වසර ගණනාවකට පසු සිදු වු බරපතලම විදුලිය බිඳ වැටීම!

වසර ගණනාවකට පසු ඊයේ (17) දින මුලු රටම පැවතියේ අඳුරේය. ඒ කෙරවළපිටිය විදුලිය බෙදාහරින ග්‍රීඩ් උපපොලේ බිඳ වැටීමක් නිසා ජාතික විදුලි බල පද්ධතියේ ඇති වූ අසමතුලිතාවයක් හේතුවෙනි.

මෙම අසමතුලිතාවයෙන් පසුව පුත්තලම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර තුනෙන් විදුලි සැපයුම නතර වීමත් සමඟ රටේම විදුලිය අඩපණ විය.

මේ නිසා ඊයේ දහවල් සිට රාත්‍රියේද පැය අටකට අධික කාලයක් රට පැවතියේ විදුලිය නොමැතිවය. මේ නිසා ජල සැපයුම බෙදා හැරීම අඩාල වීම, කර්මාන්තශාලා, ආයතන, ඉන්ධනහල් ආදී සියල්ලටම බාධා පැමිණි අතර මහා මාර්ගයේ විදුලි ආලෝක සංඥා පද්ධති විසන්ධි විමෙන් මාර්ග තදබදයක්ද ඇති වි තිබුණි.

ඊයේ විදුලිය විසන්ධි විමේ පළමු පැය 8 පාඩුව ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 230 ක් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර තිබුණි.

මෙවන් බරපතල ගණයේ විදුලිය විසන්ධි වීමක් අවසන් වරට සිදු වුයේ 2016 පෙබරවාරි 25 දාය. ඊට පසුව විදුලිය විසන්ධි වීම් සිව්වරක් සිදුවුවද මෙවැනි බරපතල ලෙස සිදු වුයේ නැත. එම විදුලිය විසන්ධි වීම් සම්බන්ධයෙන් එකල වාර්තා කැඳවා ඇතත් ඒවා ලැබී නොමැති බව සඳහන් කරන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටින්නේ මෙම විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් නම් අනිවාර්යෙන්ම සතියක් තුල පත් කල කමිටුව විසින් වාර්තාවක් ලබා දිය යුතු බවය.

මේ අතර නැවතී ඇති ලක් විජය බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා දීම සඳහා තවත් දින 04 ක් වත් ගත වෙනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි..

-ශානිකා-

Social Sharing
නවතම