ඔබ ඇපල් මලක් වාගේ

– ෂෙනූ පෙරේරා –

වැටමාර පොලු හමුදා සහ තුරු සුනඛ හමුදා කතන්දර අස්සෙ ජීවිතේ ගිලිලා යන එක නවත්තන්න පුළුවන් ක්‍රම හොයාගන්න එක දැන් ජීවිතේ අනිවාර්යය අංගයක් වෙලා. සින්දු අහන එක ඒ අතර ප්‍රධාන එකක්. වෙන රටක උසස් අධ්‍යාපනය ලබපු එකෙන් ලැබුණු වාසි ගැන මගෙන් කවුරු හරි අහන ඕනම වෙලාවක මම මුලින්ම කියන කාරණාවක් තමා දේශ සීමා ඉක්මවා ගිය මිත්‍රකම් ඇතුළෙ කලාවේ විශාලත්වය යාන්තමට ස්පර්ශ කරලා දැකගන්න ලැබුණු ඉඩ. මම ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගන්න පටන් ගත්තෙ මගේ ලතින් ඇමරිකානු යාළුවො නිසා. භාෂාව ඉගෙන ගන්න ආස හිතුණෙ එයාලගෙ සංගීතය නිසා. පලස්තීන නැටුම්, මෙක්සිකානු නැටුම්, අප්‍රිකානු මහද්වීපයේ සංගීතයේ විශාලත්වය, අරාබියානු නැටුම්වල පරාසයන්, ඉතාලි චිත්‍රපටි සහ ප්‍රංශ සංගීතය, අයුරිෂ් නැටුම් සහ ජනකතා මේ වගේ ගොඩාක් දේවල් යාන්තම් ස්පර්ශ කරලා බලන්න ඉඩක් මට ලැබුණා. නොදන්නා සාහිත්‍ය රස විශාල ප්‍රමාණයක් ලෝකයේ පවතින බව දැනගන්න ලැබීම විශාල ප්‍රීතියක් වුණා.

ලෝකේ කොහේ ඇවිදලා ආවත් ” ඔබ ඇපල් මලක් වාගේ” කියලා අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරද්දි දැනෙන හැඟීමට සමපාත වෙන්න පුළුවන් යමක් මට තාම මුණගැහිලා නැහැ. Manu Chao කියන ගායකයා ගායනා කරන Me Gustas Tu කියන සින්දුව වාහනේ ප්ලේ වෙන්න දාලා අපි 2021 වසන්තයේ දවසක මහ රෑක, Kilsheelan ඉඳලා Dublin එන පාරේ නැටුවා කියලා මට මතකයි. නටලා හති වැටිලා වාහනේට නැගලා ඇස් පියාගෙන එන අතරෙ ” ඔබ ඇපල් මලක් වාගේ” ප්ලේ වෙන්න දාලා අහගෙන ඉද්දි ” මොකද මේ තනියම හිනාවෙන්නෙ?” කියලා කවුරු හරි යාළුවෙක් ඇහුවා. එදත් මට හේතුවක් තිබ්බෙ නැහැ. දැනුත් වැඩ කරන ගමන් මට ” ඔබ ඇපල් මලක් වාගේ” ඇහෙනවා. දැනුත් හිනා යනවා. තාම හේතුවක් දන්නෙ නෑ.

ඔබ ඇපල් මලක් වාගේ ඇහුණු මුල් කාලේ මට ඒ සින්දුව දැනුණෙ තමන්ගෙ මුළු ආත්මයෙන්ම කෙනෙක්ට ආදරේ කරන මනුස්සයෙක් ඒ ආදරේ ගැන කියන සින්දුවක් විදිහට. මේ තියෙන්නෙ තමන් ආදරේ කරන කෙල්ලව මුළු ආත්මෙන්ම ( බොක්කෙන්ම) අගයන, පිරිමියෙක් කියන සින්දුවක් කියලා හිතාගෙන අවුරුදු ගාණක් ගෙවිලා ගියා. ඉස්සර යාළුවන්ට මම කියන්න පුරුදු වෙලා හිටියා මේක ලස්සනට කියන්න පුළුවන් කොල්ලෙක් එක්ක යාළු වෙනවා කියලත් ( කුඩා සමයේ විනෝදයන්). පස්සෙ කාලෙක කිව්වා වෙඩින්ග් එකේදි මේක කියන්න ඕනේ කියලා බඳින මනුස්සයා ( පස්සෙ වෙඩින් මොකටද අඩේ කියලා හිතුණා). ලංකාවෙන් යන්න සති කිහිපයකට කළින් ‘රන්සර රාත්‍රිය’ වැඩසටහනට ගිහින් සින්දු තෝරන්න තිබ්බ වෙලේ යාළුවො කිව්වා ” ඇයි කැමති ඇහුවම, ඒකට හේතුවක් කියාගන්නවත් අමාරු ඔබ ඇපල් මලක් නම් තෝරගන්නෙපා” කියලා. ඒත් අන්තිම සින්දුවට තෝරගත්තෙ ” ඔබ ඇපල් මලක් තමා”. වැඩසටහන කරපු මේනකා අක්කා වැඩසටහන ඉවර වෙලා ” අපේ ඇපල් මල” කියලා මාව වැළඳගත්තා. මට එදත් හේතුවක් කියන්න බැරුව ගියා. ” මම ආසයි මේ සින්දුවට” ඔච්චරයි මම කිව්වෙ.

දැන් කාලය ටිකක් ගෙවිලා ගිහිල්ලා. මෑතක මහ රෑ ගෙදර එන ගමන්, වාහනේ දෙදරන්න ” ඔබ ඇපල් මලක් වාගේ” ප්ලේ වෙන්න දැම්මා. ඒ වචන ඇහෙද්දි, ජීවිතේ මුල් වතාවට ඒ සින්දුව ඇහෙනවා කියලා මට හිතුණා.

“ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්‍රියේ
කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ
එය පමනක් ශේෂය වී නම් පූර්වාත්මයේ
ඔබ ගැවසෙන මා හිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදෙකලාව අවනඩුවක්… ගෑනු ළමයෝ”

මේ ටික ඇහුණම මට හිතුණා මේක අහපු නව යොවුන් ගෑනු ළමයා තව දුරටත් ඒ විදිහටම මා තුළ පවතින්නෙ නැහැ කියලා. ජීවිතේ මුල් වතාවට මට හිතුණා ඔබ ඇපල් මලක් වාගේ ගායනා කරන්නෙ තමන් දැක්ක ගෑනු ළමයෙක් ගැන බරපතල ආකර්ෂණයක් දැනුණු පිරිමියෙක් මිසක් ආදරයක් දැනුණු පිරිමියෙක් නෙමෙයි කියලා. ආදරේ ඇතිවෙන්න හෝ නොවෙන්න ඉඩ තියේවි ඒත් මේ ගායනා කරන්නෙ දැඩි ආකර්ෂණයක්, විශේෂයෙන්ම ලිංගික ආකර්ෂණයක් දැනෙන ගෑනු ළමයෙක් ගැන කියලා මට හිතුණා.

ඉටි රූපෙ අපූරුව විඳින්න මං හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අවනඩුවක්… ගෑනු ළමයෝ

එහෙම හිතුණම අහිමි වෙලා යන කොටසක් තියෙනවා. ඒ තමා මේ සින්දුව තමන් ආදරෙන් බැඳුණු ගෑනු ළමයට කියන පිරිමියා ගැන තිබ්බ රූපය සහ මතකයන්. ඒත් ආයාසයකින් තොරවම ඒ කොටස අහිමි වීම දිහා සැනසිල්ලෙ බලන්න මට පුළුවන් කියලා හිතුණා. ආදරේකින් තොරව ආශාවක් හට ගැනීම අප්සට් වගේ කියලා හිතපු පොඩි ගෑනු ළමයෙක් ඇහේ කොණට අහුවෙලා නොපෙනී ගියා.

ආකර්ෂණය, ආකර්ෂණයක් බව කියාගන්න අපහසුවෙන් ඒකට ආදරය වගේ වචන එල්ලන්න සිද්ද වෙන අපේ සංස්කෘතිය සහ මම හැදුණු සමාජ වටපිටාව ගැනත් මම ආයේ හිතුවා ( පේනවනෙ ඔන්න ඕකයි මම මේ සින්දුව ගැන නොහිතන්නෙ).

පායන්න දෑස මානේ
උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොඳුරු ඔය හැටී…….

මේ සින්දුව යම් දවසක එයා ආදරේ කරන මනුස්සයා ගායනා කරන හැටි අහන්න හිතන් හිටපු නව යොවුන් ගෑනු ළමයා ගැන මට දැන් දැනෙන්නේ ආදරයක් සහ කෘතවේදීකමක්. ඒ අතරෙම කැළුම් ශ්‍රීමාල් කියන මනුස්සයගෙ හැකියාව ගැන විශ්මයක් මට දැනෙනවා. ඉටි රූපේ, පින්තූරේ වගේ වචන වලින් තමන් කැමති ගෑණු ළමයව හඳුන්වන පිරිමි යාළුවොන්ව මම දන්නවා. ඒත් කැළුම් ශ්‍රීමාල් ඒ වැඩේ තාලෙට, තිතට, පදමට කරා කියලා මට හිතෙනවා.

ඒ ඔක්කොම හිතන ගමන් මම ආයෙත් ඇස් වහගෙන මේක අහන්න ඕනේ. මේ සින්දුවට මම කැමති ඇයි කියලා මම ඇත්තටම දන්නෙ නැහැ. තාමත් දන්නෙ නැහැ. ඒත් කොහෙන් හරි ඈතකින්

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ……

කියලා ඇහෙද්දි ආදරේ ගැන හිතන්න පටන් ගත්ත වර්ණවත් ගෑනු ළමයෙක්ව මට මතක් වෙනවා. ආදරේ කිසිදාක එයාව කළකිරීමට පත් නොකරපු බව මට මතක් වෙනවා. ඒ කෘතවේදී හැඟීමෙන් මම ආයෙත් ඔබ ඇපල් මලක් වාගේ අහනවා.

 

 

Social Sharing
අවකාශය නවතම