිපතිතුමා විසින් ලිඛිතව නියෝග ලබා දී තිබුණා එම රාජකාරි සඳහා.’
ඉදිරි ක්‍රියාමාර්ග අවශ්‍යයි

එම නියෝගයේ පිටපතක් පැ.09 ලෙස ඉදිරිපත් කරන බව රුවන් ගුණසේකර අධිකරණයට දැනුම් දුන්නේය. එම අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ චාරක ධර්මසිරි ප්‍රකාශ කළේ නාඋල පොලිසියේ පොත් ඉදිරිපත් කරමින් පොලිස් නිලධාරියාගේ ක්‍රියාව සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම ළබැඳියාවන් අතර ගැටුමක් ඇති කරන බැවින් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් ඉන්පසු තොරතුරු සටහන් පොත ලබාදී අදාළ නියෝගවල පළමු නියෝගය සහ පස්වැනි නියෝගය කියවන ලෙස රුවන් ගුණසේකර දැනුම් දුන් අතර, ඒ අනුව එම නියෝගය කියැවීම සිදුවිය.

‘මා පිටවීමේ සටහන් යොදලා පොලිස් සැරයන් 4832 ජනක සහ පොලිස් සැරයන් 27076 වීරසේකර යන නිලධාරීන් සමග ඩබ්ලිව් පී ඒබීබී 2332 දරණ ත්‍රීරෝද රියෙන් අංක 02 නිල ඇඳුමෙන් යන්න ගියා. 600837 අංක දරණ පිස්තෝලයක් පතුරම් 10ක් සහිත පතුරම් ගැබ් එකක් මා රැගෙන ගියා. යන්න යද්දී පොලිස් සැරයන් තෙන්නකෝන් නිලධාරියා දැනුම් දුන්නා, නාඋල පොලිස් ස්ථානයේ නඩු මෙහෙයුම් අංශයේ සැකකරුවකු අධිකරණයට රැගෙන යෑමට ජංගම රථය ලබාගැනීමට අවශ්‍ය බව. ඒ ගැන ස්ථානාධිපති දැනුවත් කළ බවත් ඔහු කිව්වා. ඉන්පසු ස්ථානාධිපති හමුවී මේ ගැන දැනුම් දුන්නා. ඉන් අනතුරුව පොලිස් සැරයන් ජනක නිලධාරියා සමග යතුරුපැදියෙන් සංචාරය කරන්න නියෝග ලබාදුන්නා.

ගිනිඅවිය සහ පතුරම් මා සතුව තිබ්බේ. මම පිස්තෝල රඳවනය ඉණ බඳපටියේ රඳවාගෙන තමයි පිටව ගියේ. අපි මුලින්ම – – – සහ – – – ප්‍රදේශවලට සංචාරය කළා. එහෙට ගියේ කිහිපදෙනකු අත්අඩංගුවට ගන්න. ඒත් අත්අඩංගුවට ගත්තේ නෑ. ඉන්පස්සේ නාඋල නගරයේ හෝටලයකින් උදේ ආහාරය ලබාගත්තා. කෑම කාලා ඉවර වෙලා — ප්‍රදේශයට සංචාරය කරන්න තීරණය කළා. මම කාලා එද්දි තොරතුරක් ලබා දුන්නා, නාඋල ඇළහැර – – – කන්ද පාමුල පුද්ගලයන් දෙන්නෙක් ත්‍රීවිල් එකකින් විෂ මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් අලෙවි කරනවා කියලා. එම තොරතුරු ලැබුණු බවට මගේ සාක්කු සටහන් පොතේ සටහන් යොදලා තිබෙනවා. මාර්තු 03 පැ09.45ට නාඋල ඇළහැර මාර්ගයේදී මෙම සටහන යොදලා තියෙනවා. (සාක්කු සටහන් පොත අධිකරණයේ අවධානයට යොමු කරයි.)

එම අවස්ථාවේ මා සමඟ සිටි පොලිස් සැරයන් ජනක නිලධාරියාට දැනුම් දුන්නා ඒක පරීක්ෂා කරන්න කන්ද පාමුලට යමු කියලා. ඒ අනුව ඒ දෙසට ගියා. නාඋල සිට ඇළහැර මාර්ගයේ ගමන් කළා. – – – කන්ද පාමුල පල්ලම බහිනවත් එක්කම මීටර් 75ක් පමණ දුරින් මට තොරතුරු දුන් විදිහටම දෙන්නෙක් ත්‍රීවිල් එකට නගිනවා දැක්කා. ත්‍රීවිල් එක පාරේ වම් පැත්තේ නවත්වලා තිබ්බේ. පාරේ වම් පැත්තේ ඇළහැර දෙසට මුහුණලා නතර කර තිබුණේ. පුද්ගලයන් දෙන්නෙක් දුවගෙන ඇවිත් වීල් එකට නැග්ගා. මම ඒ අවස්ථාවේ සැරයන් ජනකට දැනුම් දුන්නා ඉක්මනින් යතුරුපැදිය ගිහින් ත්‍රීවිල් එක ඉදිරියේ නතර කරන්න කියලා. ත්‍රීවිල් එකට ඉස්සෙල්ල නැංග කෙනා අඳුරන්නේ නෑ. දෙවැනියට නැග්ගේ තිස්ස කියලා මම අඳුනගත්තා.

ජනක නිලධාරියාට මං කිව්වා අනිත් පැත්තෙන් එන්න කියලා. මං යතුරුපැදිය වම් පසින් ත්‍රීවිල් එකේ පිටුපසින් පරීක්ෂා කරන්න ළඟා වුණා. ජනක නිලධාරියා ත්‍රීවිල් එකේ වම් පැත්තෙන් ඉන්න කෙනාට බහින්න කියලා කතා කළා. ඔහුව පරීක්ෂා කරන්න කියලා මං දැනුම් දුන්නා. ඒ වෙලාවේ ත්‍රීවිල් එකේ පිටිපස්සේ දෙන්නයි රියදුරුයි එක්ක 03යි. මුලින්ම ත්‍රීවිල් එකෙන් බිමට බැස්සෙ තිස්ස කියන කෙනා. තිස්ස කියන කෙනාව පරීක්ෂා කරන්න ජනකට කියලා මං දෙවැනි පුද්ගලයා පරීක්ෂා කරන්න කතා කළා. එයා ඒක ප්‍රතික්ෂේප කළා. අරයත් පරීක්ෂා කරන්න ඉඩදෙනවා, ඔයත් ඉඩදෙන්න කියලා පිටට තට්ටුවක් දාලා මං කිව්වා. එයා බයවෙලා වගේ කලබල වෙලා වගේ සාක්කුවට අත දාගෙන බැස්සා.

ඒ වෙනකොට මගේ අවිය තිබුණේ මගේ දකුණුපස පිස්තෝල රඳවනයේ. මම වම් පැත්තේ සාක්කුව පරීක්ෂා කළා. එහි ලොකු ජංගම දුරකතනයක් තිබුණා. දකුණු පස සාක්කුව පරීක්ෂා කරන්න දුන්නේ නෑ. ඔහු කලිසම් සාක්කුවේ අත දාගෙන හිටියේ. ඔහුගේ විරෝධය මත දකුණු සාක්කුවට අත දැම්මා. එවිට ඔහු මා සමඟ පොරබැදුවා. ඔහුගේ සාක්කුවේ තිබිලා යම් දෙයක් අහුවුණා. පොර බදද්දි කොටසක් බිමට වැටුණා. ඒක ගන්න බිමට නැමෙනකොටම මගේ යටි බඩට දණිස්සෙන් ඇන්නා. ඊටපස්සේ එකපාරටම පිස්තෝලය උදුරලා ගත්තා. යටි බඩට වැදුණු නිසා මං ඒ වන විට දැඩි වේදනාවෙන් සිටියේ. ඒ වන විට රියදුරා රියදුරු අසුනේ වාඩිවෙලා හිටියේ. තිස්ස කියන පුද්ගලයා ඒ ආසන්නයේ ත්‍රීවිල් එකේ ඉදිරිපිටට වෙන්න සයිඩ් එකේ හිටියා.

පිස්තෝලය උදුරගත්තේ තුන්වැනි පුද්ගලයා. ඒ අවස්ථාවෙදි මා සමග සිටි ජනක නිලධාරියා එකපාරටම රාල කියලා එතනට පැනලා. රාල කියන පුද්ගලයා දකුණු සාක්කුවේ අත දැමුවට පස්සේ අහුවුණේ හෙරොයින් කියන මත්ද්‍රව්‍ය. ඉන් කොටසක් තමයි බිම වැටුණේ. බිම වැටුණු ඉතුරුටිකත් මං බාරයට ගත්තා. ඒ අවස්ථාවෙදි ජනක නිලධාරියාගේ අතිනුත් පිස්තෝලය උදුරගෙන පැන්නා. ජනක කියන නිලධාරියා වෙපන් එක ලෝඩ් කරලා බිමට වෙඩි තිබ්බා, දඟලන්න එපා කියලා. එයා ඇහුවේ නැතුව පොර අල්ලන්න පටංගත්තා.’
සිද්ධියට අදාළ ප්‍රශ්න

පිස්තෝලයක් වෙඩි තැබීමට සූදානම් කරන තුරු ආරක්ෂිත ද යන්න සහ ඒ ආශ්‍රිත ව රුවන් ගුණසේකර ප්‍රශ්න කරද්දී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා නැගී සිට ඊට විරෝධය පළ කළ අතර, මරණ පරීක්ෂණයේදී මෙම නිලධාරියාගෙන් සිදුවීම ගැන ප්‍රශ්න කරනවා වෙනුවට මතයක් විමසීම වැරදි බව ප්‍රකාශ කළේය. මෙම නිලධාරියා ගිනිඅවි සම්බන්ධ විශේෂඥයකු නොවන බැවින් විශේෂඥ මත මෙම නිලධාරියාගෙන් විමසීමෙන් ඵලක් නැති බවත්, සිද්ධියට අදාළ ප්‍රශ්න පමණක් අසන ලෙසත් මහේස්ත්‍රාත්වරිය රුවන් ගුණසේකරට දැනුම් දුන්නේය.

ඉන්පසු නැවතත් සාක්කි ලබාදෙමින් පොලිස් නිලධාරියා මෙසේ ද ප්‍රකාශ කළේය.

‘එකපාරට නැවත වතාවක් වෙඩිල්ලක් පත්තු වුණා. ඒකෙන් රාල කියන පුද්ගලයා තුවාල වුණා. රාල තමයි පිස්තෝලය උදුරගන්න පොරබැදුවේ. ඒ වෙලාවේ 10ට විතර ඇති. ඒ වෙලාවේ අවාසනාවන්ත සිද්ධියක් වුණා. හොස්පිටල් එකට තුවාලකරු අරං යන්න කියලා ත්‍රීවිල් රියදුරුට කිව්වා. ඒ වෙලාවේ එතන ආරක්ෂාව ප්‍රශ්නයක් නිසා අපි ඉස්සෙල්ලා ආවා. මම ඒ වෙලාවේ ස්ථානයට ඇවිත් පොලිස් ස්ථානාධිපතිතුමා දැනුවත් කරලා රෝහලට බලන්න යවන්න කිව්වා. පිස්තෝලය උදුරාගන්න වෙලාවේ පිස්තෝලය තිබුණේ රඳවනයේ.’

රහස් සංඥා

ඉන් අනතුරුව පිස්තෝල රඳවනය පරීක්ෂා කිරීමට නඩු භාණ්ඩ විවෘත කරද්දී ඊට අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා විරෝධය පළ කළ අතර, අදාළ නඩු භාණ්ඩය විවෘත කර පෙන්වා සිටීමට අධිකරණයේ අවසරය ලැබිණි. එය පරීක්ෂා කර බලා පොර බැදූ අවස්ථාවේ ඉරුණු බව කියමින් තැනක් පොලිස් සැරයන්වරයා පෙන්වා සිටියේය. පෙන්වා සිටිමින් කරුණු විස්තර කියද්දී පරීක්ෂණ බාරව සිටි සහකාර පොලිස් අධිකාරීවරයා නැගිට ගොස් විමර්ශන කරන ස්ථානාධිපතිට යමක් ප්‍රකාශ කළ අතර, එවිට එම ස්ථානාධිපතිවරයා සාක්කිකාර පොලිස් සැරයන්වරයාට රහසේ අතින් සංඥාවක් කරමින් නතර කරන ලෙස ඉඟිකරනු දක්නට ලැබිණි.

එම නඩු භාණ්ඩ පරීක්ෂා කර නැවත රුවන් ගුණසේකර ප්‍රශ්න විමසද්දී නඩු විභාගයේදී කරන කටයුතු සහ ඇසිය යුතු ප්‍රශ්න රුවන් ගුණසේකර මෙම අවස්ථාවේදී විමසන බවත්, මෙය මරණ පරීක්ෂණයක් බැවින් සාක්කි මෙහෙයවිය යුත්තේ මරණ පරීක්ෂණය සඳහා පමණක් බවත් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා ප්‍රකාශ කළේය.

ඔහුගේ හැසිරීමෙන් නීතිඥ ආචාරධර්ම උල්ලංඝනය වන බවත් නීතිඥවරයා කීවේය. ඒ අනුව මරණයට හේතුව අනාවරණය කරගැනීමට අදාළ දේවල් පමණක් විමසන ලෙස අධිකරණය දැනුම් දුන්නේය. රුවන් ගුණසේකර සාක්කි මෙහෙයවීම අවසන් කිරීමෙන් පසු අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයේ අවසර ඇතිව යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් සැරයන්වරයා කීවේ තොරතුරු ලැබුණේ තොරතුරුකරුවකුගෙන් බවයි. අපරාධ සටහන් පොත් රැගෙන නොගිය බවත්, සිදුවීමෙන් පසු නැවත එද්දී රත්තරන් බඩු කඩයකින් හෙරොයින් කිරාගත් බවත් ප්‍රකාශ කළ අතර, එම වේලාව මතක නැති බව සඳහන් කළේය.

ඒ අනුව තොරතුරු පොත පරීක්ෂා කර වේලාව ප්‍රකාශ කරන ලෙස දැනුම් දුන් අතර, තොරතුරු පොත මිනිත්තු 7ක් පමණ පරීක්ෂා කර බලා ඊට අදාළ වේලාව සටහන් කර නැතැයි දැනුම් දුන්නේය. මෙතරම් සිදුවීමක් සිදුවී තිබියදී ජුවලරි කඩයකට ගියාදැයි ඇසූ විට පොලිස් සැරයන්වරයා කීවේ ස්ථානාධිපතිට දැනුම් දී එහි ගිය බවයි. ස්ථානාධිපතිට සිද්ධිය ගැන දුරකතනයෙන් දැනුම් දුන්නාදැයි ඇසූ විට එලෙස දුරකතනයෙන් දැනුම් දුන් බව ඔහු ප්‍රකාශ කළේය. ඉන්පසු සටහන් දැමුවේ පොලිසියට පැමිණ බවත්, නැවත පොලිසියට පැමිණියේ 11.05ට පමණ බවට සටහන් වී ඇති බවත් සැරයන්වරයා ප්‍රකාශ කළේය.

ටිපෙක්ස්

එම තොරතුරු පොතේ ඇතැම් ස්ථාන ටිපෙක්ස් කර ඇති බව අධිකරණයට දැනුම් දුන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා, මෙම තොරතුරු පොත නැවත පොලිසිය අතට පත්වුවහොත් තවත් වෙනස්කම් කරනු ඇතැයි සැකසහිත බැවින් එය අධිකරණය බාරයේ තබාගන්නා ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට විරෝධය නොදක්වන බව රුවන් ගුණසේකර ද ප්‍රකාශ කළ අතර, ඒ අනුව එම තොරතුරු පොත අධිකරණය බාරයේ තබාගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥවරුන් වන චාරක ධර්මසිරි, සුරේන් ඩී පෙරේරා, හෂානි පතිරණ, මාධව ඊරියගම සහ මනුෂිකා කුරේ පෙනී සිටි අතර, මරණ පරීක්ෂණයේ සාක්කි මෙහෙයවීම සඳහා පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර, මධ්‍යම පළාත් නීති ඒකකයේ සහකාර පොලිස් අධිකාරී නීතිඥ නිලුපුල් සෝමසිංහ, පොලිස් නීති කොට්ඨාසයේ නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ වසන්ත කුමාර, මධ්‍යම පළාත් නීති ඒකකයේ නීතිඥ දිලීප මාගම්මන සහ නීතිඥ දයා කුමාරසිංහ ඇතුළු නීතිඥවරු පිරිසක් අධිකරණයේ පෙනී සිටියහ.

උපුටාගැනීම : https://thetime.lk/?p=3432

Social Sharing
නවතම විශේෂාංග