බිත්තර ආනයනය හරහා කුරුළු උණත් එයිද?

බිත්තර ආනයනය කිරීම සහ පශු සම්පත් සංවර්ධනය සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක නිලධාරීහු සහභාගී වූහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙම ආනයනික බිත්තර භාවිත කරනු ලබන්නේ බේකරි කර්මාන්තය සඳහා පමණක් බවත්, සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවි කිරීමට අවසර නොදිය යුතු බවත් සඳහන් කළේය.

විශේෂයෙන් Bird Flu හෙවත් කුරුළු උණ වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවත්, එම තත්ත්වය වැළැක්වීම සඳහා තවදුරටත් සුපරික්ෂාකාරීව කටයුතු කළ යුතු බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

ඒ අනුව බේකරි කර්මාන්තය තුළ මෙම බිත්තර භාවිත කිරීම සම්බන්ධව මාර්ගෝපදේශන මාලාවක් (Guidelines ) වහාම සකස් කරන ලෙසත් අමාත්‍යවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.ඒ.සී.එච්.ඒ. කොතලාවල මහත්මියට උපදෙස් දුන්නේය. බේකරි කර්මාන්තය තුළ මෙම බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීමටත්, බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම සිදු කළ යුතු බවටත්, කිසිසේත්ම ඉතිරි වන බිත්තර කටු පරිසරයට මුදා නොහැරීමට වග බලා ගන්නා ලෙසත් උපදෙස් දුන්නේය. කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් මෙහිදී අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවේදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙරට බිත්තර ආනයනය කරන අවසන් අවස්ථාව මෙය විය යුතු බවත්, රටට අවශ්‍ය බිත්තර සහ කුකුළු මස් නිපදවීම මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළම ආරම්භ කළ යුතු බවත් සඳහන් කළේය. ඉදිරියටත් බිත්තර ආනයනය කරන්නේ නම්, කෘෂිකර්ම අමාත්‍යාංශයට පශු සම්පත් අංශයක් සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක් අවශ්‍ය නොවන බව අවධාරණය කළේය. එම නිසා කුකුළුමස් හා බිත්තර මෙන්ම සෙසු සත්ව නිෂ්පාදන අපේ රටේ අවශ්‍යතාවය සපුරාලීම පමණක් නොව කුරුළු උණ වෛරසයෙන් නිදහස් රටක් ලෙස අපේ රටේ සත්ව නිෂ්පාදන විදෙස් රටවලට අපනයනය කිරීම සඳහා අවස්ථාව සලසා ගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය

Social Sharing
නවතම පුවත්