සියුම්ව ලියන්න ඉරේෂට පුළුවන්….!

-ලහිරු කිතලගම-

ඉරේෂා හේමමාලි කිවිඳියගේ කවි පොත ලැබුණේ මීට දින කීපයකට කලින් නිසා විවේකිව ඒ කවි කියවන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒ නිසා මම ඉරේෂාගේ කවි ගැන එකින් එක කතා කරන්න යන්නේ නැහැ. බොහෝ අය ඒ ගැන කතා කරාවි. නමුත් සිංහල කවිය තුළ කිවිඳියන්ගේ දායකත්වය ගැන යම් අදහසක් කියලා ඉරේෂාගේ පොත ගැන පොදු අදහසක් දක්වන්නම්, ඉඩක් තිබ්බොත් කවියක් දෙකක් එක්ක. විශේෂයෙන් ම මම කැමතියි අපේ කිවිඳියන් කවි ලියූ යුග දෙකක් මතු කර දක්වන්න. ඒ සිගිරිය සහ මාතර යුගය.

පළමුවෙන් ම ලාංකේය කාව්‍ය ඉතිහාසයේ කිවිඳියක් හමු වන්නේ ක්‍රි.පූ 6 වැනි සියවසේ අග්බෝ රජ දවස බැව් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. එවකට විසූ දොළොස් මහා කවියන් අතර කිවිඳියන් දෙදෙනෙකු සිටී බැව් දැක්වෙන අතර දළ බිසෝ සහ බාදිරියා එකී කිවිඳියන් දෙදෙනා කියලයි සඳහන් වෙන්නේ.

සීගිරි කිවිඳියන්

‘සීගිරි කුරුටු ගීය’ සිංහල කවියේ මඟහැර යා නොහැකි පරිච්ඡේදයක්. සීගිරි ගී විමසීමේ දී ගී ලියූ කිවිඳියන් කීප පොළක් ම අපට හමුවෙනවා. ඇතැම් විට ඔවුන් පූර්ණකාලීන කිවිඳියන් නොවීමට ද පුළුවන්. සීගිරිය බැලීමෙන් ඇති වූ ප්‍රහර්ෂය මුදා හැරීම සඳහා යමක් කුරුටු ගෑ සාමාන්‍ය කාන්තාවන් ද විය හැකි යි. කෙසේ වතුදු සීගිරි ගීය සාහිත්‍ය මූලාශ්‍රයක් සේ සළකා බලන විට ගී ලියූ කීප පොළක් ම හමු වෙනවා. මහාචාර්ය පරණවිතානයන්ගේ ‘සීගිරි ගැෆිටි’ කෘතියේ සීගිරි ගී ලියූ අයගේ නාමාවලිය දැක්වෙන අතර එහි කිවිඳියන් කීප දෙනෙකුගේ ම නම් සඳහන් කර තිබෙනවා.. දේවා, දයාල් බතී, නාල්, සෙන් බතී, නිදලු මිහිඳි අඹු, සෙව් කලී, සෙලු අඹු ආදීන් ඒ අතර වෙනවා.

මේ අය ලියා ඇති බොහෝ ගී වල, තමන් අසවල් අසවල් අයගේ අඹුවන් කියල තමා සඳහන් කරලා තියෙන්නේ. සිය ස්වාමිපුරුෂන් හා සීගිරිය බැලීමට එන ගමනේ දී ඔවුන් මේ කවි ලියන්න ඇති. මෙහිදීත් එවකට පැවති පුරුෂ මූලික සමාජය ගැන අපට අදහසක් ගන්න පුළුවන්. මොකද මේ අය කිසිවෙක් තමන්ගේ නම විතරක් ලියා ස්වාධීනව පෙනී නොසිට අහවලාගේ අහවාගේ බිරිඳ, අඹුව යැයි දැක්වීම එක්තරා විදියට ප්‍රශ්නාර්ථයක්. මෙය එවකට පැවති පුරුෂ මූලික සමාජය ගැන යම් ඉඟියක් ද?

මේ ගී අතර බොහෝමයක් හමු වන්නේ සීගිරි ලියන්ගේ රූප ශ්‍රීය සහ තමන්ගේ රූපය සන්සන්දනය කර ලියූ ගීත. සීගිරි ලියන්ට ඇති මන බඳින රූපය නිසා තමන්ගේ රූපයට ඇති වටිනාකම නැති වේදෝ යන ඊර්ෂ්‍යාවෙන් ලියා ඇති බවක් තමා පෙන්නේ. මේ බලන්න..

මහමත අම්බු දෙවාමි.
මන මෙසි නැගි බෙයන්ද්හි ලෙණැසි සියොවැක් මැය්
අති මුතු වැළ ගත බැලුමැ සෙපත අපහය ගත’
(152 ගීය)

‘මහමත ගේ අඹුව දෙවා යැයි තමන් හඳුන්වා දෙන ඇය කියන්නේ ‘ මුව ඇස් ඇති සීගිරි රූමතියන් තමන් තුළ කෝපය ඇති කරවන බව ය. මුතු වැලක් අතින් ගත් ඇය ඒ තරම් රූමත් ය. ඇය අප සමඟ රූපය අතින් තරඟයක වැදී අති සෙයකි.’ සපත්තියක වී ඇති සෙයකි. – සහකාර අඹු වීම.

‘නිදලු මිහිදඹු සෙව් මෙග්
මහනෙල බර වරල ගෙල හුණ පිහිරල රසන්
ඇදිනි තමා මෙබැලුම වෙක වී අප නුයුන ගතා’
(14 ගීය)

මා නිදලු මිහිදු අඹු වන සෙව් ය. මහනෙල් මල් ගැවසුණු ඔබේ වරලස ද ඔබේ ඇසි කොන් බැල්ම ද අප සමඟ තරඟ කරන්නා සේ ය.

‘සවබරණීන් සැජී ගිරි හිසැ සිටිහි කුමට
යෙහෙළි කියා මො නුමුත අප හිමි (බ)න්දු (දෙf)ස ලූ නෙත්”

ස්වර්ණාභාරණයෙන් සැරසී පර්වත මස්තකයෙහි කුමට සිටින්නෙහිද? ඇය අප ස්වාමියා වැනි කෙනෙකු දෙස නෙත් ලා සිටින්නී යැයි මගේ මේ යෙහෙළිය එකදිගටම කියයි.
(සීගිරි ගී නිර්මාණ, කේ.ජයතිලක)

මේ සියලු කවිවල බැලු බැල්මට පෙන්නේ අර ‘ස්ත්‍රිය, ස්ත්‍රියට ඊර්ෂ්‍ය කරනවා කියන සාම්ප්‍රදායික කතාව. මන් දන්නේ නැහැ ඒක එහෙමද? එක ඇත්තක්ද කියලා. නැත්නම් ඒක පිරිමි විසින් හදපු කතාවක් ද කියලා. කෝම හරි සමාජේ එහෙම කතාවක් තියනවා. අන්න ඒකම තමා මේ කවිවල තියෙන්නේ.

හැබැයි මේ අදහය අභිබවා යන පරිකල්පනයක් සහිත ගී නිර්මාණ ඒ අතර හමු වෙනවා.. හුදෙක් රූපය සන්සන්දනය කිරීමට ඔබ්බට ගොස් සීගිරි ලියන් කෙරෙහි මානව දායා පෙරදැරි කර ගත් දෘෂ්ටියෙන් ලියැවුණ ගීතයක් ද මට හමුවුණා. තව තියද කියලා හොයලා බලන්න වටිනවා. එහිදී මතුපිටට පෙනෙන සෞන්දර්යට එහා එකී සෞන්දර්යට හසු නොව දෑ මතු කර ගැනීමට දරන ප්‍රයන්තයක් පේනවා.. 247 වැනි ගීය බලන්න,

‘උතුරා අඹු සිව්කල බද් ගියි
බෙයෙන්ද්හි රන්වනු නිරින්ද් (ඉ)සිරා වියෙව්හි
මෙසිනි මියෙම්හයි ගල් අගැන හෙන යුන් වැන්නේ”

මෙහි තේරුම සඳහන් වෙන්නේ මෙසේ, ‘මම සිව්කාලා වෙම්. උතුර්ගේ අඹු වෙම්. මේ කතුන් මට පෙනෙන්නේ කෙසේ ද? නිරිඳු මිහිගේ වියොවින් කම්පනයට පත් වී ගල මුදුනින් පහළට පැස සිය දිවි හානි කර ගැනීමට යත්න දරන්නියන් සේ ය.

ස්වභාවෝක්තියෙන් ඔබ්බට ගොස් සීගිරි ලියන් සම්බන්ධ යම් සමාජ දේශපාලන ඛේදවාචකයක් ඇති බැව් මෙහි ඉඟි කරනව. අධිපතිවාදී රාජ නියෝගය නිසා සිය සැමියා හෝ පෙම්වතා අතැර රජවාසලට එන්නට සිදු වූ ස්ත්‍රියන් සිටින්නට ඇති. සිව් කලා නම් කිවිඳියට හසු වන්නේ එකී කටුක යථාර්ථය නොවේ ද? නිරිඳු සැමියා යනු කවුද කියන ප්‍රශ්නේ එක පාරටම එනවා. මේ රජතුමාගෙන් වෙන්වීම ගැන කියනවද කියලා. නමුත් මේ කියන්නේ තමන්ගේ සැමියාගෙන් වෙන්වෙලා රජවාසලේ අන්තපුරයට එන්න වුන ස්ත්‍රියකගේ වේදනාව කියල අපට හිතන්න බැරිද?

ඒ අර්ථයෙන් ගත්තම සිංහල කවියේ ප්‍රබලම කිවිඳියන්ගේ නියෝජනය පටන් ගන්නේ මෙතැනින්. සිගිරි කවියෙන්. කවිය සඳහා වඩාත් සාධනීය දෘෂ්ටිවාදාත්මක ප්‍රවේශයකට එළැඹ තිබෙන බව පේනවා.

මාතර යුගය

සිංහ කාව්‍ය ව්‍යාපාරයේ හමුවන ප්‍රබල කිවිඳියක් තමයි පෙරුමාල් දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනා. ගජමන් නෝනා, රූණ හාමිනේ, රංචාගොඩ ළමයා, විජේකෝන් මැතිනිය වැනි අය මාතර යුගයේ කිවිඳියන් අතර ප්‍රමුඛ වෙනවා.. ඔවුන් ඇතැම් විට හිටිවන කවි ස්වරූපයෙනුත් නැතිනම් සංවාදය කවියේ හැඩයකින් නිර්මාණ කරණයේ යෙදී තිබෙනවා.

ඒ වගේ ම මාතර යුගයේ දේශපාලනික පසුබිම විමසා බලද්දී කාව්‍යකරණයට පමණක් නොව කලාව සඳහා කාන්තාවගේ දායකත්වය අවම වීමට හේතු වූ කාරණා හමු වෙනවා, එම යුගය තුළ කාන්තාවට අධ්‍යාපනය ලැබීමට තිබුණ ඉඩ, සමාජය තුළ ලැබුණ පිළිගැනීම සමඟ කාන්තාවට හිමිව තිබුණේ යම් යම් සීමිත දේවල් පමණයි. ගජමන් නෝනා රහසිගත ලෙස තරුණයකු සේ වෙස් වලාගෙන ගොස් කරතොට හිමියන්ගෙන් අධ්‍යාපනය මෙන්ම කාව්‍ය කරණය ඉගෙනගත්තා යැයි සඳහන් කතා පුවත් ඊට දෙස් දෙනවා.

මෙසේ වෙස්වලාගෙන ඉගෙන ගන්නා ජගමන් නෝනාට විවිධ කතා ද නිර්මාණය වුණා. කෙසේ හෝ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කවිකාරියක් වන ඇය ප්‍රදේශයේ උගතුන් ශාස්ත්‍රවන්තයින් සමීපව ඇසුරු කළා. එකල රුහුණේ සුප්‍රසිද්ධ භිකක්‍ෂුවක වූ සිටිනා මළුවේ ධම්මජෝති හිමි සමඟ අනියම් ඇසුරක් ඇතැයි කට කතාවක් ප්‍රචාර වූ අතර ඇය ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නේ ද කවියෙන්. මේ ඔස්සේ මාතර යුගයේ කිවිඳියන්ගේ දායකත්වය කෙසේදැයි අසහසක් ලබා ගන්න පුළුවන්.

වටිනා කියන මේ මගෙ තුරුණු තුනු විල
සිටිනා මළුවෙ සමිඳුට පුද කළෙමි බොල
සිටිනා මෙ ගම දන අවට ගම් වල
තුටිනා එපින් අනුමෝදන වව් සියල”

ඇළපාත මුදල සහ ජගමන් නෝනා අතර සිදු වූ සංවාදයන් ද මාතර යුගයේ කවි අතර ප්‍රචලිතයි, මේ කවි වඩාත්ම සෘංගාරය මුසු වූ ඒවා.

ඇලපාත මුදලි-

චන්ද සූරියා වැනි එළඳගෙන උවන
ඉන්ද කීල දෙක වැනි ළමැද එන තන
අන්දකාරයට ඇවුළු පහන මෙන
කින්ද තනි යහන නිදියන්නේ නෝන

ගජමන් නෝනා-

බැන්ද හිමි මගේ පරලොව ගිය බැවින
නින්ද මෙමට පුරුදුය තනියම යහන
වින්ද රති සැපත මට මතක නැති වුන
කින්ද තමුසේට විමසන්න කාරණ

රංචාගොඩ ළමයා වුණත් සුවිශේෂයි, එයා ඇහුවේ ‘දුකට කියන කවියට මොන අක්ෂරද?’ කියලා. මේ සමහර කවි බැලුවම මට හිතෙන්නේ මේ කිවිඳියන් පුරුෂත්වය ප්‍රශ්නකර තිබෙනවා කියලා. ස්ත්‍රී කාරකත්වය සිංහල කිවිඳියන්ගේ පටන් ගන්නේ මේ තැන්වලින්. ඒ කියන්නේ සමාජය ප්‍රශ්නකිරීමේ, විමසා බැලීමේ ගුණය.

ඊට පස්සේ අපි දන්නවා සිංහල කවියේ නූතන යුගය තුළ 70 දශකයේ අපට හමුවන ප්‍රබල කිවිඳිය වන්නේ මොනිකා රුවන් පතිරණ. මම ඇය ගැන හෝ ඇගේ කවි ගැන අමුතුවෙන් කියන්න යන්නේ නැහැ. ඇගෙන් පස්සේ අපිට යම් සැලකිය යුතු මැදිහත්වීමක් කරපු සහ කරමින් ඉන්න කිවිඳියන් පිරිසක් මුණ ගැහෙනවා. නිකන් නම් වශයෙන් මතක් කළොත්..

යමුනා මාලනී පෙරේරා, සජීවනී කස්තුරිආරච්චි, විපුලි නිරෝෂණී, සුහර්ෂනී ධර්මරත්න, පද්මිණි ශ්‍රියාලතා, ශ්‍රියානි මිහිඳුකුලසූරිය, සුනන්දා රණසිංහ, සන්ධ්‍යා කුමුදුනී, මාලතී කල්පනා, අනුරාධා නිල්මිණි, එරාධිනී හසිනි ලංකා, සරෝජණී දැරණියගල, තනූජා ලුම්බිණී, ඒඩ්නා මල්කාන්ති, අනෝමා රජකරුණා, පුෂ්පා රම්ලානි, ප්‍රභා මාධවී, වරුණි කෝකිලා,තක්‍ෂිලා ස්වර්ණමාලි, නිසංසලා ගම්ලත්, නිදීරා රෝෂණී නල්ලපෙරුම, සුරේඛා සමරසේන, කාංචනා අමිලානි, පද්මිණි ශ්‍රියාලතා මේ ආදී බොහෝ කිවිඳියන් ප්‍රමාණයක් හමු වෙනවා.

නූතන ම පරම්පරාව සළකා බැලූ බැලුවම මුහුණු පොතේ කවි ලියන පිරිසද ඇතුළුව බලාපොරොත්තු දැල්විය හැකි කිවිඳියන් බොහෝමයක් වෙති. වර්ණ රසිකා,උපෙකලා අතුකෝරාළ, ධරණි උපේඛා, යශෝධා ප්‍රේමරත්න, තරුරැසී ප්‍රනාන්දු, උපේක්‍ෂා ඉමාලි, දිනූ රාජගුරු, ඉරේෂා මධුවන්ති, කසුන්සලා ගිම්හානි, සුබද්‍රා ජයසුන්දර, සසාංකා විතාන, කාංචනා ප්‍රියකාන්ත, නවෝද්‍යා ජයවික්‍රම, දමයන්ති ගල්පායගේ, අනූපමා ගනේගොඩ, ප්‍රගිතිකා ජයසේකර, ආදීන් ක්ෂණයෙන් මතක් වුණ නම් කීපයක්. මේ ලිස්ට් එක දිගයි.

කොහොම හරි මට කියන්න අවශ්‍ය වන්නේ මේ වගේ කිවිඳියන් වැඩ කරමින් ඉන්න තැනක තමා ඉරේෂා පය තියන්නේ. මේ ඉරේෂාගේ දෙවැනි කවි පොත වෙලත් ඒ කාරණය සුවිශේෂ කරලා කියන හේතුව තමයි, ඉරේෂා ලංකාවේ සහෘද සමාජය කිවිඳියක් විදියට හඳුනාගෙන නැතිවීම. මම හිතන්නේ මෙතැන සිටින බොහෝ අයද ඇතුළුව රසික සමාජය ඉරේෂා හඳුන්නගේ ‘හමාර බණවර’ ගීතයෙන් මිස ඒ කවි පොතෙන් නෙමේ. එතකොට ඉරේෂා දන්නේ ගීත රචිකාවක්, නැත්නම් ‘හමාර බණවර’ වැනි වයිරල් වුණ, මිනිසුන්ගේ හෘදය කම්පා කළ අපූරු ගීයක් ලියූ රචිකාවිය හැටියට. එතකොට ඉරේෂාට අභියෝගය තියෙන්නේ ඉරේෂා එක්කම තමා.

‘කවිය’ කියන ශානරය ඇතුළේ විවිධ දේ අත්හදා බැලීම් කරමින් කරමින්, විවිධ ඉසව් ඔස්සේ , විවිධ හැඩතල ඔස්සේ ලියන බරපතල කිවිඳියන් පිරිසක් අපට ඉන්නවා. ඒක සතුටට කරුණක්. අන්න ඒ තැනට කවි පොතක් දානවා කියන්නේ යම් අභියෝගාත්මක දෙයක්. කුමන හෝ දෙයක් ලිවිම විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා කවිය අභ්‍යාස කිරීම, කාව්‍ය සංරචනයන් ගැන, භාෂාව ගැන නැවත නැවත සිතා බැලීම අවශ්‍යයි.

සහෘද සමාජයක් ආකර්ෂණය කරගැනීමේ ගුණය ඉරේෂා ගේ කවිවල කොහොමත් තියෙනවා. ජන මනස ආමන්ත්‍රණය කරමින්, ඒ තැන්වලට සියුම්ව ලියන්න ඉරේෂට පුළුවන්.. විශේෂයෙන් ම ප්‍රේමය, විරහව වැනි විෂයන් වලදී එය අපූරුවට ඉරේෂා කරනවා. මේ එවැනි සිත්ගත් කවක්.

විරහව

සමන් පිච්ච ගාර්ඩිනියා
සුවඳ මිශ්‍ර කෝපි මලක
මිහිරි සුවඳ විඳ ගනිමින්
අතීතයක ඇවිදන් යමි

මතක හඬකින් කණිනෙමි

සිරි සිරි ගා පා ගැටෙනා
හඬට සවන් දී හිඳිමි
පුරුදු නුඹේ පා හඬදැයි
දසවෙනි වරත් බලමි

තවම ඔබ එතැයි සිතමි

කොපි අවන්හල පසු කර
නව පෙම් යුවලක් ඇදෙති
පැරණි මතක අමතක කොට
කෝපි අවන්හල වසාමි

කෝපි බිබී නිදිවරමි.

නමුත් අවසන් වරට මට කියන්න තියෙන්නේ, ඉරේෂා කියන ‘හමාර බණවර’ ලියූ ගීත රචිකාවට තියන අභියෝගය ඒ හමාර බණවර අභිබවා ලිවිම. විශේෂයෙන් එය අභිබවා කවි ලිවිම කියලයි. ගීතය ඔස්සේ හඳුනාගත් ඉරේෂාගේ සුවහසක් සහෘදයින් ඒ ගීතය නිසාම මේ පොත , කවි කියවන්න ගන්නකොට, විශේෂයෙන් ම යම් සක්‍රීය කවි පාඨකයෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න ඉඩ කඩක් තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී ඉරේෂා කවිය නැවත නැවත අභ්‍යාස කරමින් ලිවීම ඉරේෂා කියන කිවිඳිය මතුකර ගැනීමට හේතු වෙනවා.

ඉරේෂාට ආදරෙන් සුබ පතනවා!

Social Sharing
අවකාශය නවතම