ප්‍රධාන වැරැද්ද ජනතාව සහන ඉල්ලා සිටීමයි – ආචාර්ය නන්දලාල් වීරසිංහ

‘ඔබේ ඡන්දයෙන් පත්කර යවන නියෝජිතයන් ඔබට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා පාවිච්චි කරන්නේ රාජ්‍යයේ මූල්‍ය ප්‍රතිපත්තිය. මෙතැන තියෙන මූලිකම වැරැද්ද තමයි රජයවත්, කැබිනට් මණ්ඩලයවත්, මූල්‍ය ප්‍රතිපත්තියවත් නෙවෙයි. ජනතාව සහන ඉල්ලා සිටීම තමයි මෙතන ප්‍රධාන වැරැද්ද.’ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ ‘අර්බුදයන් තුළ නීතියේ කාර්යභාරය’ සම්මන්ත්‍රණයේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.

අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවති මෙම සම්මන්ත්‍රණයේදී ඒ මහතා තවදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

. විශාල අය වැය පරතරයක් පවත්වාගෙන යෑම වගේම පරතරය පියැවීමට ණය ලබාගැනීම ආදිය ද ඊට ප්‍රධාන හේතු ලෙස පෙන්වා දිය හැකියි.

රජය ණය ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රජයේ ණය ස්වෛරීත්ව ණය ආදිය නොසිතූ ලෙස ඉහළ යනු ලැබුවා. විදේශ ප්‍රේෂණ පහළ යෑමත් මෙරට ආර්ථික අර්බුදය පටන් ගැනීමට හේතුවක් වුණා. ඒ අතරම මෙරට රජය කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව මූලිකව සිදුකරන්නේ මෙරට ජනතාව ඉල්ලන ඉල්ලා සිටින දේ ලබාදීමයි.

ඔබ ඔබේ ඡන්දයෙන් පත්කර යවන නියෝජිතයන් ඒ පොරොන්දු ඉටු කිරීම සඳහා පාවිච්චි කරන්නේ මූල්‍ය ප්‍රතිපත්තියයි. මෙතැන තියෙන මූලිකම වැරැද්ද තමයි රජයවත්, කැබිනට් මණ්ඩලයවත්, මූල්‍ය ප්‍රතිපත්තියවත් නොවේ.

ජනතාව සහන ඉල්ලා සිටීමයි. මේ නිසා තමයි මම කියන්නේ ජනතාව හැටියට ඔබ තේරුම් ගත යුතුයි මොනවාද ඔබ ඉල්ලන්නේ කියා. ඔබ ඉල්ලා සිටින දෙය ඔවුන් ලබාදෙන විට එය ආර්ථික අර්බුදයට මඟ පාදනවා. එවිට කවදාවත් ඔබට හොඳක් නම් සිදුවන්නේ නැහැ. ඒ වගේම රටටත්.

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල පාවීමට ඉඩදෙනු ලැබුවේ දිනෙන් දිනට ආනයන බර වැඩිවීමත් මුදල් සොයා ගැනීමට විකල්පයක් නොමැති වීමත් යන කරුණු මතයි. එහිදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 203 වෙනකල් අඩු කරන්න මහ බැංකුවට අවස්ථාව ලැබුණා.

ණය කළමනාකරණයක් නොකර රුපියල පාවෙන්න දුන්නොත් අවසානයේදී ඩොලරය නවතින්නේ රුපියල් 1,000කටත් එහා ගිහිල්ලයි. අවසානයට ගත යුතු පියවරයන් මුලින්ම ගැනීම සුදුසු නැහැ. එමඟින් රටක ආර්ථිකය විනාශ වෙනවා. මේ වන විට රුපියල ශක්තිමත් වීමට පටන් ගෙන තිබෙනවා.

සෑම වසරකම ඩොලර් බිලියන 6ක ප්‍රමාණයක් අපි ණය වාරික විධියට ණය හිමියන්ට ගෙවිය යුතු වෙනවා.

2020 වසරේදී බිලියන 6ක ණය වාරික ශ්‍රී ලංකාව ගෙවනු ලැබුවා. 2021 වසරේදී තවත් බිලියන 6ක ප්‍රමාණයක් වාරික ලෙස ගෙවනු ලැබුවා.

ණය ගෙවීමත් සමඟ අපේ සම්පත් සම්පූර්ණයෙන්ම හිඟ වුණා. ඒවා පියැවීම සඳහා අපි කෙටි කාලීන ණය ලබා ගනු ලැබුවා. එයින් සිදුවුණේ අපේ සම්පත් බින්දුවට සිඳුණු එකයි. අපි පසුගිය කාලයේ සිටියේ එවැනි තත්ත්වයකයි.

මෙරට ඇතැමුන් වෙළෙඳපොළ ප්‍රතිපත්ති සහ රෙගුලාසි පසුගිය කාලයේ ගිලගනු ලැබුවා. පැහැදිලිවම එය ඔට්ටු තැබීමක්. රුපියල 203ට ස්ථාවර වී තිබියදී සමහරුන් අඩු මුදලට ඩොලර් ලබාගෙන ඩොලර් සඟවාගෙන සිටියා. කාපට් යට, මෙට්ට යට සමහරු ඩොලර් සඟවාගෙන සිටියා.

ඩොලර් සම්බන්ධයෙන් කළු කඩ වෙළෙඳපොළක් මෙරට නිර්මාණය වූයේ ඒ හරහායි. සමහරුන් සිතුවේ එය තමයි වෙළෙඳපොළ පරිවර්තනය කියා. ඒ සියල්ල අපි දන්නවා. මෙරට ඇති සැබෑ යථාර්ථය එයයි.

පසුගිය මැයි මාසය වෙන්කොට රුපියල 203 සිට 380 වෙනකම් ඉහළ ගියා. සමහරු බලාපොරොත්තු වුණා විනිමය අනුපාතිකය තවත් ඉහළට යයි කියා. නමුත් මහ බැංකුව වෙළෙඳපොළ අවබෝධ කරගෙන ක්‍රියාත්මක වූ නිසා එය පාලනය කිරීමට අපට හැකිවුණා.

ඊළඟ මාස කිහිපය තුළ විනිමය අනුපාතික කොයි වගේද කියලා ඉදිරියේදී විනිමය අනුපාතික තීරණය වන්නේ ඉල්ලුම සැපයුම මතයි.

-මව්බිම-

Social Sharing
ආර්ථික නවතම