වධහිංසාවට එරෙහි අරගලයට අවුරුදු 20ක්..!

 

police torture Right to Life sri lanka philip Dissanayake

රයිට් ටු ලයිෆ් විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක සමග කතාබහක්..!

-කේ. සංජීව-

නව සම සමාජ දේශපාලන ව්‍යාපාරය සමග සිටිය ඔබ කොහොමද රාජ්‍ය නොවන සංවිධාන පැත්තට ගමන් කරන්නේ කියන ඒ ඉතිහාසය අවුස්සලා බලන්න කැමතියි මම…

ඇත්තටම ඒ දේශපාලනය ව්‍යාපෘතිය අසාර්ථකයි තේරිලා අපිට තේරුණා. ඉතිං අපි ඊළඟට මොකද්ද කරන්නේ කියලා හිතමින් හිටපු කාලයක් ඒක. අපේ පක්ෂයේ හිටිය තරුණ කණ්ඩායම් අතර විශාල සංවාදයක් තිබුණා මේ ගැන. කට්ටියක් රට යන්න හිතුවා. ඒත් මට එහෙම මේ රට දාලා යන්න අදහසක් තිබුණේ නැහැ. මම ඒ වෙනකොට පත්තර පැත්තේ යම් ගමනක් යමින් හිටියා. ඉතිං මට තිබුණ එකම හැකියාව තමයි ටයිප් සෙටින් සහ ලේ අවුට්. ඉතිං මට පක්ෂයෙන් එළියට බැස්සොත් කරන්න කියලා ඉතුරු වෙලා තිබුණේ ඒක.

මේ වෙනකොට නව සමසමාජේ මීගමුව සංවිධායකයා බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයා මීගමුව කටුනායක කේන්ද්‍රගත වෙලා පත්තරයක් කරමින් හිටියා. ඒක තමයි ‘නිවේකා’. ඉතිං මම මේ පත්තරේට සම්බන්ධ වුණා. ඒ පත්තරේ කළේ ඒකාලේ බ්‍රිටෝ නායකත්වය දුන්න ‘කලාපේ අපි’ කියන සංවිධානය. ඒක නිදහස් වෙළඳ කලාපය මුල් කරගත්ත සංවිධානයක්. මමත් ඉතිං මෙහෙම මේ සංවිධානයට සම්බන්ධ වෙලා වැඩ කරන්න පටන් ගත්තා. මේ සංවිධානය අතුරුදන් වූවන් වෙනුවෙන් සෑහෙන්න වැඩක් කළා. මට මේකට ආස හිතුනා. මම ඉතිං ඒකට ස්වේච්ඡා වෙන් වැඩ කළා. ඒකේ අතුරුදන් වූවන් වෙනුවෙන් ප්‍රමුඛ වෙලා වැඩ කළේ ජයන්ති දන්දෙණිය. ඒ වෙනකොට ඇයගේ පෙම්වතා අතුරුදන් වෙලා. ඇය ඔහු වෙනුවෙන් සෑහෙන වැඩක් ඒ හරහා කළා.

මෙහෙම වැඩ කරලා අපි අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව ගොඩනැඟුවා. ඒකේ මම සංව්ධායක වුණා. ඊටපස්සේ අපි කලෙක්ටිව් එකක් හැදුවා. ‘අතුරුන්ද වූවන්ගේ මාපිය දුදරු සංවිධානය’ කියලා. ඒක තමයි අතුරුදන් වූවන් වෙනුවෙන් වැඩකළ මුල්ම සංවිධානය. ඇත්තටම මේ සංවිධානය සාදන්න දේශපාලන නායකත්වය දුන්නේ නව සම සමාජය. විජේදාස පතිරණ, චන්ද්‍රා පීරිස් ගේ නායකත්වයක් තම‍යි මේ සංවිධානය මුලින්ම වැඩ කළේ. ඒක මීගමුවේ ලීඩ් කලේ බ්‍රිටෝ සහ ජයන්ති දන්දෙණිය.

මෙහෙම අතුරුදන් වූවන් වෙනුවෙන් මහපාරේ වැඩ කරන්න ඇවිත් මුලින්ම කළේ මොනාද?

අපිට මුලින්ම බැසිල් ප්‍රනාන්දු ගේ නායකත්වයෙන් යුතු ආසියානු මානව හිමිකම් කොමිෂම (AHRC) සෑහෙන්න උදව් කළා. ඒ උදව් එක්ක ජයන්තිගේ පෙම්වතා මරපු තැන සීදුව රත්දොළුව හන්දියේ අපි අතුරුදන් වූවන් වෙනුවෙන් ස්මාරකයක් ගොඩනඟන්න තීරණය කළා. ඒ වැඩේට මුල පුරන්නේ මම. ඒ වැඩේ නිර්මාණකරුවා ප්‍රකට කලාකරුවෙක් වෙන චන්ද්‍රගුප්ත තේනුවර. 1999 දෙසැම්බර් 10 මුල්ගල තියලා 2000 පෙබරවාරි 04 අපි මේ ස්මාරකය ඕපන් කරනවා. මේ ස්මාරකය ගොඩනැඟීමේ කටයුතු සහ ඒ වෙනුවෙන් කළ මැදිහත්වීම නිසාම මේකෙන් පස්සේ මට ආරාධනාවක් එනවා හොංකොංවල පුහුනුවකට. මේ පුහුනුවෙන් පස්සේ තමයි මේ NGO ෆීල්ඩ් එකේ ටිකක් වෙනස් විදිහට වැඩ කරන්න ඕනෑ කියන උවමනාව ඇගට දැනෙන්න පටන්ගන්නේ.

ඒ එක්කම අපි ‘කලාපේ අපි’ සංවිධානයෙන් ඉවත් කරනවා. ඒ සමගම තමයි මම, බ්‍රිටෝ සහ ජයන්ති එකතුවෙලා මේ වැඩේ පටන් ගන්නේ. ඇත්තටම අපි බිංදුවෙන් පටන් ගත්තේ. අපිට මුලින් කිසිම අරමුදලක් තිබුණේ නෑ. අපිට අපි සතුව තිබුණ පුද්ගලික හැකියාවන් ටිකක් විතරයි මේක පටන් ගන්නකොට ළඟ තිබුණේ. ඇත්තටම මේ කියන මුල් අවස්ථාවෙ බැසිල් ප්‍රනාන්දු මහත්තයා සහ ඔහු සිටි ආසියානු මානව හිමිකම් කොමිසම අපිට උදව් කරනවා. අපිට ඒක සෑහෙන්න විශාල දෙයක් වුණා ඒ කාලේ. එතනදී අපිට උවමනාව තිබුණේ පැවතුන ආකෘතියට පිටතින් යම් වෙනසක් කරන්න. වෙනස් විදිහේ වැඩක් එළියේ කරලා පෙන්වීම තමයි අපිට ඕනෑ කළේ.

මොකද්ද ඒ වෙනස? ඇත්තටම එහෙම වෙනස් විදිහේ වැඩක් සළකුණු කරන්න පුලුවන් වුණාද?

අපි මෙතනදී බැලුවා මානව හිමිකම් කියන පදනමෙන් කොහොමද සමාජයේ පොදු ප්‍රශ්න කතා කරන්නේ කියන දේ. ඒ වෙනකොට සංවිධාන තිබුණත් නිදහස් වෙළඳ කලාපයේ කම්කරු ප්‍රජාවට රජය මැදිහත්වෙලා කරන පීඩාවන් සම්බන්ධව වැඩ කරන සංවිධානයක් තිබුණේ නෑ. එතනින් තමයි අපි වැඩ පටන්ගන්නේ. පොලිස් වධහිංසනයට එරෙහිව අරගලය කිරීම ආරම්භ වෙන්නේ එතනින්. මොකද පොලීසිය ඒ වෙනකොට විශාල වශයෙන් කලාපයේ ශ්‍රමිකයන් ඉලක්ක කරගනිමින් විශාල හිංසනයක් මුදාහරිමින් තිබුණා.

නෝත් පෝල් කම්කරුවෝ කීපයක් අරගෙන ගිහින් ඉතාමත් දරුණු විදිහට පහරදීලා බොරු නඩු පවරන්න කටයුතු කරලා තිබුණා එවක පොලීසිය. කොළඹ මෝදර සිලෝන් ඩ්‍රීන් එලිවේටර්ස් කියන ආයතනයේ කම්කරුවන් අත්අඩංගුවට අරන් දරුණු විදිහට පහර දීලා තිබුණා. මේ සිද්ධි දෙක අපිට වාර්තා වුණා. අපිට අත්දැකීම් නෑ. ඒත් අපි මේ සිද්ධි දෙකට මැදිහත් වුණා. අපි අපිට පුලුවන් උපරීමයෙන් වැඩ කළා. ඒ වෙනකොට 1994 වධහිංසාව පිළිබඳ පනත ලංකාවේ සම්මත වෙලා තිබුණේ. ඉතිං මුලින්ම අපි මේ සිදුවීමට අදාළව ඒක යටතේ නඩු පැවරුවා. ඒ අපේ මුල්ම අරගලය. ඊට පස්සේ AHRC එක මැදිහත්වෙලා අපි එකතුවෙලා හැදුවා වධහිංසාවට එරෙහි එකමුතුවක්. ‘පීපල්ස් එගේන්ස් ටෝචර්’ තමයි ඒකේ නම. ඒ සංවිධාන සමූහය අස්සේ අපි වගේ සංවිධාන හයක් හිටියා.

ලංකා ඉතිහාසයේ සුවිශේෂ සිදුවීමක් වුණ ජෙරාඩ් මර්වින් පෙරේරා සිදුවීමට මැදිහත් වෙන්නේ මේ කියන එකතුව හරහා නේද?

ඔව්, ඒ මූලික අයිතිවාසිකම් නඩුවෙන් අපි ඓයිතිහාසික ජයක් ලබනවා. එතනින් අපි හිතවා හරියට නඩු කීවොත් මෙවැනි නඩු අපිට ජයගන්න පුලුවන් ලියලා. ඒක අපිට විශාල අවබෝධයක් ගෙනත් දෙනවා. නමුත් අපිට ඊටපස්සේ රටේ දේශපාලන තත්තවය වෙනස් වීමත් එක්ක රටේ නීති රකින්න ඉන්න ආයතන නීති රකින තත්ත්වයෙන් එහාට ගිහිං වැඩකරන්න පටන් ගන්නවා. ඒ එක්කම අපිට විශාල ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා. මේ වෙනකොට අපි එක්ක එකතුවෙලා යුක්තිය සාධාරණය සොයාගෙන යමින් හිටිය, ඒ සඳහා ගමනක් ආරම්භ කරලා තිබුණ වින්දිතයන්ට විශාල බලපෑම් එල්ල වෙන්න පටන්ගන්නවා. ඒ බලපෑම් කොතෙක් ද කියනවා නම් අර මම මුලින්ම කියපු සිදුවීම් දෙකට අදාළ වින්දිතයන් වුණ දෙදෙනා තමන්ගේ නඩුකරයන් ඉවත් කරගන්නවා. ඒ එක්කම අපිත් එක්ක සටනට බැහැලා හිටිය ජෙරාඩ් ට බලපෑම් එනවා වහාම නඩුව ඉල්ලා අස්කරගන්න කියලා. ඔහු ඒකට කැමති වෙන්නේ නෑ. ඔහු කියනවා ‘නෑ මම යුක්තිය වෙනුවෙන් සටන් කරනවා’ කියලා. ඒකේ ප්‍රථිපලය විදිහට ජෙරාඩ් ට වෙඩි තියලා මරණවා. ඒ වගේම සුගත් නිශාන්තත් යුක්තිය ඉල්ලලා අපිත් එක්ක අධිකරණයට ගියාම ඔහුත් ඝාතනය කරනවා. මේ ඝාතනයන් දෙක නිසා අපිට විශාල බලපෑමක් එනවා. ඇත්තටම අපි සංවිධානයක් විදිහට වගේම පුද්ගලයන් විදිහටත් කල්පනා කරන්න පටන් ගන්නවා දැන් මෙතනින් එහාට මොකද කරන්නේ කියලා. අපේ යාලුවෝ හිතවතුන් අපිට කියනවා සංවිධානය වහලා දාන්න කියලා. ඒ අනුව අපි 2007 සංවිධානය වහලා දානවා. හැබැයි අපි දවස් 6යි වහලා දාලා ඉන්නේ. ඕනී කෙළියක් අපි සටන් කරනවා කියලා, අපි ආයෙත් සංවිධානය පටන් ගන්නවා.

මේ මර්ධනයට විරුද්ධව සංවිධානයක් විදිහට ගත්ත පියවරයන් මොනාද? රාජ්‍ය නොවන සංවිධාන හදාගෙන වැඩ කළා වගේ නෙවෙයි ඒ සංවිධාන නිසා මිනිස්සු ඝාතනය වෙනවානම් ඒක ප්‍රශ්නයක්..

මේ ප්‍රශ්න එක්ක අපි කල්පනා කරනවා මේක බෙදිලා ඉඳලා බේරගන්න බැරි තත්ත්වයක් කියලා. ඒ අනුව මේ නව හැඩ ගැසීම් එක්ක අපි තීරණය කරනවා සංවිධාන ගත වෙන්න. ඒ අනුව තමයි අපි 2007 අවුරුද්දේ නීති විරෝධී ඝාතන, අතුරුදන් කිරීම් සහ වධහිංසාවට එරෙහි ජන සන්ධානය හදන්නේ. මේකට සංවිධාන 17ක් එකතුවෙනවා. පළමු වතාවට මේ සන්ධානයට දේශපාලන පක්ෂ 04කුත් එකතුවෙනවා. ඒ අනුව 2007 දෙසැම්බර් 10 අපි ජගත් මානවහිමිකම් දිනය සමරණවා කොළඹ මහජන පුස්තකාලයේ. මේ සැමරුම නිසාම අපිට කොළඹ අපරාද කොඨ්ඨාශයට කැඳවීම් ලැබෙනවා. මම බ්‍රිටෝ රුකී දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට ලක්වෙනවා ඒකේ ප්‍රථිපල විදිහට.

ඊටපස්සේ 2009 අවුරුද්දේ අපි මීටත් වඩා ලොකු පෙරමුණක් හදනවා. ඒක තමයි ‘නිදහසේ වේදිකාව’. රාජ්‍ය මර්දනයට එරෙහි සිවිල් සංවිධාන 52ක් සහ සියළු විපක්ෂ දේශපාලන පක්ෂ ඒකට සම්බන්ධය වෙනවා. ඇත්තටම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනයෙන් පස්සේ තමයි මේ සංවිධානගතවීම සිදුවෙන්නේ. ඒකත් මේ සංවිධාන ගතවීමට එක හේතුවක්.

ඊට පස්සේ ආයෙත් 2014 අවුරුද්ද වෙනකොට අපිට එවක රාජ්‍ය මර්ධනයේ හස්ථය නැවත එල්ලවෙනවා. අපේ මූනු දාලා මඩ පෝස්ටර් පවා රට පුරාම ඇලවෙනවා. අපේ ළමයි පවා මරාදානවා කියලා තමයි ඒ කාලේ අපිට තර්ජනය කළේ. අපේ සංවිධානයේ හිටපු බ්‍රිටෝ සහ ප්‍රසංග කියන සහෝදරවරුන්ගේ ගෙවල්වලට බල්ලෝ මරලා හිස් පාර්සල් කරලා එවලා තිබුණා තර්ජනයන් විදිහට. මේවගේ විශාල අභියෝගවලට මුහුන දෙමින් අපි පොලිස් වධහිංසාවට විරුද්ධව වගේම පුලුල්ව රටේ මානවහිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සහ දේශපාලන ප්‍රථිසංස්කරණයන් වෙනුවෙන් විශාල අරගලයක් කරනවා. මෙහෙම ගිය ව්‍යාපාරය තමයි 2013 අවුරුද්දේ දී ‘වීදියේ විරෝධය’ පටන්ගන්නේ. 2014 අවුරුද්දේ හම්බන්තොටදි අපිට විශාල ප්‍රහාරයක් එල්ලවෙනකම් ඒ වැඩසටහන ලංකාව පුරාම අරගෙන ගියා අපි. 2015 යහපාලනයට මේ සිවිල් ව්‍යාපාරයේ කටයුතු විශාල වශයෙන් බලපෑවා. ඒක තමයි ඇත්ත.

පසුගිය යුද්ධ කාලේ NGO තරම් කිසිම කෙනෙක් බැනුම් අහන්න නැතිව ඇති. ඩොලර් කාක්කෝ මුදලට රට පාවලා දෙනවා කියන චෝදනාව තමයි එල්ල වුණේ…

ඔය මොන කතා කවුරු කීවත්, කවුරු මොන චෝදනාව කළත්, ඇත්තටම ලංකාවේ සිවිල් සංවිධාන මේ රටට සෑහෙන්න වැඩ කොටසක් කළා. තවමත් කරමින් ඉන්නවා. මූලික මිනිස් අයිතීන් ගැන දැනුම වගේම මානව හිමිකම් ප්‍රථිසංස්කරණ උදෙසා විශාල වැඩක් කළේ සහ ඒ දැනුම අපේ සමාජයට අරගෙන ආවේ මේ කියන රාජ්‍ය නොවන සංවිධාන තමයි. මූලික අයිතිවාසිකම් නඩු ගැන බැලුවොත් මේ මැදිහත්වීම ගැන ඔබට හිතාගන්න අමාරු වෙන එකක් නෑ.

NGO තමයි ප්‍රශ්න ආවාම ජාත්‍යන්තරය සමග ඒ ගැන කතා කළේ. රාජ්‍යය වුණත් අන්තර්ජාතිකව ප්‍රශ්නයක් ආවාම ඒක ඒ රටවල් එක්ක කතාකරලා විසඳගන්නේ නැතුව අපිට බනින්න පුරුදු වුණා. මේ නිසා ලොකුම බලපෑම වුණේ ප්‍රජාතන්ත්‍රවාදය සාමය වගේ දේවල් වෙනුවෙන් පෙනී සිටිය සංවිධාන වලට. අද වෙනකොට ආපස්සට හැරිලා බැලුවාම මේ රටේ සිවිල් සංවිධාන විදිහට අපි කියපු දේවල් හරි කියන දේ ඔප්පුවෙලා තිබෙනවා. තවදුරටත් ඔප්පුවෙමින් තිබෙනවා. දැන් මේ ආර්ථික අර්බුදය ගැන හිතන්නකෝ, අපි මේ තත්ත්වයන් වලින් ගැලවෙන්න තමයි අතීතයේ ඉඳලා අපේ අදහස් කීවේ. මානවහිමිකම් ප්‍රවර්ධනය ගැන නීති ප්‍රතිසංස්කරණයන් ගැන කතාකළේ. යුක්තිය සාධාරණත්වය වගවීම වගේ දේවල් මේ සමාජයට අවශ්‍යයි කියලා අපි එදා ඉඳලා කිව්වා.

ඉතිං අපි මොන අභියෝග ආවත් මේ අවුරුදු 20 තිර අදිටනින් කටයුතු කරලා තියෙනවා මානවහිමිකම් ප්‍රවර්ධනය සඳහා සහ යුක්තිය වෙනුවෙන්. අපිට ඒ ගැන නිවැරදි තක්සේරුවක් තිබෙනවා. අපි වෙනදටත් වැඩිය ඕපන්. අපි කැමතියි සංවාදය හරහා තව විශාල දුරක් ඇවිදගෙන යන්න. ඒ වගේම මානවහිමිකම් වෙනුවෙන්, යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ඉදිරියටත් දැනටත් වඩා ශක්තිමත්ව සහ පුලුල්ව සටන් කරන්න අපි සූදානම්.

 

Social Sharing
නවතම සාකච්ඡා