මොනවද මේ IMF කොන්දේසි 15 ?

-ශිරාල් ලක්තිලක-

IMF එක කොන්දේසි දමනවා යයි රට තුළ ඇත්තේ මැසිවිල්ලකි. නමුත් ඒ කොන්දේසි මොනවාදැයි විශ්ව විද්‍යාල ඇදුරකු හෝ මාධ්‍ය හෝ අඩුම තරමින් විපක්ෂය හෝ රටට කියන්නේ නැත. ආන්ඩුවද එම කොන්දේසි මොනවාදැයි රටට කියන්නේ නැත. අඩුම තරමින් IMF වෙබ් අඩවියේ ලේඛනාගාරය තුලින් වත් එම කොන්දේසි 15 එක එල්ලේ ග්‍රහනය කරගත හැකි වන්නේ නැත. එම නිසා වාසුදේව සහෝදරයා වැනි විශ්‍රාමික මාක්ස්වාදීන් ද විමල් වීරවංශ වැනි ජාතිකවාදීන් ද හඬගා රටට කියන්නේ IMF එක ලාංකික ජනතාවගේ ලේ උරා බීම සඳහා කොන්දේසි දමන බවය. සජබය කියන්නේ තමන් බලයට පැමිනි පසුව IMF එක සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වඩා ඉහළින් හෙට්ටු කර රටට හොඳ දේ දිනා ගන්නා බවය. ජවිපෙ සහ ජජබය IMF කොන්දේසි ගැන ප්‍රශස්තව යමක් කියා ඇතැයි මට අසන්නට ලැබුනේ නැත.

පහතින් දැක්වෙන කොන්දේසි 15 මා විසින් IMF වෙබ් අඩවිය තුල පවතින ලේඛනාගාරයේ ඇති ලියවිලි ගණනාවක් සියුම්ව පිරික්සමින් උපුටාගනු ලබන කොන්දේසි බව කිවයුතුව තිබේ. ඒ සඳහා ප්‍රාථමිකව උපකාරීවු ලියවිල්ල IMF එක විසින් ශ්‍රී ලංකා රජය සමග ඇති කරගත් staff level agreement ලියවිල්ලයි. කෙසේ නමුත් එම ලිපිවල දක්නට ලැබුනු බොහෝ ආර්ථික සංකල්ප සිංහලයට පෙරළීමට මා සතු හැකියාව අවම නිසා ඇතැම් ඉංග්‍රීසි සංකල්ප එසේම පහතින් උපුටා දක්වමින් එනමුදු ඒවායේ නිරුක්තිය මාහට හැකි පමනින් සඳහන් කිරීමට කටයුතු කර තිබේ.

මෙලෙසට හඳුනාගත් කොන්දේසි 15 නැවත නැවතත් කියවීමේදී මට හැඟෙන්නේ ඒවා රට මුහුනදී ඇති ආර්ථික ව්‍යාධියට මුහුනදීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කොට තම ණය ආපසු ගෙවීමේ ස්ථායීතාවය තමන් විසින්ම ජනිත කර ගැනීමට ශ්‍රී ලංකා රජයට මාර්ගෝපදේශයන් සපයන දර්ශක (indicators) ලෙසටය. ඒ සඳහා වර්තමාන රජයේ ප්‍රතිචාරය අප දන්නේ නැති වුවද හඳුන්වාදෙන විවිධ ප්‍රතිසංස්කරන දෙස බැලු කළ සිතෙන්නේ ඒවා මෙම දර්ශක අනුව යමින් සිදු කරන ප්‍රතිසංස්කරන ලෙසටය.

මෙහිලා සඳහන් කරන්නට වැදගත්ම කරුණ වන්නේ ලාංකික සිවිල් සමාජය, වෟත්තීය සමිති ව්‍යාපාරය හෝ විපක්ෂය තවමත් ඉහත කී දර්ශක පිලිගනු ලබන්නේ නම් ඒ බවද එසේ නම් එකී දර්ශක ඔස්සේ විකල්ප රජයක් ලෙස තමන් ගොඩනඟන ප්‍රතිපත්ති රාමුව කුමක්දැයි යන්න හෝ එකී දර්ශක අනුව කටයුතු නොකරන්නේ නම් ඒ කුමන පදනමකින්ද යන්නත් ඒ අනුව තමන් අනුගමනය කරන්නට යන විකල්ප වැඩපිළිවෙල කුමක්දැයි තවමත් විස්තීරණ ලෙස සමාජයට විස්තර කර දෙන්නට අපොහොසත්වී ඇති බවය.

මේ දර්ශක දෙස හොඳින් විමසුවිට මා හට හැඟෙන්නේ පහත මාර්ගෝපදේශ වලට අනුව ක්‍රියාත්මක වීම IMF විසින් නොකීවද රටට වැදගත් වනු ඇති බවයි. දේශපාලන පක්ෂවල වගකීම වන්නේ තම තමන්ගේ දේශපාලන චින්තනයන්ට අනුව අදාල මාර්ගෝපදේශ තුළ සඳහන් කරුනු කුමන මට්ටමින් රට තුළ ක්‍රියාත්මක කිරීමට තමන් කැපවන්නේදැයි සමාජය දැනුවත් කිරීමයි. සමාජයේ හා මාධ්‍යයේ වගකීම එම සංවාදය ප්‍රශස්ථ ලෙස පවත්වාගෙන යමින් පාලකයන්ට රටට සුදුසු ප්‍රතිපත්ති හඳුන්වාදීමය.

මේ කරුනු ඉදිරිපත් කරන්නේ එකී වගකීම පෙරදැරිවය.

IMF දර්ශක

1. Monetary සහ credit aggregates කලමනාකරණය මත සාර්ව ආර්ථික ස්ථායීතාවය තහවුරු කිරීම. Monetary aggregate යනු ජාතික ආර්ථිකයට සපයන මුදල් ප්‍රමානය සහ බැංකු තුල තැන්පත් කොට ඇති සංසරනයයට පාත්‍ර වන විනිමය (currency ) ප්‍රමානයයි. Credit aggregate යනු රට තුල සංසරනය වන දේශීය නය, මුදල් හා ෆිනෑන්ස් කටයුතු වල එකතුවයි.

2. දත්ත මත පදනම් වන monetary policy එකක් මත මිල ස්ථායීතාවය හා රාජ්‍ය මුල්‍ය ස්ථායීකරන ප්‍රතිපත්තියක් හඳුන්වාදීම.

3. ඉහත කී රාජ්‍ය මුල්‍ය ස්ථායීකරන ප්‍රතිපත්තිය යටතේ ප්‍රශස්ත monetary financing ප්‍රතිපත්තියක් ගොඩනැගීම සහ එහිලා රාජ්‍ය මුල්‍ය හිඟය අවම කිරීම සඳහා මහ බැංකුව විසින් අකාර්යක්ම ව්‍යාපෟති සඳහා නය සැපයීම හා මුදල් අච්චු ගැසීම පාලනය කිරීම.

4. රටේ විදේශ සංචිත නැවත ගොඩනැගීම සඳහා වෙළඳළොල මත යැපෙන නම්‍යශීලී විදේශ විනිමය අනුපාතයන් හඳුන්වා දීමට කටයුතු කිරීම සඳහා පුර්ණ ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදීම.

5. මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කරන අතරේ උද්දමනය පාලනය කිරීම සඳහා නිසි නම්‍යතාවයක් සහිත උද්දමනය පාලනය කිරීමේ ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදීම

6. ඉහත අයිතම 1,2,3,4,5 හි සඳහන් කරුණු ද ඇතුලත් වන සේ මහ බැංකු පනත සංශෝදනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලන අතපෙවීමන් වලින් තොර monetary විෂය තුළ ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම.

7. ණය ආපසු ගෙවීමේ ස්ථායීතාවය ඇති කර ගැනීම: මේ යටතේ I. දැනට පවතින රාජ්‍ය ණය නැවත ගෙවීම පිළිබඳ අවධානම හා බැංකු මගින් ලබා ගෙන ඇති sovereign debt අතර පවතින සබඳතාවය කලමනාකරණය, II. නැවත නය ලබා ගැනීමට යාමේදී අනුගමනය කල යුතු පිලිවෙතක් ලෙස ” close Monitering of underlaying assert quality and identifying the vulnerabilities through stress testing ලෙස යෝජනා කරනු ලබයි.

8. මුල්‍ය ස්ථාවරත්වය නඟා සිටුවීම සඳහා අවැසි සෞඛ්‍ය සම්පන්න බැංකු පද්දතියක් සහ එම බැංකු තුළ ප්‍රමානවත් ප්‍රාග්ධනයක් ඇති කිරීමට හා දේශීය මුල්‍ය කෂේත්‍රය සඳහා ආරක්ෂන දැලක් හඳුන්වාදීමට මෙන්ම බැංකු කටයුතු නියාමනයට ලක් කිරීමට හැකිවන සේ බැංකු පනත සංශෝධනය කිරීම.

9. රාජ්‍ය මුල්‍ය ස්ථායීතාවය ඇති කර ගැනීම හා ඒ යටතේ දැනට පවතින අයවැය හිඟය දල ජාතික නිශ්පාදනයෙන් 2.3% දක්වා පහලට ගෙන ඒම.

10. ඉහත රාජ්‍ය මුල්‍ය ස්ථායීතාවය ඇති කරගැනීම යටතේ රජයේ වියදම( government spending) එනම් net domestic financing දළ ජාතික නිශ්පාදනයෙන් 12% ට අඩු අගයකට ගෙන ඒම. මෙහිලා domestic financing යනුවෙන් හැඟෙන්නේ පුනාරාවර්ථන වියදම් (recurrent expenditure), ප්‍රාග්ධන වියදම්(capital expenditure) සහ transfer of payments එනම් නය හා පොලී ගෙවීමයි.

11. ඉහත කී මුල්‍ය ස්ථායීතාවය ඇති කර ගැනීම උදෙසා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම හා රාජ්‍ය බදු මගින් ලැබෙන ආදායම පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සඳහා නොයෙදවීම.

12. පිරිවැය පිරිමැසුම් ප්‍රතිපත්තියක් මත ඛනිජතෙල් සහ විදුලියට අදාළ මිල තීරණය කරමින් රාජ්‍ය සංස්ථාවන් ලෙස එම ආයතන වල අලාභය අවම කිරීම.

13. දුෂණය මැඩලීම සඳහාත් රාජ්‍ය මුල්‍ය කලමනාකරණය පාරදෟෂ්‍යභාවයට පත් කරලීම සඳහාත් බලවත් දුෂණ විරෝධී පනතක් හඳුන්වාදීම මෙන්ම රටේ ආන්ඩුකරණයට අදාළව එහි පවතින අඩු පාඩු සම්බන්ධයෙන් ගැඹුරු විශ්ලේෂනයකට යොමුවීම.

14. වර්තමාන ආර්ථික අරබුදය නිසා අගතියට පත්වු දුප්පත් හා හානියට පත්වු ජන තීරු සඳහා වන සහන සැලසීමේ පිරිවැය ඉහළ දැමීම සහ වර්තමානයේ පවතින සමාජ ආරක්ෂන දැල ( social security net) සහ එයට වැය කරන පිරිවැය කාර්යක්ෂම කිරීම.

15. ශ්‍රී ලංකාව නැවතත් වර්ධන මාවතට පිවිසීම තහවුරු කරනු වස්:
– කාන්තාවන් සවිබල ගැන්වීම
– තරුණ රැකියා වියුක්තිය අවම කිරීම
– ආනයන තහනම ක්‍රමිකව ඉවත් කිරීම
– වානිජ කටයුතු හා ආයෝජන ඉහළ නැංවීම සඳහා සානුබල සපයන පරිසරයක් ඇති කිරීම
– වරාය නගර ව්‍යාපතිය ප්‍රශස්ථ ලෙස කලමනාකරණය
– කාලගුණ විපර්යාස පිළිබඳ ගෝලීය සංවාදයට සංවේදී වීම
– දුෂණය, අක්‍රමිකතාවය හා නාස්තිය පිටු දැකීමේ සංස්කෟතියක් ගොඩනැගීම

Social Sharing
ආර්ථික නවතම