එළිසමය

-රවී පී විතාන-

පැදියක මුල, මැද හා අග යන තන්හී හෝ ඉන් එක් ස්ථනයක් කේන්ද්‍ර කර තබන අක්ශර යෙදීම එළිසමයයි. පෙළට සිටුවූ දඬු වැටක් සේ කවිය තුළ වර්ණ ගැන්විම නිසා එයට එළිවැට කියා කියයි. මේ දෙකම එකක් බව ගම්පල යුගයේ සිට නූතන කාව්‍යය කාලය තුළ රචිත කවි අධ්‍යනය කිරීමෙන් පැහැදිළි වේ. එළිවැටක් කවියට අත්‍යාවශ්‍ය නොවන බවත්, එය කාව්‍යය අලංකාරයකට වඩා කවිය නැමති දේහදාරී මිනිසාට බැඳි වෙස්මූනක් බවත් කුමාරංගුයන් පවසයි. මුල් යුග චිරන්තන කවියේ මුල, මැද හා අග එළිසමයෙන් එළිය කළ කවි දැක ගත හැක.

නිදර්ශන

“කන් ප සා උපුලන් ගසා
වන් හ සා ගමනින් ලසා
රන් රුසා අගනන් රැසා
යන් තොසා බසිමින් ගසා” (පරෙවිය)

දැඩි පරිශ්‍රමයක් දරා මේ කෙටි සිව් පදයේ එළිසම රක්සා කර ඇත. රු, සා යන දෙපදය ‘රුසා’ යයි විකෘති කර ගැනීමට සිදුවූයේද එළසමයට වහල් වීමෙනි.

වෑත්තෑවේ හිමියන් ගේ නිසඟ කවිත්වයට එළිසමය ආභරණයක් වේ. දැඩි වෙහෙසකාරීව තතන තතනා එළිවැට බැඳීමට යාමෙන් බොහෝ විට කවිය දුෂණය වේ. නමුත් ඉහත කී ඉබේ බැදෙන එළවැටහි රහ මෙසේය.

” ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
බිඳ බිඳ දුක් සයුර
අහෝ දෙව්දත් නොදුටු මොක් පුර”
(ගුත්තිලය )

කොළඹ යුගයේ දෙවන පරපුරේ කිවියර පිලදූව බෝයගමගේ අල්විස් පෙරේරා “වේදනාව” කාව්‍ය සංග්‍රහයේ කම්මල් කාරයා පැදියට යොමුවෙමු

කිණිහිර, කුළු ගෙඩිය, පොල්කටු අඟුරු ලිප
අදිනා මයින හම,ආයුද දමන ඔප
අඬු මිටි, පීරි කටු, කොකු ඇණ යතුරු කැප
මිනිසකු කෙරෙහි කෙදිනක ඇති වෙයිද සැප

අලුයම අවදි වී කිණිහිර ළඟට එමින්
හිරු බැස යන තුරුම කුළුගෙඩි පහර දෙමින්
උදුනෙන් නැගී මතු වන ගිනි දලුව කමින්
විඳිනා දුකට මොහු දෙස් දෙයි මයින හමන්

මාත්‍රා 18 විරිතක් ද සෑම පදයක්ම සුගානීය යුතුවද කවිය නිසඟයෙන් වියමන් කර ඇත. අර්ථ රහද ශබ්ද රහද අනායාසයෙන් එළිසම රැක කවිය පත අට එකට සිඳවා රහ ගන්වා ඇත. එළිසමයට වහල් නොවී කවි නිශ්පාදනයට මෙතරම් උවමනක් තවත් තිබේ ද?

බයිලා ගායනයේ දී ද එළිසමය ආරක්ෂා කරන්නට වාද බයිලා ගායන පිරිස් වෙහෙසී ඇත.(එළිසම රැකලා දෙන්නෙමි වෙඩි වගෙ බයිලා, ජන වහරේ සුළඹ කතාවකි) ඔවුන් වෙනත් භාෂා වචන එනයින්ම රැගෙන එහි අගට “එක” කියන තනිව ගත් කල අරුත් විරහිත එළසමයක් තනා ගෙන ඇත, මේ එවැනි බයිලා ප්‍රශස්තියකි.

“ගමෙත් නගරයෙත් ප්‍රසිද්ධයි ඔබේ ඇඩ් එක
අර රමේෂ් අයියා දැමේමේ නැද්ද රීලෝඩ් එක”

(මේ අනර්කලී නම් නලඟන ගේ වෙළඳ දැන්වීමක් අඟය කිරීමකි) එළිසමය රැකීමට භාෂාව පරිස්සම් නොකල යම් අපරිනත අවස්ථාවක් ලෙස එය මට හැඟේ.

මස්ඉඹුල නම්, නවපරපුරේ විධග්ද කිවිවරයා ගේ “හිරුත් හිම පියල්ලක” ග්‍රන්ථ යේ ගස යට නතර වුණු අම්මාගෙන් යන පැදියට එබෙමු,

“ඉතින් පුතේ නුඹ බිහි වූ දිනේ සිට
ඇතින්නියකගේ හදකින් ලද පෙමට
ගිහින් එමි කියාවත් නොකිය යන විට
ඇහෙන් ගලා හැලුණා හදවත බිමට”

සරල ආකෘතියක එළසමට වැඩි බරක් නොදාමුත්, එයද රකිමින් කවියේ බරසාර අරුථක් පාඨකයාට ලබා දී ඇත. නූතන කවියේ ප්‍රවේශය ඒ අනුව චිරන්තන ලක්ෂණ වලට වහල් නොවී, එයත් රකිමින් කවියේ අන්‍යයතාවය රකින්නට වත්මන් කවිය සමත්වී ඇතැයි මම අනුමාන කරමි.

(උපකාරක ග්‍රන්ථ – පැදි මිණිවැල, පරවි සංදේශය, ගුත්තිලය, කවි රස විඳිමු, රූපවාහීනී වාද බයිලා වැඩසටහන, හිරුත් හිම පියල්ලක, සාහිත්‍ය විචාර ප්‍රධීපිකා)

.

 

Social Sharing
අවකාශය නවතම