පොලී අනුපාතික තවත් පහළට !

පෙර සතියේ පළ කළ සටහනක අප විසින් ඉදිරිපත් කළ පුරෝකථනය සනාථ කරමින් අද දිනයේ (ජනවාරි 18) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික පැහැදිලිව පෙනෙන පරිදි පහත වැටී තිබෙනවා.

දින – 91 බිල්පත්

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 55

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 86.2

විකිණූ පොලී අනුපාතිකය = 30.08

පෙර සතියේ පොලී අනුපාතිකය = 31.15%

දෙසතියකට පෙර පොලී අනුපාතිකය = 32.01%

දින -182 බිල්පත්

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 20

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 54.8

විකිණූ පොලී අනුපාතිකය = 29.07%

පෙර සතියේ පොලී අනුපාතිකය = 31.37%

දෙසතියකට පෙර පොලී අනුපාතිකය = 32.02%

දින – 364 බිල්පත්

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 20

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 53.7

විකිණූ පොලී අනුපාතිකය = 28.25%

පෙර සතියේ පොලී අනුපාතිකය = 29.04%

දෙසතියකට පෙර පොලී අනුපාතිකය = 29.16%

 

පසුගිය දෙසතියක කාලය සැලකූ විට දින-91 බිල්පත් පොලී අනුපාතික 2%කින් පමණත්, දින-182 පොලී අනුපාතික 3%කින් පමණත්, දින-364 පොලී අනුපාතික 1%කින් පමණත් පහත වැටී ඇති බව ඔබට පෙනෙනු ඇති. මේ රටාව කියාපාන්නේ කුමක්ද?

පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ දීමෙන් අනතුරුව, පසුගිය මාස ගණනාවක් පුරා, රජයට අවශ්‍ය අරමුදල් දේශීය වෙළඳපොළෙන් සපයා ගත හැකි වුනත්, බොහෝ දුරට එසේ අරමුදල් සපයාගත හැකි වූයේ තෙමසක කාලයකට පමණයි. වෙනත් අයුරකින් කිවුවොත්, දින-91 බිල්පත් විකුණාගත හැකි වූ තරමට දින-182 හෝ දින-364 බිල්පත් විකුණාගත හැකි වූයේ නැහැ. මෙයට හේතුව වූයේ බිල්පත් ආයෝජකයින් විසින් මාස තුනකට වඩා වැඩි කාලයකට සල්ලි හිර කිරීම අවදානම් කටයුත්තක් සේ දැකීමයි.

බිල්පත් ආයෝජකයින්ගේ දෘෂ්ඨි කෝණයෙන් ඉහත හැසිරීමට හේතු දෙකක් තිබුණා. හේතු කියා කිවුවත් එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්.

පළමුවැන්න, පොලී අනුපාතික අඩුවනු ඇති බවක් ඔවුන් විශ්වාස නොකිරීම. පොලී අනුපාතික අඩුවන බව පෙනෙන්නේනම් වඩා වාසිසහගත තීරණය දිගු කලකට මුදල් ආයෝජනය කරමින් පවතින ඉහළ පොලී අනුපාතික වල වාසිය දිගුකාලීනව තහවුරු කර ගැනීමයි. අනෙක් අතට පොලී අනුපාතික තවත් ඉහළ යා හැකි බව පෙනේනම් වඩා වාසිදායක තීරණය වන්නේ කෙටි කලකට මුදල් ආයෝජනය කරන එකයි. පොලී අනුපාතික නොවෙනස්ව පවතිනු ඇති බව පෙනෙන්නේ වුවද වඩා වාසිදායක කෙටි කලකට මුදල් ආයෝජනය කරන එකයි.

දෙවන සාධකය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානමයි. දින-91 වැනි කෙටි කලකදී මෙවැන්නක් සිදු වීමේ අවදානම අඩු වුවත්, සල්ලි හිර කර තබන කාලය වැඩි වෙද්දී අවදානම ඉහළ යනවා.

ඉහත හේතු දෙක නිසා රජයට අවශ්‍ය පමණ ණය ලබා ගත හැකි වුවත්, එසේ ණය ලබා ගත හැකි වූයේ මාස තුනක කාලයකටයි. ඒ නිසා, ඉතා කෙටි කාලාන්තර තුළ නැවත නැවත ණය ගැනීමට සිදු වී තිබුණා.

ඉහත තත්ත්වයන් තවමත් මුළුමනින් වෙනස් වී නැහැ. එහෙත්, බිල්පත් ආයෝජකයින්ගේ හැසිරීමේ යම් වෙනසක් පැහැදිලිව දක ගත හැකියි. මේ වන විට, දින-91 බිල්පත් කෙරෙහි පමණක් වූ අවධානය ක්‍රමයෙන් දින-182 බිල්පත් කෙරෙහි යොමු වෙමින් තිබෙනවා. දින-182 බිල්පත් පොලී අනුපාතික වඩා වැඩියෙන් පහත වැටීමට හේතුව මෙයයි.

වෙළඳපොළ විසින් මේ සංඥාව ග්‍රහණය කර ගැනීමට සමාන්තරව බොහෝ දෙනෙකු විසින් දිගුකාලීන ආයෝජන මගින් ඉහළ පොලී අනුපාතික වල ප්‍රතිලාභ තහවුරු කර ගැනීමට උත්සාහ කිරීම අපේක්ෂා කළ හැකි වුවත්, අනෙක් පැත්තෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානම මෙය වළක්වනවා. ඒ නිසා, වසර ගණනාවක කාලයකට රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීම කෙසේ වෙතත්, දින-364 දක්වා වන රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීම සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් අදාළ පොලී අනුපාතික තව දුරටත් අඩුවේයැයි සිතිය හැකියි.

පෙර සටහනෙන් විස්තර කළ පරිදි, ෆිච් රේටිං ආයතනය වැනි ආයතන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානමක් දකිනවා. ඔවුන් එවැනි නිගමනයකට එළැඹෙන්නේ පවතින ඉහළ පොලී අනුපාතික එළෙසම පවතිනු ඇතැයි යන පදනම මතයි. එහෙත්, පොලී අනුපාතික අඩු වෙමින් පවතින අතර පොලී අනුපාතික අඩු වෙද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය හා එයින් ලැබිය හැකි වාසිද අඩු වෙනවා.

පොලී අනුපාතික තිබිය යුතු මට්ටම තීරණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ උද්ධමනයයි. එහෙත්, මෙහිදී අදාළ වන්නේ දැනට පවතින උද්ධමනය නෙමෙයි. සුරැකුම්පතක් නිකුත් කරන දින සිට කල් පිරෙන දිනය දක්වා කාලය තුළ පවතිනු ඇතැයි අපේක්ෂිත උද්ධමනයයි. මේ වසර අවසානය වන විට අඩුම වශයෙන් 15% දක්වාත්, බොහෝ විට තනි අංකයක් දක්වාත් උද්ධමනය අඩු වීමට නියමිතව ඇති නිසා දින-364 පොලී අනුපාතිකයද අඩු වශයෙන් 15% මට්ටම දක්වා අඩු විය යුතු වුවත්, වෙළඳපොළ උද්ධමන අපේක්ෂාවන් තවමත් අඩු වී නැති නිසාත්, ණය ප්‍රතිව්‍යුහකරණය කිරීම පිළිබඳ බිය නිසාත්, පොලී අනුපාතික නිවැරදි වීමට යම් කාලයක් ගත විය හැකියි. යම් කාලයක් යා හැකි වුවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය නොකර වැඩේ ගොඩින් බේරා ගැනීමට හැකි වන තරම් ඉක්මණින් එය සිදු නොවන්නට හේතුවක් නැහැ.

කෙසේ වුවත්, මේ අයුරින් පොලී අනුපාතික පහළ යනු ඇත්තේ රජය විසින් දිගටම මූල්‍ය විනය පවත්වා ගන්නේනම් පමණයි. සල්ලි අච්චු නොගසන තත්ත්වයක් යටතේ රජයට වියදම් කරන්න වෙන්නේ ආදායම් එකතු වන තරමටයි. මෙහිදී රජයේ ගෙවීම් ප්‍රමාද වීම නොවැලැක්විය හැකියි. සැපයුම්කරුවන්ගේ ගෙවීම් ආදිය කාලයක් තිස්සේම ප්‍රමාද වෙමින් ඇති අතර, මේ වෙද්දී සමෘද්ධි දීමනා, රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම්ද ප්‍රමාද වෙමින් තිබෙනවා. රජයට තත්ත්වය කළමනාකරණය කරගත හැකි වනු ඇත්තේ කවර හෝ රාජ්‍ය වත්කම් විකුණා යම් මුදලක් සොයා ගැනීමෙන් පමණයි. එවැනි දේ නොකර පොලී අනුපාතික අවශ්‍ය පමණ අඩු කර ගැනීම අසීරුයි. පොලී අනුපාතික අවශ්‍ය පමණ අඩු වන තුරු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට වීමේ අවදානම පහව යන්නේ නැහැ. යන පාර හරි වුනත් ගමනාන්තය තිබෙන්නේ තව බොහෝ දුරයි.

– ඉකොනොමැට්ටා –

Social Sharing
ආර්ථික නවතම