ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට එදිරිව ගුණවර්ධන සහ තවත් අය

-මංජුල ගජනායක-

අප කලණ මිතුරියක් වන ගයනි ප්‍රේමතිලක, කල් දැමු ජන්දයේ බර දැනිය යුත්තේ දේශපාලන අධිකාරියට බව පෙරදිනයේ ලියා ඇත. ඇයගේ නිගමනය වන්නේ උදුරාගනිමින් සිටින පරමාධිකාරී බලය නැවත ෆික්ස් කල යුත්තේ දේශපාලන අධිකාරිය බවයි. ඊට වහා ප්‍රතිචාර දැක්වූ සුදර්ශන ගුණවර්ධනයෝ කෙටි ප්‍රතිචාරයක් ලබා දී ඇත්තේය. ප්‍රතිචාරය කෙටි වුවද එය නාපාම් බෝම්බයක් බඳුය.

කොහොමත් අපගේ ආදරණිය සුදර්ශන අයියා එහෙමය. මරණය වුව සුන්දර රමණයක් සේ දකින්නටත්, තම සිතැඟි දේශපාලන දෘශ්‍යවාදය ඇඟට පතට නොදැනී අනෙකාගේ මහාන්ත්‍රය දක්වා ගිල්ලවන්නටත් ඔහු කොහොමත් සමර්ථය. වරදවා වටහා නොගන්නේ නම් ඔහු තමිල් සෙල්වම් පන්නයේ ලිබරල් උන්නතිකාමියෙකි. එහෙම නිසාම පරමාධිකාරී බලය රනිල් වික්‍රමසිංහ පළමු පුරවසියාගෙන් රැකගන්නට පළමු සුදර්ශන අයියා සමඟ මේ ගනුදෙනුව බේරා ගත යුතුය. ඔහු මේ අපරිණත තර්කය TNL සාකච්ජාවකදී ද දමා ගැසුවේය. මාගේ මතකය නිවැරදි නම් දෙරණේ දී ද මේබැව් කියා ඇත.

පරමාධිපත්‍යය බලය

ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ජන්ද බලයද ඇතුළත් වන්නේය.- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව

මෙමඟින් දක්වන අදහස මෙරටේ සමස්ත ආණ්ඩුක්‍රමයේ ස්වභාවය ද හකුලා දක්වන්නේය. ශ්‍රී ලංකා ජනරජයේ මතුනොව ඕනෑම ජනරජයක හරය සහ ජීවය එහි ගැබ් වන්නේය. එහෙත් සුදර්ශනට ඒ මදිය. ඔහු බල කරන්නේ 04 වන ව්‍යවස්ථාව ද කියවන ලෙසයි. එම ඉල්ලීම අහිංසක නැත. සැබවින්ම කරුණු කෙසේ වෙතත් හඬින් තර්ක දිනන්නට හදන යූ.ආර්. සිල්වා පන්නයේ තර්කයකි එය.

ඔහු කියවන්නට බලකරන 4 වන ව්‍යවස්ථාවේ මෙසේ දැක්වේ.

අටළොස් විය සම්පුර්ණ කර ඇත්තාවූ ද මෙහි මින්පසු විධිවිධාන සළස්වා ඇති පරිදි ජන්ද හිමියෙකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ජන්දහිමි නාමලේඛනයේ ඇතුළත් කරනු ලැබ සිටින්නා වූ ද, සෑම පුරවසියෙකු විසින්ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරාපත්කර කිරීමේ ජන්ද විමසිමේ දී ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරාපත් කිරීමේ මැතිවරණයේ දී ද, සෑම ජනමත විචාරණයක දී ද, ජන්ද බලය ක්‍රියාත්මක කල හැකි විය යුත්තේය. – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 04(ඉ)

දැන් මෙයත් කියවන්න යැයි සුදර්ශන අපිට බලකරන්නේ මන්ද? එකම හේතුවක් මතය. මේ අනු ව්‍යවස්ථාවේ ජන්ද වර්ග ඇත්තේ තුනක් පමණි. පළාත් සභාත් නැත. පළාත් පාලන ආයතනත් නැත. පළාත් පාලන ජන්දය දැනට ඕන නැතැයි කියන ලිබරල් කල්ලියට මෙය වෙස්වලාගත් ආශීර්වාදයකි. (පේනවා නේද? අපේ ව්‍යවස්ථාවෙන් වත් පළාත් පාලනේ ගණන් අරං නැහැ).

එය තර්කයක් සේ දමා ගසන්නට සුදුසු එකක් වුවද, කඩු, තෝමර අමෝරාගත් සටන් බිමක අමාරුවෙන් සොයා, ඉනේ ගසාගෙන එන මළ කෑ කිරිච්චියක් බඳු එකකි. සුදර්ශන යෝජකයාව, මම ප්‍රතියෝජකයෙක් වූයේ නම් එලෙස පැවැත්වෙන විවාදය මෙලෙස සිදුවිය හැක.

සුදර්ශන – මා යෝජකයා ව පවසා සිටින්නේ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඉ) අනුව්‍යවස්ථා ප්‍රකාරව එහි පළාත් පාලනය කියා දෙයක් නැති බැවින් ජන්ද බලය අපේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය පිහිටා ඇත්තේ මැතිවරණ වර්ග තුනකට පමණයි යනුවෙනි.

මංජුල ගජනායක – මා ප්‍රතියෝජකයා ව ප්‍රති යෝජනා කර සිටින්නේ සුදර්ශන කියන කරුණ වටහා ගැනීමට නම් අප 5 වන ව්‍යවස්ථාවද කියැවිය යුතු බවයි. එහි මෙසේ කියයි.

ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය පරිපාලන දිස්ත්‍රික්ක විසි හතරෙන් ද, ශ්‍රී ලංකා ජනරජයේ දේශීය ජල තිරයෙන්ද, සමන්විත වන්නේය. පරිපාලන දිස්ත්‍රික්ක විසිතාරෙහි නම් පළමුවන උපලේඛනයෙහි දැක්වෙන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – 05 වන ව්‍යස්ථාව

දැන් සුදර්ශන මොකද කියන්නේ. පළාත් පාලන ජන්දය 1978 අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් නොවුණේ එවැන්නක් රටට එපා නිසා නොවේ. එවක මේ තෙවැනි පාලන ව්‍යුහය දරා සිටින මැතිවරණ ක්‍රමයක් ස්ථාපිතව නොතිබු බැවිනි. කේවල කොට්ඨාශ ක්‍රමවේදයෙන් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සමඟ සමානුපාතික ක්‍රමයට පැමිණිය ද, ඊට අදාළ මැතිවරණ ක්‍රමවේදය සකස් වූයේ ඉන්දු ලංකා ගිවිසුම මඟින් ජනිත පළාත් සභා නම් වූ පාලන ව්‍යුහයත් සමඟිනි. එමතු නොව සමානුපාතික පන්නයේ මැතිවරණයට අදාළ සංශෝධනය ආවේද වසර 1988 දීය. එනයින් සුදර්ශන මඟ ගියොත් අපි කළ යුත්තේ කුමක්ද?

මිත්‍රවරුනි, 1978 ව්‍යවස්ථාවේ ඇත්තේ පරිපාලන දිස්ත්‍රික්ක 24 ක් පමණි. එබැවින් අපි 25 ක් කරගහන් යන්නේ මොන මඟුලකට? පසුකාලීනව හැදු කිලිනොච්චිය අපි ප්‍රතික්ෂේප කරමුද?

ව්‍යවස්ථාවක ස්වභාවයෙන්ම පැවතිය යුතු නම්‍යශීලි ගුණය එය සදාකාලිකව රකිනු ලබන ජීව ගුණය බව චේතනාන්විතව අමතක කිරීම සුදර්ශනගේ අගුණයක් නොවේ. එය ලිබරරුන්ගේ අවගුණයකි.

දැන් කුමක් කරමුද? එතකොට පළාත් පාලනේ මේකට ගැට ගැහෙන්නේ කොහොමද? ඊට ගැට ගැසෙන්නේ මෙලෙසය.

පළාත් සභා යනු 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් නිර්මිත එකකි. එය එහි ඓන්ද්‍රිය කාරකයක් ද වන්නේය. එනයින් පළාත් සභා යනු ජන්ද විමසීම් ඔස්සේ නියෝජිතයන් පත්කරගත යුතු පාලන ව්‍යුහයකි. එබැවින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතව ඒ ඒ විෂය කවර පාලන ඒකකයක් විසින් දැරිය යුතුදැයි යන්න නිශ්චිතව සඳහන්ය. එබැව් ලංකාවේ හොඳින්ම දන්නා කෙනෙකි සුදර්ශන අයියා. (ඔහුත්, මමත් අදත් බලය බෙදාහදා ගැනීමේ පාලන රටාවක් ගැන සිහින මවන බව ද ඔහුට ගෞරව පිණිස ලියා තැබිය යුතුය).

එම විෂය ක්‍ෂේත්‍ර වෙන්ව ඇත්තේ වන්නේ සංවෘත, පළාත් සභා සහ සමාගාමී ලැයිස්තුව නමිනි. දැන් පළාත් සභා ලැයිස්තුවේ 4වන අයිතමය කියවන්න. එහි ඇත්තේ පළාත් පාලන විෂයයි. එයද මහජන නියෝජිතයන් ජන්දයෙන් තෝරාගත යුතු පාලන ව්‍යුහයකි. දැන් අපගේ සුමිතුරා බොරුවට නිදානොගෙන ඇහැරිය යුතුය. හේතුව මේ ව්‍යුහ දෙකම 13 යටතේ අපේ ව්‍යවස්ථාවේ ස්ථාවර ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් ලෙස එය පාර්ලිමේන්තුමෙන්ම අවැසිනම් පුළුල් ජනමත විමසුමකින්ද වෙනස් කරන තෙක් රැඳී තිබෙන්නේය. ඉදින් ජන්ද බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පැවතිය හැකි සංශෝධනශීලි ගුණයට යටත්ව 13 යටතේ නිරායාසයෙන් පළාත් පාලන ජන්ද විමසීමට ද කාන්දුව, බලවත්ව ඇත්තේය.

ඉහත දක්වන මැතිවරණ තුනට පමණක් ජන්ද බලය ඇති පුරවැසි වර්ගයක් හා පළාත් සභා පළාත් පාලන ආයතන වලට පමණක් ජන්ද බලය ඇති තවත් පුරවැසි ප්‍රවර්ගයක් ලංකාවේ නැත. ඇත්තේ එකම ජන්දයක් භාවිත කරන පරමාධිපත්‍යය බලය අභ්‍යාසයට අවකාශ ඇති එක්කෝටි හැට අට ලක්‍ෂයක ජන්දහිමියන් පිරිසකි. එනයින් සුදර්ශනට ද ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තෝරන විට ප්‍රාදේශීය පාලනයට සම්බන්ධ සභිකයා සහ පළාත් සභා මන්ත්‍රීවරයා ද තෝරා ගැනීමේ අවකාශය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රන් හුයක් සේ දිවෙන ජනරජ ලක්ෂණය යටතේ නිරායාසයෙන් ලැබී ඇත.

මෙම කරුණ ගැන සැකයක් වේ නම් වැඩිදුර අධ්‍යයනය සඳහා සුදර්ශන, විජේසේකර එදිරිව නීතිපති (උතුරු නැගෙනහිර නැවත වෙන්කිරීමට අදාළ නඩුකරය) හා සබැඳි වාර්තාව කියැවිය හැකිය. එමඟින් තහවුරු කරන්නේ ‘පළාත් සභා ඔස්සේ තම මහජන නියෝජිතයන් තෝරාගැනීමට අවස්ථාවක් නොලැබීම ”නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය” යන අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) යටතේ සඳහන් සාධාරණත්වයේ අයිතිවාසිකම උල්ලංඝනය කරන්නක් බවයි.

එමඟිනුත් සුදර්ශනයන් සෑහීමට පත් නොවන්නේ නම් ඔහු කියැවිය යුත්තේ 104 ආ (1) ව්‍යවස්ථාවයි. මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවමින් අදාළ බලය ලබාදීම සඳහා නිර්මිත 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් නිර්මිත මේ සුවිශේෂී ප්‍රතිපාදනයේ මෙලෙස කියන්නේය. මෙය කියවීමෙන් සුදර්ශන එල්ලී සිටි අවසන් පිදුරු ගස ද ගැලවී යනු ඇත්තේය. මෙහි කියන්නේත් මැතිවරණ කොමිසම අභිනවයෙන් පිහිටුවා ජනතා පරමාධිපත්‍යය රැකිය යුතු ආකාරයයි. ජන්ද බලය විස්තාරණය කොට ඇත්තේ අධිකරණ තීන්දු මඟින් පමණක් නොවේ. අපේ ව්‍යවස්ථා ම කලින් කලට එය තහවුරු කොට, ස්ථාවර කොට ඇත්තේය. සුදර්ශන අයියා අපේ ජනාධිපතිතුමා සේ ව්‍යවස්ථා මාරයෙක් නොවේ නම් මේ ප්‍රතිපාදනය ඇස ගැටිය යුතුමය. (ලොක්කා කලින් කලට නිදන්නෙම හොරටය).

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහ ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරාපත් කරගැනීම, පළාත් සභා මන්ත්‍රීවරයන් තෝරාපත්කර ගැනීම, පළාත් පාලන ආයතන වල සභිකයන් තෝරාපත් කරගැනීම සහ ජනමත විචාරණයන් පැවැත්වීම සම්බන්ධයෙන් තත් කාලයේ බලපවත්නා නීතියක් මඟින්………..104 ආ (1)

මිට අමතර වශයෙන් 103 2හි ද ජන්ද විමසීම් යන්න ඇත්තේ කුමකට දැයි සොයා බැලීම වටී.

වසර 2017 පළාත් සභා ජන්ද විමසීම් එකම දිනෙක පැවැත්වීමට එවකට යහපාලන ආණ්ඩුව දැරූ තැත ව්‍යර්ථ කල ශේෂ්ඨාධිකරණය එහිදී පැවසුවේ කුමක්ද? පුර්ව විනිශ්චයන්ද උපුටා දක්වමින් එහි විනිසුරන් පැවසුවේ පළාත් සභා ද ඇතුළත් කවර හෝ මැතිවරණයක්, ජන්ද විමසීමක් කල් දමමින් ජන්දදායකයාගේ ජන්ද බලයට අභියෝග කිරීම නිසැකවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 යන ව්‍යවස්ථා උල්ලංඝනය කරන බවයි.

මිට අදාළව තවත් නඩුකර රාශියක් පෙන්වා දිය හැකි වුවද සුදර්ශන අයියාට මේ ටික ඇති බව විශ්වාස කරමින් මෙය සමාප්ත කල යුතුය.

දැන්වත් ඔය පරමාධිකාරී බලය ගැන ඔයාට අවශ්‍ය එක විතරක් උපුටා දක්වන්න එපා සුදු අයියේ!

 

 

Social Sharing
නවතම විශේෂාංග