අපයෝජනයට ලක් වු දරුවන් යළිත් අපයෝජනය කරන මාධ්‍යට වැට බඳිමු!

දැලට හසු වු මාලුවා පැන ගියා යැයි බෝට්ටුවේ සිටි සියලු දෙනා බිම පෙරලාගෙන පහර දෙද්දී ඔහුට ගෙදර සිහි විය. අම්මාගේ උකුල සිහි විය. බඩගින්නේ සිටින නංගිලා, මල්ලීලා සිහි විය. ඒත් මහ මුහුද මැද උදව් ඉල්ලීමට කිසිවෙක් සිටියේ නැත. ඔහුට හැකිව තිබුණේ මුහුදු රළ සමඟ මුසුව යන්නට කෑ ගැසීම පමණි.

මේ මා කියන්නට යන්නේ පසුගිය 16 දින මාතර, කොටවිල පොලිස් බල ප්‍රදේශයෙන් ඇසුණු තවත් දරුවෙකුගේ ඛේදවාචකයකි.

දරුවන් යනු රටේ අනාගතයය. හෙට දවස භාර ගැනීමට සිටිනා ඔවුන්ට හිතකාමී, සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර දීම වැඩිහිටි අප සතු වගකීමකි. නමුත් එම වගකීම අප අතින් ඉටු වී නැත. අප ජනමාධ්‍යයෙන් විවිධ දේ අසන්නෙමු. දකින්නෙමු. පහුගිය දිනවල දුටුවේද රියැලිටි ෂෝ වලට සහභාගි වු දරුවන් අපයෝජනය වු පුවතකි.

මාතර, කොටවිල පදිංචි ශෙහාන් ප්‍රමොද් දා හත් හැවිරිදිය. ඔහු පියාට ශක්තියක් වන්නටත් නංගිලා දෙදෙනාට හා මල්ලිලා දෙදෙනා වෙනුවෙන් වැඩිහිටි පුද්ගලයින් හතර දෙනෙකු සමඟ මුහුදු යන්නේ ජුනි 28 දාය. ඒ මිරිස්ස ධීවර වරායෙනි. ශෙහාන්ට දින 05 ක් වැනි කාලයක් පමණක් ඔවුන් සමඟ සුහදව කටයුතු කිරිමට හැකි වී ඇත. පස් වෙනි දින ඔහුගේ දැලට විශාල බල මාලුවෙකු පැටලී ඇති අතර පසුව මාලුවා පැන ගොස් ඇත. ඊට උරණ වු ධීවරයින් සිව්දෙනා මෙම දරුවාට අධික ලෙස පහර දී ඇත. ඉන් අනතුරුව දෙසතියක් කුසගින්නේ තබා ඇත.

මෙම බහුදින යාත්‍රාව නැවත ගොඩට පැමිණි පසු ශෙහාන් නිවසට ගොස් මේ බව මවට පවසා ඇති අතර ඇය ශෙහාන්ව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණි. ඇය පවසන ආකාරයට ශෙහාන්ගේ කට දෙපසද ඉරා තිබී ඇත.

ශෙහාන් පොලීසියට කට උත්තර ලබා දී ඇත්තේ ඔහුව අපයෝජනයටද ලක්වු බව සඳහන් කර බව පොලීසිය පවසයි.

මෙම සිද්ධීයේදි ඇතැම් මාධ්‍ය ඉතා සංයමයෙන් යුතුව පුවත වාර්තා කළ අතර තවත් මාධ්‍ය කිහිපයක් මේ දරුවාව නැවත වරක් අපයෝජනයට ලක් කර තිබුණි.

දරුවෙකු දුෂණයට හෝ මොනයම් හිංසාවකට ලක්ව ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ ඡායාරූපය පළ කිරීම මාධ්‍ය ආචාරධර්ම වලට පටහැනිය. එසේ පළ කරන්නේ නම් මුහුණ බොඳ කරනු ලබයි. මන්ද මේ දරුවා නැවත සමාජ ගත විය යුතුය. පුවත්පත්  පැමිණිලි කොමිසම ඇත්තේ මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටය. නමුත් අද ඉන් එවන් විමර්ශනයන් සිදුවනවාද යන්න සැක සහිතය. ඔවුන් මෙවන් පුවත්පත් වලට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇත්නම් අද මේ පුවත්පත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නැත.

-ශානිකා-

Social Sharing
නවතම