එයා හරියට ඉර එළිය වගේ – කැතරින් කැමූ

Albert Camus

1960 වසරේදී, වයස අවුරුදු හතළිස් හතක්ව මෝටර් රථ අනතුරකින් මිය ගිය දිනයේ පටන් මේ වනතුරු, අද දවසේ තරම් බහුල ලෙස ඇල්බෙයා කැමූ කෙදිනවත් කියැවී නැහැ. කොරොනා වසංගතය විසින් “මහාමාරිය” නැවතත් අලෙවි වාර්තා තැබූ කෘතියක් බවට පත්කොට ඇති අතර එය විසින් කැමූ මේ රෝගී, ව්‍යාකූල ලෝකය ආලෝකමත් කල එක් ලේඛකයකු බවට පත් කර තිබෙනවා. පෙන්ගුයින් රැන්ඩම් පබ්ලිෂින්ග් හවුස් විසින් පළමු වතාවට “කොම්බැට්” (Co mbat) පුවත්පතේ පළවූ මේ නොබෙල් ත්‍යාගලාභියාගේ ලිපි සියල්ල, මාරියා තෙරේසා ගලේගෝ උරුතියා විසින් පරිවර්තනය කෙරී, “නොචේ ද ලා වරිදද්” (Noche da la Varidad) නමින් පළකරනවා.

රචකයාගේ දියණිය වන හැත්තෑපස් වියැති කැතරින් කැමූ, ඇගේ පියා ආදාහනය කර ඇති පොවාන්ස් නගරයක් වන ලූමඅන් හි සිය පවුලේ නිවසේ සිට “එල් පයිස්” (El Pais) සඟරාව සමඟ දුරකථන සංවාදයක නිරත වුනා:

– මහේෂි බී වීරකෝන් –

Catherine Camus

– ඇල්බෙයා කැමූ ගැන ඔබට ඇත්තේ කොයිවගේ ප්‍රතිරූපයක්ද?

ඒක විනෝදබර, සජීවි එකක්. හරියට ඉර එළිය වගේ. එයා හැබෑ මිනිස් ප්‍රාණියෙක්. එයා අපිට ඇහුම් කන් දුන්නා. අපට අවධානය දුන්නා. ඒ විතරක් නෙමෙයි. එයා අපට ජීවත් වෙන්න ඉඩ දුන්නා.

– ඔහු කොයි වගේ පියෙක්ද?

සාධාරණයි. මෘදුයි. ඒත් සැරයි. කෑම මේසෙදි අපි හොඳින් හැසිරිය යුතු වුනා. හරියාකාරව ප්‍රංශ භාෂාව කතා කළ යුතු වුනා. සේරෝටම වැඩියෙන්, අනික් අයට ගරු කිරීම. ඒ වගේම බොරු කියන්න බෑ. බොරු කියනවට එරෙහිව එයාට ශාරීරික අදිටනක් තිබුනා. එයා ඉස්සරහදි බොරු කියල කාටවත් ගැලවෙන්න බෑ.

– ඔබේ මතකේ නියත සිද්ධියක් සටහන් වෙලා තියෙනවද?

හුඟක්. එක දවසක්, එතකොට මට අවුරුදු 12ක් 13ක් විතර ඇති, මම එයාට කිව්වා, “තාත්තේ මට කම්මැලියි.” කියල. “ඔයා ඔනෑවට වැඩියි.” එයා පිළිතුරු දුන්නා. ” ඒ උනාට තාත්තේ, මට කම්මැලියිනේ.” මම කීව්වා. “නැහැ. මෝඩයින්ට විතරයි කම්මැලි හිතෙන්නෙ.” එයා කිව්වා. මට ආයිත් කවදාවත් කම්මැලි හිතුනෙ නෑ.

– ඔබට ඔහු ලියනවා මතකයිද?

අසනීප වෙලා හිටි නිසා, වාඩි වෙලා හරි හාන්සි වෙලා හරි ඉද්දි එයාට රෝහල මතක් වුනා. එයා හැමවිටම තකහනියක හිටියෙ. එයා ලියුවෙ හිටගෙන. ඒත් මගෙ මල්ලිත්, මමත්, එයා ප්‍රසිද්ධ කෙනෙක් වග දැනගෙන හිටියෙ නෑ.

– ඒ ඔහුය කියල ඔබ දැනගත්තේ කොහොමද?

එයා මැරුණහම. ජනප්‍රිය කෙනෙක් වීම කොයිතරම් භයානකද කියල මට තේරුනා. ඒක මිනිස්සුන්ගේ මානුෂිකත්වය පැත්තකට දානවා.

– මොකක්ද වුනේ?

මගේ මල්ලියි මමයි මේ ලෝකේ හිටියෙ නෑ. ඒ මැරිල තිබුනේ අපේ තාත්තා නෙමෙයි, ඇල්බෙයා කැමූ. දවස් තුනකින් මම ආයිත් හයිස්කූල් එකට ගියහම එයාල මට මෙහෙම කිව්වා: “අපරාදේ, මට “මහාමාරිය” පොතක් අත්සන් කරගන්න ඕනි වුනා.”

– ඔහු ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියල ඔබ දැනගෙන නොහිටියත්, ඔහු ලේඛකයෙක් කියල දැනගෙන හිටියා?

ඔව්. ඒත් හයිස්කූල් එකේදි මම අනික් අයට කියන්න පුරුදු වෙලා හිටියෙ මගෙ තාත්තා වඩුවෙක් කියල. ලේඛකයෙක් කීවම සෝමාරි ගතියක් තිබුනා.

– ඒත් ඔහු ඒ වෙද්දිත් නොබෙල් තෑග්ග දිනල තිබුනා. ඒ වෙද්දිත් කවුරුත් ඔහු දන්නවනේ.

ඔව්. ඒත් මට ඒකෙ කිසි වෙනසක් තිබුනෙ නෑ. අපිට ගෙදර ටීවි එකක්වත් රේඩියෝ එකක්වත් තිබුනෙ නෑ. සරඹ ශිල්පීන්ට නොබෙල් තෑග්ගක් දෙනවද කියල මම තාත්තගෙන් ඇහුවා. මොකද මට ඕනි වුනා සරඹ ශිල්පියෙක් වෙන්න. මගෙ පරම්පරාවේ දරුවන්ට දරුවන් හැටියට ඉන්න ඉඩ ඇරිය විදිය ගැන හිතන්න. එයාල අපිට තනියම ඉන්න දුන්නා. දැන් ළමයින් තොරතුරු වලින් හරිම පෝසත්. යම් විදියකට, ඒකෙන් එයාල පොඩි මහල්ලන් බවට පත්වෙනවා.

– ඔබ ඔහු කියවන්න පටන් ගත්තේ මොන කාලෙද?

එයා ජීවතුන් අතර ඉද්දි මම “කලිගියුලා” කියෙව්වා. “ඒක හරිම විනෝදයි.” කියල මම කීවහම එයා පුදුම වුනා. එයාගෙ මරණෙන් පස්සෙ මම “මහාමාරිය” කියවන්න උත්සාහ කළත්, ඒක වේදනාකාරී වැඩියි. අවුරුදු දාහතේදි “ද රිබෙල් මෑන්” ඇරෙන්න අනික් සේරම මම කියෙව්වා. ඒක වියුක්ත වැඩියි කියල මට හිතුනා.

– ඔහුගෙ ප්‍රියතම පොත මොකක්ද?

“ද ෆෝල්.” එයාගේ විශිෂ්ඨම කෘතිය. විනෝදජනක වගේම දුක්බර පැත්තකුත් ඇති ඒක ජීවයෙන් පිරුනු පොතක්.

– කැමූගේ හාස්‍ය ගැන කතා කරන එක ඒතරම් සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඔහුව සලකන්නෙ හුඟක් බරපතල ලේඛකයෙක් හැටියට.

හරියට හරි. ඒත් සමහර වෙලාවට මම ඒක කියවද්දි මැරෙනකල් හිනාවෙනවා. එයා හුඟක් හිනා වුනා. එයා පිළිමයක් නෙමෙයි. ශාන්තුවරයෙකුත් නෙමෙයි. එයා ප්‍රශ්න ඇහුවා තමයි. ඒත් කවදාවත් නිසැක පිළිතුරු දුන්නෙ නැහැ.

– ඒත් ඔහු අදටත් වලංගු වෙන දේවල් පවා දැක්කා.

මොකද එයා ලියුවේ මිනිස්සුන්ට, මිනිස්සු වගේ, මිනිස්සුන්ගේ මට්ටමින්. ඔළුවෙන් විතරක් නෙමෙයි, තාත්තා එයාගේ ආත්මීය හැඟීම් වලින්ම ලියුවා. අන්න ඒකයි ප්‍රංශ දාර්ශනිකයො කියන්නෙ එයා දාර්ශනිකයෙක් නෙමෙයි කියල. දර්ශනයක් කියන්නේ හැමවිටම ක්‍රමයක්. ඒත් තාත්තා ලියුවා “අපිට ඉවත් කරල දාන්න බල කරන කිසිම දෙයක් සත්‍යය නෙමෙයි.” කියලා. ක්‍රමයක් කියන්නේ ඒ ඇතුළට නොඑන හැම දේම අයින් කරල දාන එකක්. එයා මොනම “වාද”යක්වත් විශ්වාස කළේ නෑ. එයා නිදහස් මිනිහෙක්.

– “ද නයිට් ඔෆ් ටෘත්” වල එන පෙළක් හොඳම ලිපි වලින් කථා කරන්නෙ ෆ්‍රැන්කෝගේ ස්පාඤ්ඤය ගැන.

ස්පාඤ්ඤය ඔහුට වැදගත් වුනා. ඔහු කීවේ ඔහු තුළ තිබූ හොඳම දෙය ස්පාඤ්ඤ ලෙය කියල.(ඔහුගේ අම්මා මිනෝර්කාන් මූල වලින් එන කෙනෙක්.) ඇරත් (ඔහුගෙ පෙම්වතිය උනු ස්පාඤ්ඤ නිළිය.) මාරියා කසාරේසුත් හිටියනෙ.

වසර කිහිපයකට පෙර ඇය ඇගේ පියා කසාරේස් වෙත ලියූ ලිපි පළකලා.

ඒක විශිෂ්ඨයි. මාරියා ඉතාම හොඳට ලියුවා.

මාරියා කසාරේ සමග

 

– මේ ලියුම් පළ කිරීම අනුමත කිරීම ඔබට අසීරු උනාද? ඒවා හරිම පුද්ගලිකයි. ඒවාගෙන් ඔහුගෙ පවුලට බලපෑමක් වුනා.

නැහැ. මමයි ඒක තීරණය කලේ. කොහොමටත්, “ද ෆර්ස්ට් මෑන්” වගේ, අනුමැතියකින් තොරව ඒවා පළවීමේ අවදානමක් තිබුනා. ඒ නිසා මම (සංස්කාරක) අන්ටොයින් ගැලිමාට කතා කරල, අපි ඒවා පළ කලා. ඒවා හරිම පුද්ගලිකයි තමයි ඇත්තටම. ඒත් ඒවා හරිම ලස්සනයි.

 

Social Sharing
අවකාශය නවතම