ලාදන් සහ ලාලේ : ජීවත් වීම උදෙසා මරණය තෝරා ගැනීම

-සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්-

විසි වසරකට පෙර ජූලි අටවැනිදා, හිසෙන් බැඳුණු නිවුන්නු ලෙස ලොව පුරා ප්‍රකටව සිටි, ඉරානයේ ලාදන් බිජානි සහ ලාලේ බිජානි, ‘වෙන් කිරීමේ සැත්කමක්’ අතරතුර සැත්කම් මේසය මතදී ම මියගිය හ.

නිරිතදිග ඉරානයේ නගරයක් වන ෆිරුසාබාද් ආසන්නයේ පිහිටි ලොහ්රාස්බ් නම් කුඩා ගම්මානයේ ගොවි පවුලක සාමාජිකයින් වන දඩොල්ලා බිජානි සහ මරියම් සෆාරිට දාව 1974 ජනවාරි 17 වැනිදා ලාදන් සහ ලාලේ උපත ලැබුවේ හිසෙන් බැඳුණු සම රූපී නිවුන් දැරියන් ලෙසිනි.

අතිශය සංකීර්ණ ගර්භනී කාලයක් ද, සංකීර්ණ ප්‍රසූතියක් ද අවසානයේ මෙලොව එළිය දුටු ‘හිසෙන් බද්ධ වූ’ නිවුන් දැරියන් හට, සංකීර්ණ වෛද්‍ය පැටළුම්වලින් ගහන වූ ඔවුන්ගේ ජීවිතවල මුල් කාලය බොහෝ විට ගත කරන්නට සිදු වූයේ එවකට ඉරානයේ සේවය කළ ඇමරිකානු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ටෙහ්රාන්හි රෝහලක ය.

1979 දී සිදු වූ ඉරාන විප්ලවය හේතුවෙන්, ඉරානයේ සේවය කළ බොහෝ විදේශීය වෘත්තිකයන්ට, ඉරානයට සමු දී නැවතත් සිය රටවල් බලා යාමට සිදු වූ අතර, ලාදන් සහ ලාලේව අධීක්ෂණය කරමින් සිටි වෛද්‍යවරුන්ටද එක් රැයින් ඉරානයෙන් පිටවන්නට සිදු වූයේ ලාදන් සහ ලාලේගේ ඉරණම සහ අනාගතය අවිනිශ්චිත තත්වයට ඇද දමමිනි. ඒ සමඟ ම බිජානි සොයුරියන් රෝහලේ අතරමං වූ අතර, ඔවුන්ගේ මවුපියන් හට තම දැරියන් යළිත් හමුවන්නේ 1996 වසරේදී ය. ටෙහ්රාන් සිට කිලෝමීටර් 45 ක් ඈතින් පිහිටි කරාජ් නගරයේ වාසය කළ අලිරෙසා සයිෆාන් විසින් ඔවුන්ව දරුකමට හදාගෙන තිබූ අතර, දැරියන්ව හැකිතාක් මාධ්‍යයෙන් වසන් කරමින් සහ හොඳ අධ්‍යාපනයක් ලබා දෙමින් ඔවුනට සාමාන්‍ය ළමා කාලයක් ලබා දීමට ඔහු කටයුතු කර තිබිණි. එමෙන් ම දැරියන්ගේ ඒකායන අභිමතය වූ ‘වෙන් වීම’ වෙනුවෙන් ඔවුන් ව ජර්මනියේ වෛද්‍ය කණ්ඩායමක් මුණගැස්වීමට ද සයිෆාන් පියවර ගෙන තිබූ අතර, හිස්කබලෙන් පමණක් නොවේ, මොළයෙන් ද එකිනෙකා හා බැඳී, මොළයේ එක් ප්‍රධාන ධමනියක් බෙදාගනිමින් සිටි සොයුරියන් වෙන් කිරීමට උත්සාහ කිරීම ඔවුන්ගේ ජීවිත අවධානමක හෙලන බව කියූ ජර්මන් වෛද්‍යවරුන් විසින් සැත්කම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ ඉන් දැඩි වේදනාවට පත් වූ දැරියන් සැනසීමට ද ඔහුට සිදු වී තිබුණි.

හිසෙන් එකට බැඳී සිටියද, හදවතින් එකිනකාට බොහෝ සෙයින් වෙනස් වූ නිවුන් දැරියන්ගෙන් ලාදන් වඩා සමාජශීලි දැරිය වුවා ය. හඬ නගා සිනාසෙන, මිතුරු මිතුරියන් පිරිවරා සිටි ලාදන් නිසා වඩා ලැජ්ජාශීලී ලාලේටද, සිය ස්වභාවයට ඉඳුරා ම වෙනස් මිතුරු කවවල රැඳී සිටීමට සිදු විය. නිවසේ සිටීම වඩා ප්‍රිය කළ ලාලේගේ අභිමතය දිනන අවස්ථාවලදී, මැසිවිලි නගමින් නමුත් නිවසේ රැඳී සිටීමට ලාදන්ට සිදු විය. සමාජශීලී වීම හෝ හුදෙකලා වීම සිය හදෙහි අභිමතය පරිදි සිදු කිරීමට ඔවුනට හැකි වූයේ නැත. ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කිරීමේ අභිලාෂයන් සහිත වූ දෙදෙනෙකු, අනභිමත යදමකින් බැඳී සිටිය හ.

වයස විසි ගණන්වල මුල් භාගයේදී, ලාදන් නීතිඥවරියක් වීම තෝරාගත් අතර, ජනමාධ්‍යවේදිනියක් වීමේ කැමැත්තෙන් පසු වූ ලාලේ, සිය සොයුරියගේ කැමැත්තට යටත් වන්නේ, නීති අධ්‍යාපනයෙන් අනතුරුව ජනමාධ්‍යවේදය හැදෑරීමට සිය සොයුරියගෙන් පොරොන්දුවක් ගැනීමෙන් පසුව ය. එකෙකුට අනෙකාගේ කැමැත්ත වෙනුවෙන් තම සිහින හා අභිලාෂයන් ඉටු කරගැනීම පසුවට කල් දැමීමට සිදුව තිබුණි. වැසිකිළි යාම පවා, තම අභිමතය ලෙස ඉටු කරගැනීමට නො හැකි ජීවිතයක සිහින සහ අභිලාෂයන් එතරම් බරපතල ලෙස සැලකීමට දෛවය ඔවුනට ඉඩ ලබා දී තිබුණේ නැත.

නීති විද්‍යාලයට යන අතරතුර මහල් නිවාසයක තනිවම ජීවත් වූ සොයුරියන්හට බද්ධ වූ ජීවිතය තවදුරටත් අවශ්‍ය නොවූ අතර, වෙන් වීම සඳහා ඕනෑම කැප කිරීමක් කිරීමට ඔවුහු එකඟ වූහ. ලාලේට ටෙහ්රානයේ නිවසක ජීවත් වීමට කැමැත්තක් වූ අතර ලාදන් වෙනත් දිස්ත්‍රික්කයකට සංක්‍රමණය වීම ප්‍රිය කළා ය. සිව් වසරක නීති විද්‍යාල අධ්‍යාපනය අවසානයේ දිනෙක, සිංගප්පූරුවේ වෛද්‍ය කණ්ඩායමක් හා සම්බන්ධ වන බිජානි සොයුරියෝ, සිය ජීවිත අවධානම දරාගෙන වෙන් වීමේ සැත්කමක් සඳහා මුහුණ දීමට කැමැත්ත පළ කළහ.

2002 වසරේ නොවැම්බර් මාසයේදී වෛද්‍ය කීත් ගෝ හමුවීමෙන් පසුව, ලාදන් සහ ලාලේ සිංගප්පූරුවට යන්නේ, වෙන් වී මිස යළිත් නො පැමිණීමේ තිර අධිෂ්ඨානයෙනි. අට මසක් පුරා සිංගප්පූරුවේදී සිදු කෙරෙන අනේක විධ පරීක්ෂණ මෙන් ම, ස්ව කැමැත්තෙන් මෙකී අවධානමට මුහුණ දීම වෙනුවෙන් කළ නීතිමය කටයුතුද අවසානයේ ඔවුන් 2003 ජූලි මාසයේ හය වෙනිදා සිය සැත්කමට මුහුණ දුන් හ.

වෛද්‍ය කීත් ගෝ ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ලාලේගේ සැත්කම සිදු කිරීම ආරම්භ කළ අතර ලාදන්ව සැත්කමට භාජනය කළේ වෛද්‍ය බෙන් කාර්සන් ප්‍රමුඛ කණ්ඩායමකි. සැත් කියතකින් හිස් කබල් විවර කර ආරම්භ කළ සැත්කම, අනුමාන කළ ප්‍රමාණයටත් වඩා බෙහෙවින් සංකීර්ණ බව වෛද්‍ය කණ්ඩායම විසින් තේරුම් ගත් හ. මෙය ‘මියෙන්නට හෝ සිදු කළ යුතු ය’ යන අවබෝධයෙන් ආරම්භ කෙරුණකි. ආපසු හැරීමක් නො වේ. දෛවය විසින් ලබා දෙන අවසානය කුමක් වුවද ඒ කරා යාම ම විනා විකල්ප නො වන ගමනකි. ඒ බව සැත්කම ආරම්භයට පෙර සිට ම ඔවුහු දැන සිටිය හ.

ලාලේ සහ ලාදන්, මොළයේ එක් ප්‍රධාන ධමනියක් බෙදාගත්තා පමණක් නොව, එතෙක් ස්කෑන් පරීක්ෂණවලට හසු නො වී තිබුණු උත්තර කෝටර කොටස ද එකිනකා හා බෙදාගෙන තිබූ බව අනාවරණය වන්නේ සැත්කම අතරවාරයේදී ය. එකොළොස් පැයක් තිස්සේ, වෛද්‍යවරු විසි පස් දෙනෙකු විසින් සිදු කළ සංකීර්ණ සැත්කම අවසානයේ බිජානි සොයුරියන්, ජීවිතයේ ප්‍රථම වතාවට එකිනෙකාගෙන් වෙන් වූ දෙදෙනෙකු බවට පත් වූහ. ජූලි අට වැනිදා දහවල් එකයි තිහට සැත්කම නිමා කළ බවත්, දෙ සොයුරියන්ගේ තත්ත්වය යහපත් නො වන බවත් නිවේදනය කෙරිණි.

2003 ජූලි අට වැනිදා එරට වේලාවෙන් සවස දෙකයි තිහට ලාදන් බිජානි, විසි නම වසරක් පුරා සිය සොයුරියට කයෙන් බැඳී සිටි ජිවිත ගමන, කයෙන් ස්වාධීන වූ ගැහැනියක ලෙස නිමා කළ අතර, ඉන් විනාඩි අනූවකට පසු ලාලේ ද සැත්කම් මේසය මතදී ම මියගියා ය.

තීරණාත්මක සැත්කමට යාමට පෙර, විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ලාදන් පවසා තිබුණේ, ස්වාධීන ජීවියෙකු වීම සඳහා තමන් මෙන් ම තම සොයුරියත් ජීවිත අවධානම නො තකා සටන් කිරීමට සූදානම් බව ය. ” එක්කෝ අපි වෙන් වුණු දෙන්නෙක් විදිහට ජීවත් වෙයි. එක්කෝ අපි වෙන් වුණු දෙන්නෙක් විදිහට මැරෙයි.”

විසි නව වසරක ජීවිත කාලයේදී, කණ්ණාඩියක ප්‍රතිබිම්බයකින් විනා කිසි දිනෙක මුහුණට මුහුණ එකිනෙකා දෙස බැලීමේ වරම් හිමි නොවූ දෙසොයුරියන්, එකිනෙකට සමීප වෙන් වෙන් මිනී වලවල් දෙකක අවසන් නින්ද සඳහා සතපවනු ලැබූ හ. ඔවුන් සිහිනයක් දකිමින්, සිහිනයෙන් අවදි නො වීම මියගිය හ.

මරණවලට හේතු වී තිබුණේ සැත්කමේ බහුවිධ සංකීර්ණතා සහ අධික රුධිර වහනය ය.

“එක්ව රැකෙමු ද? වෙන් ව මියෙමු ද?” මේ බිජානි සොයුරියන්ගේ මරණය පිළිබඳව සති අන්ත ලංකාදීප පුවත්පත (2003 ජූලි 13 ඉරිදා) ගෙන ආ සවිස්තරාත්මක ලිපියේ සිරස්තලය ය.

ඉන් වසර පහළොවකට පමණ පසු සුමිත්‍රා රාහුබද්ධ විසින් අත අත නෑර නවකතාව ඔස්සේ, හිසෙන් බද්ධ වූ නිවුන් දැරියන් වන අනුරිත්, මනුරිත් අප හමුවට ගෙන එන්නී ය. කයෙන් ස්වාධීන නොවූ, ස්වාධීන අපේක්ෂා ඇති ජීවින් දෙදෙනෙකු වෙන් වීමේ අවධානම කරා යන ගමන වෙනුවට එක්ව ජීවත් වීමේ ඉරණම දරාගෙන තිස් හැවිරිදි වියේදී ස්වභාවික වූ මරණයකට මුහුණ දෙන්නේ එහිදී ය. ඒ අතරින් පසුව මියයන්නී මනුරි, සිය ජීවිතයේ අවසන් මොහොතේ, තමන්ට පෙර මියගිය, බද්ධ වූ සොයුරියගේ සීතල වෙමින් යන සිරුර අතගාමින් කල්පනාවේ නිගමන්ව සිටින්නී ය.

ස්වාධීනභාවයද මරණයද යන උභතෝකෝටිය හමුවේ, විසි වසරකට පෙර ඉරිදා ලංකාදීපයක උදෘතයක මතකය ක්ෂණ පුළිඟුවක් සේ එබී බලමින් පැනයක් දල්වයි.

”එක්ව රැකෙමුද වෙන් ව මියෙමුද?’

මිතුරනි, ජීවිතාපේක්ෂාව ඇත්තේ බොහෝ දේවලට වඩා උඩින් බව පොදු පිළිගැනීම ය. අල්පයක් තරම්වත් වූ ස්වාධීන වීම සඳහා ලාදන්ගේ සහ ලාලේගේ කැමැත්ත තිබුණේ ඊටත් වඩා ටිකක් උඩින් බව කිව නො හැකිද?

උපුටාගැනීම : ෆේස්බුක්

 

Social Sharing
අවකාශය නවතම