උඹල නාටු අහපල්ලා මම රෝලින් ස්ටෝන් අහන්නම්….!

-මහේෂ් හපුගොඩ-

ආසියාවේ බොලිවුඩ් කොලිවුඩ් ප්‍රේක්ෂක පාරිභෝගික තීරුව හොලිවුඩ් වෙළදපළ ඇතුලට ගන්නත් හොලිවුඩ් වෙළදපළට මේ පැත්තේ අනන්‍යතාවක් හදන්නත් එක්ක ”නාටු නාටු” සිංදුවට මේ පාර ඔස්කා එකේ ලොකු තැනක් දුන්නට නම් කමක් නැහැ හැබැයි මම නම් නාටු අහන්නේ නැහැ. ඒ නිසා මේක හැමෝම ගැන කතාවක් නෙවෙයි මම ගැන කතාවක් විතරක් හැටියට ගන්න.

එහෙම කියන්නේ නාටු අහන ප්‍රේක්ෂක ශ්‍රාවක ප්‍රජාවගේ රසවින්ඳනය පීචන් කරන්නවත්, මම අහන්නේ වෙනස් ඒවා කියල අනන්‍යතාවක් හදන්නවත් නෙවෙයි. එයාලට ඒක රසවිඳින්න අයිතියක් තියනවා සහ සමහර වෙලාවට අපිත් 6/8 බයිලා අහනවා. නටනවා. ඒ නිසා එහෙම අවුලක් නැහැ. හැබැයි ඔස්කා ලෙවල් එකේ චිත්‍රපටියක් කිව්වම සහ සිංදුවක් කිව්වම අපේ පොඩි ‘මෙව්වා එකක්’ තිබ්බ. ඒ මෙව්වා එක එන්නේ පොඩි සීරියස් බවක් එක්ක.

ඔය ජනප්‍රියම ජෝන් ට්‍රැවල්ටායි ඔලිවියා නිව්ටන් ජෝනුයි Grease එකේ කියන You’re The One That I Want සිංදුවේ උනත් පොඩි වෙනසක් තිබ්බ ඒ කාලේ හැටියට. සංස්කෘතික වෙනසක්. සංස්කෘතික නිදහසක් වගේ එකක්. ඒ වගේ වෙන්න සිහින මවන ගතියක් වගේ එකක්.

Philadelphia ෆිල්ම් එකේ Street of Philadelphia වගේ සිංදුවක්, Casabalanca එකේ As Time Goes By වගේ, The Graduate එකේ Mrs. Robinson වගේ, Butch Cassidy And The Sundance Kid එකේ Raindrops Keep Fallin’ on My Head වගේ, The Woman in Red එකේ I Just Called To Say I Love You වගේ, Robin Hood එකේ Everything I Do I Do It For You වගේ, Full Metal Jacket එකේ Hello Vietnam සහ Paint It Black වගේ, Forrest Gump එකේ පිහාටු සිංදුව (Feather Song) වගේ හෝ අවම වශයෙන් Once Upon A Time in Hollywood එකේ රෝලින් ස්ටෝන් කියන Out of Time වගේ සිංදු එක්ක තිබ්බම නාටු කියන්නේ අර අපි හැමදාම දකින සාමාන්‍ය වේග රිද්ම දෙමළ (හෝ හින්දි) සිංදුවක් විතරයි.

කොත්තු රොටී කොටන සද්දෙට වැඩිය අමුතු මුකුත් ඒ සිංදුවේ නම් ඇහෙන්නේ නැහැ. හොලිවුඩ් එකේ අපිට සාන්දෘෂ්ටික ගතිය මේ වගේ සිංදුවක නැහැ. හැබැයි දකුණු ඉන්දීය සාන්දෘෂ්ටික බවක් මේකේ සමහර විට ඇති. ඒ නිසා ලොකුවට යමක් කියන්නත් බැහැ. සිංදුව හදපු කෙනා කියන විදියට නම් මහාරාෂ්ට ප්‍රාන්තයේ තිබ්බ තෙලඟනා ගමේ එයා හැදුනු වැඩුන අමු සහ ගැමි ගතිය තමයි මේ සිංදුවට පාදක වුණා කියන්නේ. ඒ හැදුන වැඩුන ගමේ රිද්මය තමයි මේ සිංදුවේ පවත්වා ගත්ත කියල කියන්නේ. ඒකට එකඟ වෙන්න පුළුවන්. ඒත් මොකක්ද මේ සිංදුවේ තියන අනික් මේ වගේම සිංදු වලින් වෙනස් වන සැළකිය යුතු වෙනස?

හොලිවුඩ් කියන්නේ සිහිනයක්. මේ සිංදුව අරන් එන සිහිනය මොකක්ද? නාටු වගේ වෙන එක ද? නැත්නම් Forrest Gump එකේ ෆොරෙස්ට් වගේ වෙන එක ද? උස් පහත් තැන් පසු කරමින් අනන්තය දක්වා ගමන් කරන පිහාටුවක් වන් පැවැත්මක් අපි Forrest Gump එකේ පිහාටු ගීතය ඇතුලේ දැක්ක. නිකම් අහන්නකො Eddie Vedder කියන ගායකයා Into the Wild ෆිල්ම් එකට කියන Guaranteed කියන සිංදුව. ඇඟ හිරි වැටෙනවා සමස්ත මිනිස් ශිෂ්ටත්වය ගැනම.

නැටුම් පැත්තෙන් ගත්තොත් මීට වඩා හොඳට නටන සිංදු තියනවා ප්‍රභුදේවා ඉන්න. විජේ ඉන්න. අනේ මං දන්නේ නැහැ දැන් දැන් හොලිවුඩ් ටේස්ට් එක. කමක් නැහැ අපිට වැඩිය සිංදු අහල තියෙන උං වෙන්න ඇතිනේ ඕවයේ ඉන්නේ. මොඩ් හොලිවුඩ් උඹල නාටු අහපල්ලා. මම පරණ රෝලින් ස්ටෝන්, බ්රුස් ස්ප්‍රින්ටීන්, සයිමන් සහ ගාෆන්කල් අහන්නම් පරණ විදියට. ආයිත් කියන්නේ උඹල පලයල්ලා. අපි නවතින්නම්.
(මේ සිංදුවේ ෆොටෝ එකක් බිත්තියේ අලවන්නෙත් ෆිට් එකේ නෙවෙයි. සොරි).

Guaranteed soundtrack by Eddie Vedder for the movie Into the Wild (2007).
https://www.youtube.com/watch?v=Mwx3RvDWvDM

Social Sharing
අවකාශය නවතම