ජනමාධ්‍ය අමාත්‍යංශය මානව හිමිකම් උල්ලංඝනය කරලා – මානවහිමිකම් කොමිසම

ආරක්ෂක අමාත්‍යංශයේ නිශ්කාෂණ ප්‍රමාණවත් නොවීම හේතුව ලෙස දක්වමින් www.medialk.com වෙබ්අඩවිය ලියාපදිංචි නොකිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර තිබේ.

ව්‍යවස්ථාවේ 14(1)(අ) යටතේ ස්ථාපිත භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහස මෙසේ උල්ලංඝනය කර ඇතැයි කොමිෂන් සභාව අවධාරණය කරන්නේ HRC/1044/21 අංකය යටතේ එම වෙබ්අඩවියේ ප්‍රධාන සංස්කාරක තරිඳු ජයවර්ධන විසින් කරන ලද පැමිණිල්ලක තීන්දුව ලබාදෙමිනි. මෙහි වගඋත්තරකරු ලෙස දක්වා ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ය.

‘වෙබ්අඩවිය ක්ලියර් නෑ’

අදාළ වෙබ්අඩවිය ලියාපදිංචි කිරීම සඳහා 2019 වසරේ ජනමාධ්‍ය අමාත්‍යංශයට අයදුම්පතක් ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට අදාළ ව සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වූ බවත්, ඉන්පසු වෙබ්අඩවිය ලියාපදිංචියට පෙර ආරක්ෂක අමාත්‍යංශයෙන් නිශ්කාෂණ වාර්තාවක් ලබාගත යුතු බවට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් දැනගැනීමට ලැබුණු බවත්, වෙබ්අඩවිය ක්ලියර් නොමැති බව දන්වා ආරක්ෂක අමාත්‍යංශයෙන් වාර්තාවක් එවා ඇති නිසා ලියාපදිංචිය ලබාදිය නොහැකි බව වගඋත්තරකරු දැනුම් දුන් බවත් වෙබ්අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා විසින් කොමිෂන් සභාවට යොමුකර තිබූ පැමිණිල්ලේ සඳහන් ය.

නිශ්චිත නීතියක් නොමැතිව ප්‍රවෘත්ති හෝ කාලීන සිදුවීම් හෝ වාර්තා කරන වෙබ්අඩවි ලියාපදිංචි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු කරන බවත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පත් නිකුත් කරනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ මෙම ලියාපදිංචිය සහිත වෙබ්අඩවි සඳහා පමණක් බවත් මෙම පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා ඇත.

රජයේ ඇතැම් ප්‍රවෘත්ති සාකච්ඡා සහ ඇතැම් උත්සව ආවරණය කිරීම සඳහා ජනමාධ්‍ය හැඳුනුම්පත අනිවාර්ය කිරීම නිසා ලියාපදිංචි නොකළ වෙබ්අඩවි මාධ්‍යවේදීන්ට එම අවස්ථා නොලැබෙන බවත්, එමගින් තොරතුරු දැනගැනීමේ අයිතිය සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමා වන බවත් පැමිණිල්ලෙන් අවධාරණය කර තිබේ.

පැමිණිලිකරුගේ ඉල්ලීම

මේ නිසා www.medialk.com වෙබ්අඩවිය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීමටත්, වෙබ්අඩවියේ සේවය කරන මාධ්‍යවේදීන්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත නිකුත් කිරීමටත් නිර්දේශ කරන ලෙස පැමිණිල්ල මගින් මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබිණි.

රහස්‍ය ලේඛනය

මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට පිළිතුරු සපයමින් වගඋත්තරකරුගේ පාර්ශ්වයෙන් සඳහන් කර ඇත්තේ 2011 නොවැම්බර් 05 දිනැති ව නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයකට අනුව ප්‍රවෘත්ති වෙබ්අඩවි ලියාපදිංචිය සිදුකරන බවයි. ඒ අනුව වෙබ්අඩවියේ හිමිකරු කැඳවා සම්මුඛ පරීක්ෂණයක් සිදුකිරීමෙන් සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිශ්කාෂණ වාර්තා ලබාගැනීමෙන් පසු ව ලියාපදිංචිය ලබාදෙන බව ද වගඋත්තරකරු පවසා තිබේ.

www.medialk.com වෙබ්අඩවිය සඳහා ප්‍රමාණවත් ආරක්ෂක නිශ්කාෂණ වාර්තා ලැබී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය මගින් රහස්‍ය ලේඛනයකින් දැනුම් දී ඇති නිසා මෙය ලියාපදිංචි කර නැති බව වගඋත්තරකරු අවධාරණය කර ඇත.

වගඋත්තරකරු සඳහන් කර ඇති ආකාරයට වෙබ්අඩවියේ හිමිකරු කැඳවා සම්මුඛ පරීක්ෂණයක් සිදු කර ඇති බවත්, ආරක්ෂක අමාත්‍යංශය මගින් 2020 සැප්තැම්බර් 10 දිනැති රහස්‍ය වාර්තාවක් මගින් ප්‍රමාණවත් නිශ්කාෂණ වාර්තා වෙබ්අඩවිය සම්බන්ධයෙන් ලැබී නොමැති බව ජනමාධ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇති බවත් මානව හිමිකම් කොමිෂන් සභාව සිය තීන්දුවේ සඳහන් කර ඇති මීට අදාළ නිරීක්ෂණවල දැක්වේ.

පරස්පර කරුණු දැක්වීම්

2021 ජුනි 23 දිනැති ව ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් කොමිෂන් සභාව වෙත යොමුකර ඇති වර්තාවක දක්වා ඇත්තේ 2011 නොවැම්බර් 05 දිනැති ප්‍රවෘත්ති නිවේදනය අනුව ප්‍රවෘත්ති වෙබ්අඩවි ලියාපදිංචිය සිදුකරන බවයි. එහෙත් 2022 අප්‍රේල් 19 දින වගඋත්තරකාර පාර්ශ්වය මගින් කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ අංක 12/1037/537/0191 සහ 2021 අගෝස්තු 13 දිනැති කැබිනට් මණ්ඩල තීරණ මගින් ප්‍රවෘත්ති වෙබ්අඩවි ලියාපදිංචිය සිදු කරන බවයි.

මේ නිසා වගඋත්තරකාර පාර්ශ්වය මගින් පැමිණිල්ලට අදාළ ව පරස්පර කරුණු දැක්වීමක් සිදු කර ඇති බව කොමිෂන් සභාවේ නිරික්ෂණවල දැක්වේ.

ජාතික ආරක්ෂාවට අවදානමක්

වගඋත්තරකාර පාර්ශ්වය මගින් 2022 අප්‍රේල් 19දා වැඩිදුරටත් කොමිසමට දැනුම් දී ඇත්තේ මෙය ජාතික ආරක්ෂාවට සාමාන්‍ය මට්ටමේ අවදානමක් (General risk to National Security) ඇති වෙබ්අඩවියක් ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය මගින් ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත යොමු කළ රහස්‍ය වාර්තාවේ දැක්වෙන අබවයි. එය 4 වැනි මට්ටමේ ආරක්ෂක නිශ්කාෂණයක් බවත්, 2020 ඔක්තෝබර් 28 දින ප්‍රවෘත්ති වෙබ්අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා රැස්වූ කමිටුව මගින් 5 වැනි මට්ටමේ ආරක්ෂක නිශ්කාෂණ වාර්තා ලබාදී ඇති ප්‍රවෘත්ති වෙබ්අඩවි පමණක් ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති බවත් වැඩිදුරටත් එම පාර්ශ්වය දක්වා ඇත.

මෙම කමිටුවට සහභාගි වී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශය, යුද හමුදා ප්‍රකාශක, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය නියෝජනය කළ නිලධාරීන් පමණි. ඒ බව ප්‍රවෘත්ති වෙබ්අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නියාමනය සඳහා වූ රැස්වීමේ වාර්තාව – 2020.10.28 හි දැක්වේ.

සීමා කළ හැකි අවස්ථා

කෙසේ වෙතත් මෙම ක්‍රියාමාර්ගය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහස කොතරම් සීමාවන්නේද යන්න සහ එය කොතරම් නිත්‍යානුකූල ද යන්න කොමිසමේ විශේෂ අවධානයට යොමු වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(2) සහ 15(7) ප්‍රතිපාදන යටතේ සඳහන් කර ඇති සීමා අවස්ථාවලදී මිස, වෙනත් අවස්ථාවලදී එම නිදහස සීමා කළ නොහැකි බව නියෝගයේ සඳහන් කර ඇති කොමිසම, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ක්‍රියාවලිය පිළිබඳ මෙසේ අවධාරණය කරයි.

‘ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති ප්‍රවෘත්ති වෙබ්අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා වූ රැස්වීම්වලදී එනම්, 2020.10.28 සහ 2020.07.14 දින ගන්නා ලද තීරණ කිසිදු අවස්ථාවක නීතියක් හෝ නියෝගයක් නොවන බැවින් එම තීරණ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) යටතේ ස්ථාපිත කර ඇති භාෂණයේ නිදහස හා ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහස සීමා කළ නොහැක.’

ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි !

එසේ ම ව්‍යවස්ථාවේ 4(ඈ) ව්‍යවස්ථාවේ සඳහන් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරුකරනු ලැබිය යුතුය. ආරක්ෂා කරනු ලැබිය යුත්තේය. වර්ධනය කරනු ලැබිය යුත්තේය. තවද ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට හා ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය’ යන නියමය ද වගඋත්තරකාර පාර්ශ්වය විසින් මෙම පැමිණිල්ලට අදාළ ව උල්ලංඝනය කර ඇති බව ද කොමිසමේ තීන්දුවේ දැක්වේ.

මේ නිසා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ආරක්ෂක නිශ්කාෂණ ප්‍රමාණවත් නොවීම මත යනුවෙන් සඳහන් කරමින් නිත්‍යනුකූල නොවන ක්‍රියාමාර්ගයක් ඔස්සේ පැමිණිලිකරුගේ වෙබ්අඩවිය ලියාපදිංචි නොකිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) යටතේ ස්ථාපිත කර ඇති භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් ප්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය උල්ලංඝනය කර ඇතැයි ද අදාළ තීන්දුවේ පැහැදිලි ව දක්වා තිබේ.

සමස්තයට වැදගත් නිර්දේශයක් !

කොමිෂන් සභාව මෙම තීන්දුවට අනුව පහත නිර්දේශය කර තිබේ.
‘මෙම කරුණු අනුව සමස්ත සමාජයේ ම තොරතුරු දැනගැනීමේ අයිතියට බලපාන කරුණක් වන පුවත් වෙබ්අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය තීරණය කිරීමට රාජ්‍ය ආයතන පමණක් සම්බන්ධ කරගෙන තීරණවලට එළඹ තිබීම ද ප්‍රයෝගික නොවන බව නිරීක්ෂණය වන අතර, මේ සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන, පෞද්ගලික මාධ්‍ය ආයතන මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි පුවත් වෙබ්අඩවි මෙන්ම ලියාපදිංචි වීමට අයදුම්පත් ඉදිරිපත් කර ඇති පුවත් වෙබ්අඩවි නියෝජිතයන් ද මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශේෂඥයන්ගේ ද සහභාගිත්වය ඇතිව වඩාත් විනිවිදභාවයක් ඇති නීත්‍යනුකූල ක්‍රමවේදයක් සකස් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත මෙයින් නිර්දේශ කරනු ලැබේ.’

28ට පෙර වාර්තාවක් අවශ්‍යයි !

එසේ ම 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් සභා පනතේ 15(7) වගන්තිය ප්‍රකාර ව කොමිෂන් සභාව මගින් වගඋත්තරකාර පාර්ශ්වයට දැනුම් දී ඇත්තේ පෙබරවාරි 28 දිනට පෙර මෙම නිර්දේශය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් තමන්ට ලැබීමට සලස්වන ලෙසයි.

තීරණාත්මක තින්දුවක් !

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන අනුසුයා ෂන්මුගනාදන් සහ ම.හේ. නිමල් කරුණාසිරි විසින් සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට තීරණාත්මක බලපෑමක් එල්ල කරන මෙම තීන්දුව පසුගිය 31දා ලබාදෙන ලදි.

-News19LK-

Social Sharing
නවතම පුවත්