මානසික රෝගීන් සමඟ සෙල්ලම් නොකරන්න

chathuri hansika university of colombo

මේ දිනවල ජනමාධ්‍ය විසින් විවිධ කෝණ වලින් වාර්තා කරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසර සිසුවියක් වූ චතුරි හංසිකා ගේ ඝාතනය පවතින සමාජයේ එක්තරා අඳුරු පැතිකඩක් අපට පෙන්වා දෙයි. ඇයගේ ඝාතනය සිදු කර ඇත්තේ ඇගේම විශ්ව විද්‍යාලයේම ඇය හා එකට අධ්‍යාපනය ලැබූ පසිඳු චතුරංග නැමති සිසුවායි. එය සාමාන්‍ය ඝාතනයක් ලෙස බැහැර කළ නොහැකි ඝාතනයකි. ඒ පසිඳු පසුව මරණ පරීක්ෂණයේ දී හා පොලිසියට ලබා දුන් ප්‍රකාශයන් නිසායි. 2019 සිට තමන් මානසික ආබාධයන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බව සඳහන් කිරීමයි. අයිස් කන්දක ගැඹුර විශාල ලෙසම ඔහුගේ මානසික ස්වභාවයේ ගැඹුර එයයි. එම ප්‍රකාශය හුදු ප්‍රකාශයක් ලෙස බැහැර කළ නොහැක.

විශ්ව විද්‍යාල ජීවිතයේ ඇති වූ, නැති වූ පළමු ප්‍රේමය මෙය නොවෙයි. නමුත් මෙතරම් ප්‍රචණ්ත්වයට පත් වූ සිදුවීම් අතරින් මෙම සිදුවීම සමාන වන්නේ මීට පෙර කැළණිය විශ්ව විද්‍යාලයේ දී සිසුවියක් ඝාතනය කිරීමේ සිද්ධියයි. මානසික පීඩනය, ආතතිය මීට ප්‍රධාන හේතුවයි. වාර්තා වෙන අන්දමට සිසුවිය තරම් සිසුවා අධ්‍යාපනයට දක්ෂ අයෙක් නොවූ බවත්, වුවමනාවක් නොතිබූ බවත්, මුලදී සම්බන්ධකමක් ඇති වුවත් දෙදෙනා අතර වූ නොගැලපීම් ක්‍රමයෙන් මතු වී තිබේ. චතුරි අධ්‍යාපනයේ දී දැඩි ආක්‍රමණශිලී හා අධිෂ්ඨානශිලී වූ බවක් දක්වා ඇති සිසුවියකි. යූ ටියුබ් මගින් සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබා දීමම ඊට හොඳ උදාහරණයකි. චතුරි විශේෂ උපාධියකට උරුමකම් කීවද පසිඳු සාමාන්‍ය උපාධියක් හැදෑරීම ද දෙදෙනා අතර ඈත්වීමක් වීම මතු පිටින් නොපෙනුනු, දෙදෙනාම නොදැන දෙදෙනා ඈත්වීමට හේතුවක් වන්නට ඇත. නමුත් ඇය පසිඳුගේ අධ්‍යාපනයට උදව් කළ බවක් ද වාර්තා වේ. පසිඳු ද යූටියුබ් ආධාරයෙන් ළමුන්ගේ අධ්‍යාපනයට උදව් කළ බවට සාක්ෂි ඇත. චතුරි තමන්ට ආදරයෙන් විවේකයක් අවශ්‍ය බව ඔහුට ද, මිතුරු මිතුරියන්ට ද පවසා ඇති අතර, පොලිසිය මේ වන විට වාර්තා කරන අන්දමට ඇයට වෙනත් කිසිම ප්‍රේම සම්බන්ධයක් ඝාතනය වන අවස්ථාව වන විටත් තිබී නැත. පොලිසියට පසිඳු ලබා දුන් කට උත්තරයේ ද ඇයට සම්බන්ධතාවයක් තිබූ බව ඔහු පිළිගන්නේ නැත.

නමුත් ඊට වඩා ගැඹුරු ගැටළුව ලෙසට පෙනෙන්නේ ඔහු මානසික ගැටළු සඳහා ප්‍රතිකාර ගන්නා බව චතුරි මෑත දී දැන ගැනීමයි. ඒ ප්‍රේම සම්බන්ධතාවයට වසර දෙකක් පමණ ගත වූ පසුවයි. එය චතුරිට පසිඳු කෙරෙන් ඈත්වීමට මෙම තත්ත්වය ප්‍රබල හේතුවක් වන්නට ඇත. චතුරිගේ තීරණය ඉතාමත් සාධාරණ පිළිගත හැකි තීරණයකි. නුමුත් ඉතාමත් බරපතල තත්ත්වයක් මතු වන්නේ පසිඳු පොලිසියට ලබා දුන් කට උත්තරයෙන් කියැවෙන්නේ චතුරි විසින් ඔහුට නිතර “පිස්සා” කියා අපහාස කළ බවයි. මානසික ගැටළුවට ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුට මෙලෙස කිසිවිට කිසිවෙකු විසින් නොකිය යුතු දෙයකි. සාමාන්‍ය තරුණ පිරිස් අතර පිස්සා කියමින් විහිළු තහළු කරනු අනන්තවත් සිදුවේ. එවැනි අවස්ථාවන්හීදී එය එතරම් බරපතල දෙයක් නොවේ. නමුත් මෙම සිද්ධියේ දී එය ඉතාමත් සීරුවෙන් හැසිර විය යුතු මනසක් දැඩි අර්බුදයකට දැමීමකි.

“මම 2019 වසරේ සිට මානසික ව්‍යාකූල තත්වයක් වෙනුවෙන් බෙහෙත් ගන්නවා. මම චූටි සමග 2020 දි මිතුරු වුනා. මම බෙහෙත් ගන්නා බව මම කිව්වේ නෑ. නමුත් මාස කිහිපයකට පෙර ඇය මාස 4-5 පෙර ඒ බව දැනගෙන, මා හා අමනාප වුනා. අපේ සම්බන්ධය නතර කරමු කියලා ඇය එය නතර කලා. චූටි මට මානසික රෝගියෙක් කියලා නිතර පරිභව කරනවා. ඒ නිසා මම වේදනාවෙන් සිටියේ. මට අහිමිවන ඇය වෙන කිසිවෙකුට අයිති නොවන්න ඇයව මරන්න මම තීරණය කලා.”

මේ පසිඳුගේ ප්‍රකාශයක්. ඒ වන විට චතුරි ගේ හා පසිඳු ගේ ප්‍රේමය අවසන් වී හමාරයි. ප්‍රේමය දරුණු වෛරී සිදුවීමක් වෙන්නේ පසිඳු මානසික රෝගී තත්ත්වය උත්සන්න වීම නිසයි. එකට අධ්‍යාපනය ලබමින්, තැන තැන ඇවිදිමින්, එකිනෙකාට සමීප සිටිමින්, සැහැල්ලු ප්‍රේමණීය ජීවිතයක් ගත කළ ජීවිත දෙකක් මානසික රෝගී තත්ත්වයකට පෙම්වතා පත් වී ඇති බව දැනගත් විට වෙනස් වේ. පසිඳු දෙවරක් ජීවිතය නැති කර ගැනීමට උත්සාහ කළ තරුණයෙක්. ඒ දෙවතාවේම ඔහුගේ වාසනාවට ජීවිතය බේරෙනවා. ඔහු මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබන්නේ එවිටයි. පසිඳුගේ මානසික තත්ත්වය දැන ගැනීම නිසා චතුරි ඔහුගෙන් ඈත්වීමට තීරණය කිරීම පසිඳුට දරා ගැනීමට නොහැකි වනවා.

අසල්වැසියන් පවසන ආකාරයට පසිඳු ඉතාමත් නිහඬ කාටවත් කරදරයක් නැති අධ්‍යාපනයටම සිත යෙදවූ පුද්ගලයෙක්. එවැනි පුද්ගලයෙක් මෙවැනි අපරාධයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ද ඇත්තේ විමතියක්. එවැනි පුද්ගලයෙක් තුළ ඝාතකයෙක් ඇතිවීම යන්තමින් හෝ විග්‍රහ කළ හැක්කේ මනෝ විද්‍යාව සම්බන්ධ විශේෂඥයෙකුට පමණි.

චතුරි අධිෂ්ඨානශිලී ලෙස තමාගේ අනාගතය පියවරෙන් පියවරෙන් ගමන් කරද්දී ඊට පසිඳු බාධාවක් යැයි සිතෙනවා. ඇය සම්පූර්ණයෙන්ම නිවැරදියි. ඇයගේ අනාගතය මානසික ආබාධයක් තිබෙන කෙනෙක් සමඟ ඉදිරියට නොහැකි බව ඇයට අවබෝධ වන්නට ඇත. නමුත් ඇය ඔහුට කරන ලද පරිභව කිරීම් නිසා ඔහුගේ සිත දැඩි කළකිරීමකට වේදනාවකට පත්වී තිබේ. එවැනි තත්ත්වයක දී තමන් පිළිබඳව අවකත්සේරුවක්, ආත්ම අභිමානය බිඳීමක්, ලැජ්ජාවක් ඔහු තුළ ඇති වීම ස්වභාවික ය. ඔවුන්ගේ පැවැති සම්බන්ධතාවයේ ස්වභාවය අප නොදන්නා නමුත් පසිඳුට විශාල ලිංගික ඊර්ෂ්‍යාවක් ඇති වී තිබේ. “ මට අහිමිවන ඇය වෙන කිසිවෙකුට අයිති නොවන්න ඇයව මරන්න මම තීරණය කලා” යනුවෙන් ඔහු පවසන්නේ එයයි. පසිඳු සම්බන්ධය නවත්වන්නේ වෙනත් සම්බන්ධයක් නිසා යයි සැක කල ද ඇයට වෙනත් සම්බන්ධතාවයක් නොතිබු බව ඔහුම දැන් පවසයි. නමුත් දිනෙක ඇයව වෙනත් අයෙකුට ලැබීමට අවස්ථාව ඔහුට නැති කිරීමට අවශ්‍ය වේ. අවසානයේ දී ඔහු ඇයව ඝාතනය කරන්නේ ඒ නිසයි. මෙවැනි මානසික තත්ත්වයන් ඇති වූ පුද්ගලයන්ට සෑම අවස්ථාවකදීම සිහිවන්නේ ඇයයි, ඇය හා ගත කළ කාලයයි. ඈ වෙතින් ලද ලිංගික ආශ්වාදයයි. දැන් ඇය වෙන අයෙක් සම්බන්ධ වී ඇති බව සිතන ඔහු සමග ද තමන් සමග මෙන්ම සම්බන්ධතාවයක් පවත්වන බව හා පවත්වන අයුරු සිහිනයක් සේ දකියි. මෙවැනි දේ ඔහුට චිත්‍රපටයක් සේ පෙනේ. මානසික ආතතිය ක්‍රමයෙන් වැඩිවෙමින් යද්දී ඔහුට රෑ දවල් පුරා ඒ රූපාවලිය හා සිතිවිලි නැවත නැවත මනසේ ගමන් කරයි. තමන්ට අවට සිදුවන වෙනත් දේවල් නොදැනී යයි. සිහිනයකින් මෙන් ජීවත් වේ. මවාගත් ලෝකයක ජීවත් වේ. ආහාර ගැනීම, පිරිසිදුව සිටීම අමතක වේ. මේ අප සාමාන්‍ය දන්නා තත්ත්වයන් හා පසිඳු මුහුණ දෙන්නට ඇතැයි සිතෙන තත්ත්වයන් වේ. මීට පරිබාහිරව පිටතින් කිසිඳු වෙනස්කම් නොපෙන්වන මානසික තත්ත්වයන් ද ඇත.

මෙවැනි මානසික ආබාධයන් සහිත විශාල පිරිසක් අප අතර සිටියි. සමහර ආබාධයන් ඉබේ සුවවන අතර සමහර ආබාධයන් තමන් තුළ තබාගෙන තමන්ට ද අනෙක් අයට ද කරදරයක් වෙමින් ජීවිතය පුරාම ප්‍රතිකාරයක් නොලබන පිරිසක් ද සිටියි. අදාල පුද්ගලයාට සමීප පවුල, මිතුරු මිතුරියන් මෙවැනි පුද්ගලයන් අවබෝධ කරගැනීමත්, ඔවුන්ව අවශ්‍ය මානසික උපදේශනයට යොමු කිරීම, අවශ්‍ය නම් මානසික වෛද්‍යවරු වෙත යොමු කිරීම ඉතා වැදගත් වේ. ලංකාවේ බොහෝ රෝහල් වල මානසික වෛද්‍ය ප්‍රතිකාර අංශයක් පවතින බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්. එම ප්‍රතිකාර අංශයන්හී ඉතාමත් සැලසුම් සහගත ප්‍රතිකාර ලබාදීමත් අවශ්‍ය නම් විශේෂඥ වෛදවරුන් වෙත යොමු කිරීමක් ද තිබේ. විශ්ව විද්‍යාල තුළ උපදේශනය සේවාවක් ඇතැයි සිතමි. චතුරිගේ සහ පසිඳුගේ මිතුරන්ට හෝ පවුලේ අයට ඔහුගේ මානසික තත්ත්වය අවබෝධ නොවීම දෙදෙනාගේම අවාසනාවක්.

තවත් සමාජය විසින් නොසලකා හරින ප්‍රධානතම කරුණක් නම් සමහර මානසික ආබාධයන්ට ඇති ජානමය බලපෑම. එම තත්ත්වයන් අවබෝධ කර ගැනීම අසීරු වන අතර, එවැනි තත්ත්වයන්ට දීර්ඝ ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ. පසිඳු ද එවැනි ජානමය මනෝ ව්‍යාධියක වින්දිතයෙක් නම් එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසාම මේ ඝාතනට සම්බන්ධ දෙදෙනාම වින්දිතයන්.

මේ සිදුවීම සිදුවී කාලයක් ගත වී ඇත. මිතුරු කණ්ඩායමක සිටි එක් සංවේදී සිතිවිලි සහිත මිතුරෙක් ප්‍රේම සම්බන්ධයක් නිසා වියවුලට පත් වී සිටින බව අනෙක් මිතුරෝ දැන ගත්තෝය. පසුව ඔහුගේ වැඩිමහල් සොහොයුරා සමඟ සාකච්ඡා කර ඒ වන ලංකාවේ සිටි මනෝ වෛද්‍යවරුන්ගෙන් කෙනෙක් වෙත මිතුරාව ඔවුන් විසින් රැගෙන ගියේය. ලබා දුන් උපදෙස් අනුගමන කළෝය. අවශ්‍ය බෙහෙත් ද සමඟ නිවසට ගොස් සොහොයුරා ද දැනුවත් කළේය. දීර්ඝ කාලයක් ඔහුට අවශ්‍ය උපදෙස් ලබාගැනීමට ඔවුන් ද සහය විය.

මා දන්නා තවත් සොහොයුරෙක් තමන්ගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව මානසික වියවුල් පත් සොහොයුරාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට දැඩි වෙහෙසක් ගත්තේය.

මානසික රෝගී තත්ත්වයන්හීදී ප්‍රතිකාර නිසි පරිදි ලබාදීම ඉතා වැදගත්. ලබාදෙන බෙහෙත් නිසා විවිධ තත්ත්වයන් ඇති වේ. නිදිමත, කම්මැලිකම, වැනි විවිධ තත්ත්වයන් ඇති වේ. ඒ නිසාම සමහර පුද්ගලයන් බෙහෙත් ගැනීම මග හරියි. මට හැඟී යන පරිදි පසිඳු කාලයක් ප්‍රතිකාර වලින් ඈත් වී තිබේ. ප්‍රතිකාර ගත්තා නම් එවැනි දැඩි ආවේගයක් මතු නොවේ. ඔහුව නිරීක්ෂණය කිරීමට කිසිවෙක් සිටි බවක් මේ වන තෙක් නොපෙනේ. සාමාන්‍යයෙන් මනෝ වෛද්‍ය ප්‍රතිකාරයන්හිදී පවුලේ අයව දැනුවත් කරනු ලබයි. ඒ එවැනි පුද්ගලයන් බෙහෙත් ගැනීමට මග හැරීමට ඇති ඉඩ කඩ නිසා හා යම් හානියක් කර ගැනීමට ඇති ඉඩ කඩ නිසයි.

තවත් පසිඳුලා බොහෝ සිටිය හැකිය. ඔවුන් අවබෝධ කරගෙන ඔවුන් නිසි අවබෝධය, මඟපෙන්වීම, ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යය. කිසි විටෙක ඔවුන්ගේ ආත්ම ගෞරවයට, ආත්ම අභිමානයට හානිවන සේ හැසිරීම, ප්‍රකාශ කිරීම, සමාජය ඉදිරිපිට අපහසුතාවයන්ට පත් කිරීම තවත් පසිඳුලා බිහිවීමට හේතුවක් වනු ඇත.

ලේඛකයා සතු අත්දැකීම් කිහිපයක් ඇසුරෙන් ලිපිය ලියූ නමුත් මානසික වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් මිස මානසික රෝගී තත්ත්වයන් සුවපත් කිරීමට වෙනත් ක්‍රමයක් නැත. මානසික රෝගීන් ප්‍රතිකාර ගනිමින් සිටියද, නොසිටිය ද ඉතාමත් ප්‍රවේසමෙන් හැසිරවිය යුතු ජන සමාජයේ ආදරයට, සෙනෙහසට පත් විය යුතු සමාජයේම කොටසකි.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග