පෙම්වතිය මිය යායුතුව තිබුනේ ඇයි? 

– කෞෂල්‍යය කුමාරසිංහ –

ප්‍රේමය නිසා මැරීම සධාරණීකරනය කරන පෝස්ට් සහ කමෙන්ට්ස් දැක්කම මට මුලින් දැනුනෙ අමුතු සතුටක්. මේ වගේ කාලයක ප්‍රේමය වෙනුවෙන් මරණ එක සාධාරනීකරනය කරන පිරිමිත් එහෙම මැරෙණ එක සාධාරනීකරනය කරන ගැහැනුත් ඉන්නව කියන්නෙ ප්‍රේමය තවමත් බලවත් සාංදෘෂ්ටික අත්දැකීමක් කියන එක. ඒත් ඇත්තටම මෙතන තියෙන්නෙ එහෙම එකක් නෙමෙයි. මේ ප්‍රතිචාර අපිට කියන්නෙ ලංකාවෙ ප්‍රේමය තුල සමුගැනීම කියන එක ව්‍යුහාත්මක වියහැකියාවක් නෙවෙයි කියන එකයි. ඒ නිසා පෙම්වතියගේ වෙන්වීමේදී පිරිමි ප්‍රචන්ඩත්වයේ කලාපයට ඇතුල් වෙන එකත් පෙම්වතාගේ වෙන්වීමේදී ගැහැනු දිවිනසාගැනීමේ හා ඩිප්‍රෙෂන් වල කලු කුහරයට ඇතුල් වෙන එකත් සාධාරණයි. මේක කොහොමද අපි තේරුම් ගන්නෙ.

ප්‍රේම කරල විවාහ වෙලා එකට ජීවත් වීම කියන එක ලෝකෙමත් පටන් ගන්නෙ 19 වන සියවසෙන් විතර පස්සෙ. මේ විදිහට ප්‍රේමය සමාජ භාවිතයක් වෙන කොට ඒකත් එක්ක බැඳුනු දෙයක් තමයි තෝරා ගැනීමේ නිදහස සහ හැඟීම් වල නිදහස. පවුල ආගම කුලය ජාතිය වගේ පුද්ගල නිදහස සීමා කරන යාන්ත්‍රණ වල බලපෑමෙන් තොරව තමන්ගෙ හැඟීම් වලට අනුව හැසිරීමට අවශ්‍ය ඉඩ නැතිව ප්‍රේමයට පොදු සමාජ භාවිතයක් වෙන්න බැහැ. නමුත් මේ ඉඩ හැදෙන ඉතිහාසය ඒ තරං සරල එකක් නෙමෙයි. බටහිර දිත් ප්‍රේමය මුලින් වර්ධනය වෙන්නෙ ක්‍රිස්තියානියේ හෙවනැල්ල යට. නමුත් ප්‍රබුද්ධත්වය හා කාර්මික ධනවාදය එක්ක ආගම මෙතනින් ඉවත් වෙනවා. මෙතෙන්දි විශාල කාර්යභාරයක් කරන්නෙ නවකතාකරුවන්, මුල්ම ස්ත්‍රීවාදීන්, දාර්ශනිකයන්, ලිංගිකත්වය පිලිබඳ චින්තකයන් සහ සාමාන්‍ය ගැහැනු හා පිරිමි කියලයි ඊවා ඉලූස් වැනි සමාජ විද්‍යාඥයන් කියන්නෙ.

මෙතනදි ප්‍රේමය සකස් වෙන්නෙ ලිබරල් තර්කයකට අනුව. ඒක තුල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වගේම හැඟීම් වල සහ තෝරාගැනීමේ නිදහස උත්කර්ෂයට නැඟෙනවා. ඉන් පස්සෙ සමාජ පාලනයකින් තොර භාවමය ඇතුලාන්තයක් සහිත ප්‍රේමවන්තියක් හා වන්තයෙක් ඉතුරු වෙනවා. ඔවුන් විශ්වාස කරන්නෙ මේ හැඟීම්මය ඇතුලාන්තය විතරයි. ඒකෙ වෙනස් වීම් මත සම්බන්ධය තීරනය වෙනවා. මේ නිසාම මේ හැඟීම් ඇතුලාන්තය වටහාගත හැකි සහ අනෙකාට සන්නිවේදනය කල හැකි භාෂාවක් ඔවුන් ගොඩනගා ගන්නවා. ඇත්තටම මෙතෙන්දි එකිනෙකට සම්බන්ධ භාෂාවන් තුනක් අපිට ඕනෙනම් පෙන්නන්න පුලුවන්. ප්‍රේමයේ භාෂාව, ආශාවේ භාෂාව සහ පුද්ගලත්වයේ භාෂාව. ඒවගේම පෙම්වතුන් අතර සන්නිවේදනය බලවත් කරන ක්‍රියාකාරකම්, වතාවත් ප්‍රේමය තුල වඩා වඩා ගොඩනැගෙනවා. එතකොට ප්‍රේමය අලුත් සම්බන්ධතා ආකෘතියක් ලෙස වර්ධනය වෙනවා. ඒක ඥාතීත්වයවත් වෛවාහික සම්බන්ධයවත් නෙමේ. මේ නිසා සමුගැනීමක් හෝ කෙටි විවේකයක් නිවේදනය කිරීම සහ ඒක වටහා ගැනීම සාපේක්ෂව පහසු දෙයක්.

20 වන සියවසේ සිංහල සංස්කෘතිය තුල ප්‍රේමය පොදු ජන භාවිතයක් හැටියට වර්ධනය වෙන්නෙ සිංහල-බෞද්ධ ජාතිකවාදයේ හෙවනැල්ල යට. යටත්විජිත නූතනත්වය හා ධනවාදය එක්ක ප්‍රේම කිරීම හා ඒ එක්ක බැඳුනු භාවිතයන් සමාජයීයව පේන්න ගන්නකොට සාම්ප්‍රදායවාදීන් මුලින්ම කලබල වෙනවා. මොකද ප්‍රේමය තුල කැටිවෙලා තියන පුද්ගල කැමැත්තේ බලවත්කම විසින් සම්ප්‍රදායික ඥාති කුල රීති බිඳෙන්න ගන්නව. නමුත් ජාතිකවාදීන් අතින් ප්‍රේමයේ කතිකාව ලිබරල් තර්කනයෙන් පිටත නැවත ගොඩනැගෙනවා. ඒක එක පැත්තකින් ඇසුරු කරන්නෙ ඥාතීත්වය. ඒක දැන් පිටින් පේන සරල ආකාරයක් තමයි අයිය නංගි අම්මි තාත්ති කියල පෙම්වතුන් එකිනෙකාට කතා කරන එක. ආමන්ත්‍රණයෙන් එහා ගිය සංකීර්ණ භාවමය කලාපයක් මෙතන තියනවා. ඒකෙ මූලයන් අපේ සම්ප්‍රදායික ඥාති විවාහයෙත් ඒ එක්ක බැඳුනු ජන ශ්‍රැතියෙත් තියනවා. අනිත් පැත්තෙන් ප්‍රේමය සංසාරගත නියතභාවයක් බවට පත් වෙනවා. සුජීව ප්‍රසන්න ආරච්චි එයාගෙයි මධාරගෙයි ඇනිවසරි එකට මේ ලඟදි දාපු පෝස්ට් එකක තිබුනෙ, අද අපේ ජීවිතයේ මේ ආත්ම භවයේ හමුවෙන වඩාත්ම වටිනාම දිනය කියලයි. මේ දේවල් සරලයි වගේ පෙනුනට මේව විවිධ තල වලින් අපේ ප්‍රේමයේ ස්වභාවය තීරණය කරනවා. අපේ පරමාදර්ශී ප්‍රේම කතාව සිද්ධාර්ථ යශෝදරා. ඒ දෙන්න ආත්ම ගානක් නැවත නැවත මුණගැහිල එක ආත්මෙක එකම තාත්තගෙ අම්මල දෙන්නෙක්ගෙන් අයියයි නංගියි හැටියටත් ඉපිදිලා විවාහ වෙලා අන්තිම ආත්මෙදි නෑනයි මස්සිනයි හැටියට ඉපදිලා විවාහ වෙලා එකට නිවන් දකිනවා. ඒ දෙන්න හමුවුනා මිසක් කවදාවත් වෙන් වුනේ නෑ. සංසාරෙන් සමුගන්නා දවස වෙනකන්ම.

හැඟීම් වල ජීවවිද්‍යාත්මක ශක්තියක් තිබුනට හැඟීම් වලට අර්ථය එන්නෙ සංස්කෘතියෙන්. ගෑනු ලමයෙක් දැක්කම හදවතේ රිද්මය වැඩි වුනාට ඒක ආදරයද ලිංගික ආශාවද බය ද කියල තෝරල දෙන්නෙ භාෂාව. පෙර භවයක දැක පුරුදුබව කියලත් දැනෙන්න පුලුවන්. නංගි කියල අමතන්න හිතෙන්නත් පුලුවන්. මේ නිසා තෝරාගැනීමේ නිදහස සහ හැඟීම් වල නිදහස තියනව වගේ පිටින් පෙනුනට ප්‍රේමය කියල අපි ඇතුල් වෙන්නෙ ඉරණමේ සහ නියතභාවයේ අඩවියකට. එක දොරයි තියෙන්නෙ ඒකෙන් පිටවෙන්න බැහැ. මේ ආත්ම භවයේ විතරක් නෙමේ ලබන ආත්මෙවත් බෑ. ඒ වගේම ප්‍රේමයේ භාෂාව හැදිල තියෙන්නෙත් ජාතිකමය තර්කනයක් තුල මිසක් ලිබරල් තර්කනයක් තුල නෙමේ. ඊර්ෂ්‍යා කරන්න මිසක් ඊර්ෂ්‍යාවේ සැකැස්ම වටහා ගන්න තරං ඒක බලවත් නෑ. ආශා කරන්න මිසක් ආශාවේ අන්‍යෝන්‍ය රිද්මය වටහා ගන්න තරං ඒක බලවත් නෑ. පුද්ගල කැමැත්ත හරියට ප්‍රකාශ කරන්නවත් කැමැත්තේ සංකීර්ණා තේරුම් ගන්නවත් ඒකට බැහැ. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඒ භාෂාවට ඇතුලත් නැහැ. අපි මුලින්ම ප්‍රේමයට නිරාවරනය වෙන සිංහල පවුලේ ආදරයෙත් පුද්ගල නිදහස වත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවවත් නෑ. ප්‍රේමවන්තයො මුලින්ම ඉගෙන ගන්නෙ ඒ පවුලෙන්. ඉන්පස්සෙ පාසල, ආගම හා ජනප්‍රිය සාහිත්‍ය කලාවන්. ජනප්‍රිය සාහිත්‍ය කලා නිර්මාණ වලින් කරන්නෙම ප්‍රේමයේ මේ සිංහල බෞද්ධ සංස්කෘතික රාමුව නැවත නැවත නිපදවන එක.

දැන් මේ මරණයට අදාලව ඉදිරිපත් වන ප්‍රතිචාර දිහා බැලුවොත් අපිට පේනවා එකිනෙකට වෙනස් භාෂාවන් දෙකක්. එකක් ප්‍රේමය තුල සමුගැනීම පිලිගන්නා පුද්ගල කැමැත්ත ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවය ගරු කරන ලිබරල් වාදයේ භාෂාව. අනිත් එක ප්‍රේමය තුල සමුගැනීමක් තිබිය හැකි බව නොදන්නා පුද්ගල කැමැත්ත හෝ සමානාත්මතාව ප්‍රේමයේ අත්‍යන්ත අංග ලෙස නොසලකන ජාතියේ භාෂාව. මේ භාෂාවන් දෙක එකිනෙකට පරිවර්තනය කරන්න බැහැ. මොකද එකක වචන වලට සමාන පද හෝ අර්ථ අනිත් එකේ නැහැ.

Social Sharing
නවතම විශේෂාංග