අද සතුටු දවසක්…!

මට තාම එදවස මතකයි. ඒ මතකය මැරෙනකම් තියේවි. මොකද්ද කරුමයකට මම එදා රැය පහන් කලේ මීගමුවේ. මීගමුව කීවට මීගමුව කිබුලපිටිය දිවුලපිටිය අතර ගමක් ඒක. කටුවාපිටිය අතදිග දුර. ඉතිං මම මිත්‍රයා ගෙ ගෙදර ඉදලා දිවුලපිටිය පාරට ඇවිදන් එනවා කොළඹ ගාටන්න. එකපාරටම ඩෝන් අමුතු සද්දයක්. ගනන් ගත්තෙ නෑ ටිකක් ඉස්සරහට ගුරුපාරේ එනකොට තැන තැන මිනිස්සු රොද බැඳ බැඳ කයි. ඒත් ගනන් ගත්තේ නෑ මම. ඒත් මිනිස්සු මේ රැවුලා දිහා ටිකක් අවධානෙනුත් බලනවා. කෙළින්ම මීගමුව බස් ස්ටේෂමට ආවා. මෙන්න ටීවී එක ඉස්සරහා මිනිස්සු රොඳ බඳිනවා. ටීවී එකේ කටුවාපිටිය ගැන කොච්චිකඩේ ගැන බ්‍රේකින් නිව්ස්.

මම මගේ මීගමු මිත්‍රයාට කතාකළා. Vijandren Mutthiya. මිනිහා වෙලාවට මීගමුවේ. සුටුස් ගාලා මිනිහා මාළඟ. මම විජේ මැක්සි අපි කෙළින්ම ගියේ කටුවාපිටිය දේවස්ථානයට. මම මීඩියා අයිඩී එක පාවිච්චි කරලා ඇතුලට රිංගුවා. ඒක හිතාගන්න බෑ. ඔව් තවමත් හිතාගන්න බෑ. මිනිස්සු දේව සභා බංකු මතම සාමදානයේ සැතපිලා. සමහරුන්ගේ තුවාල පිටතට පේන්න නෑ. හරිම නිහඬව බලාගෙන ඉන්නවා. හුස්මක් වත් ගන්නේ නෑ. මම පෝන් එකෙන් පොටෝ ගත්තා. ඒවා කොහේවත් පළ කළේ නෑ. ඇත්තටම ඒවා පළ කරන්න බෑ. ඒ තරමට බලාගෙන ඉන්න අමාරුයි ඒවා.

30 අවුරුදු යුද්ධයක් තිබිලත් මෙච්චර සහාසිකත්වයක් මෙච්චර ප්‍රචණ්ඩත්වයක් මෙච්චර හද සසල කිරීමක් මම අත්විඳලා නෑ. ඔව් ඒක තමයි ඇත්ත. එක මහත විශාල සිරුරක් හිමි මනුස්සයෙක් උඩගිහිං බංකුවේ ඇන්ද උඩට වැටිලා මරණය වැළඳගෙන සිටීම තවමත් මට මතක් වෙනවා. සමහර පොඩි දරුවන් දේව මෙහෙයට සවන් දෙමින් හිටියා. හැබැයි ස්වර්ගස්ථ වෙලා. සුසුම් දේවස්ථානයේ නිරුවත් වහළය මතින් අහසට නැඟලා තිබුණා.

හරිම අමාරුයි. මම කොළඹ යන එක පැත්තකට වීසිකරලා කලින් දවසේ රාත්‍රිය ගතකරපු මිත්‍රයාගෙ ගෙදරට ගියා. ඒක වෙනස්ම අත්දැකීමක්. මීගමුවේ කටුවාපිටියේ රංචු ගැහිලා ඉරමූදේ නානකොට යාලුවාගෙ ගෙදරට ගොඩවීම යාලුවාට ප්‍රශ්න කන්දක් ඇතිකරාවි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. ඒත් විශාල ප්‍රශ්නයක් ඔහුගේ කර උඩට ගෙනාව ඒ සන්ධ්‍යාව. ගමේ මිනිස්සු ගෙදර වට කළා. විශාල තාප්පයේ මැද විශාල ගේට්ටුව ළඟට ආපු මිනිස්සු මගෙන් අයිඩීය ඉල්ලුවා. මගේ මුරණ්ඩුකමට මම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. අවසානයේ කටාන පොලීසිය ගෙදරට ආවා. මිනිස්සු කැති පොලු අරගෙන ගෙදර වටකරලා. මුස්ලිම් වගේ පේන රැවුලකට කරන්න පුලුවන් දේවල්. මම හිතුවා. අවසානයේ මගේ මිතුරෙක් උන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මට පිහිට වුණා. ඒ ප්‍රශ්නය එතනින් ඉවරයි. ඒත් පාස්කු ප්‍රහාරය කීවාම මට ඒක දැනෙන්නේ ඒවගේ විශාලව.

මම පහුවදා ඕක මැක්සිට විජේට නාමල්ට වගේ මගේ මීගමු මිතුරන්ට කීවා. යකෝ තෝ කෝල් එකක් දෙන්න එපැයි. අපි එනවනේ කට්ටිය. උන්ගේ ආදරණීය මිත්‍රත්වයේ සෙනේහය පාස්කු වේදනාව අස්සේ පවා ගලායමින් තිබුණේ එහෙමයි.

මේ ප්‍රහාරය වෙනකොට යහපාලනය කියලා පිස්සුවක් තමයි රටේ තිබුණේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න කොළඹ කැම්බල් පිටියේ පළවෙනි ජන රැළිය සංවිධානය කළේ අපි. මෛත්‍රීපාල ජනාධිපති වෙලා ඊටපස්සේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වුණ ආණ්ඩුව පිහිටුවන්න උදව් වුණ මැතිවරණයටත් අපි බැහැලම වැඩ කළා. ඒ මැතිවරණය වෙලාවේ නිට්ටඹුව වගේ පැත්තක තිබුණ ජනරැලියකට ගිය අපි රෑ කෑමට ගියේ හොරගොල්ල වළව්වට. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පොඩි විස්කි පානයකට සෙට් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල ගැන මාර කතා ටිකක් කිව්වා. දෙකට නැවිලා සර් කියලා ඡන්දයෙන් පැරදිලා මැදමුළනේ ජනේලේ එල්ලුන මහින්ද ට කතාකරපු මෛත්‍රීපාල ගැන කතාව තමයි ඒ කතා සාගරයේ මගේ හිත් ගත් කතාව. අපි ජනාධිපති පුටුවේ හිඳෙව්වේ මොනතරම් කාලකණිණියෙක් ද ? එහෙම හිතුන රාත්‍රියක් ඒක. පස්සේ පස්සේ කොකාගේ සුද ගැන අපිට කාගෙවත් කයි කතා ඕනී උනේ නෑ. අපිට ඒ සුද හොඳටම පේන්න ගත්තා. ඒක හොඳටම පෙනුන අවස්ථාවක් තමයි මේ පාස්කු ප්‍රහාරය…!

අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා ජනාධිපති ඇතුලු මේ පිරිස මේ ප්‍රහාරය වෙන්න දීලා බලාගෙන හිඳීම අස්සේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා කියලා. ඒ විතරක් නෙවෙයි මේ සිද්ධියේ ප්‍රධාන චූදිතයා වුණ හිටපු ජනාධිපති මෛත්‍රීපාල ට රුපියල් මිලියන 100ක වන්දියකුත් දෙන්න කියලා නියම කරලා. මේ යකා මේ රුපියල් මිලියන 100 සුටුස් ගාලා ගෙවලා දායි. ඒක නෙවෙයි කතාව. කතාව තමයි මෙහෙම හරි මේ මිනිස්සුන්ට යුක්තිය ඉටුවුණා කියන්නේ අන්න ඒක විශාල වැදගත්කමක් දරනවා. ඒකයි වැදගත්. අපිට ආයෙත් උසාවිය නීතිය විශ්වාස කරන්න හිතෙනවා. ඒකයි සතුට. ඔව් අද මට තියෙන විශේෂම සතුට ඒක. බීර හතරක් අස්සේ දියකරලා ඊටපස්සේ මෙහෙම අකුරු කරන්න තරන් සතුටක් ඒක. හිත අස්සේ හිරවෙලා තිබුණ විශාල වේදනාවක් අහසට වීසිවුණ දවසක් අද..!

මට හිතෙන්නේ දැන් ඊළඟ අදියර ක්‍රියාත්මක වෙන්න ඕනී. මෛත්‍රීපාල ඇතුලු මේ පිරිසට විරුද්ධව මිනීමැරීමට අනුබල දීම යටතේ අපරාධ නඩු පැවරිය යුතුයි. මේ කාළකණ්ණි රැල හිරගෙට දැක්කීම අස්සේ විතරයි පාස්කු වේදනාව යම් තාක් දුරකට හරි සමනය කරගන්න පුලුවන් වෙන්නේ. ඒකට සක්‍රීය පුරවැසියන් ක්‍රියාත්මක විය යුතුයි.

පොලිස්පති ධුරයට කෙල හලහලා හිටිය අමනයෙක්ටත් මේ තීන්දුව හරහා වැඩ වැරදිලා. ඒකත් විශාල සතුටක්. මෙවැනි නඩු තීන්දු ලංකාව වගේ රටක ලියවීම විශේෂයි. මොකද රාජපක්ෂ පවුල් දේශපාලනය මේ රටේ පොලීසිය විතරක් නෙවෙයි අධිකරණයත් විනාශ කරලා නටබුන් කරලා අහවරයි. ඉතිං අබසරණයි ජනතාවට..!

ඊළඟට ඔන්න දැන් මෛත්‍රීපාල ට අවශ්‍යනම් පුලුවන් පහුගිය කාලේ පුරසාරම් දොඩවපු විදිහට පාස්කු ගැන තමන් දන්න කතාව ප්‍රසිද්ධියේ කියන්න. ඔව් ඊළඟට පොලීසියට පුලුවන් ඒ ගැන ක්‍රියාත්මක වෙන්න. පාස්කු ප්‍රහාරය කියන්නේ අහසින් කඩාගෙන වැටුණ දෙයක් නෙවෙයි රාජපක්ෂ බල දේශපාලනයේ කැත අවලස්සන ඩීල් එකක් තමයි ඒක අස්සේ තියෙන්නේ. මීළඟට ඒක අනාවරණය වෙන්න ඕනී. මාවනැල්ල බුදු පිළිම කැඩීම ළඟ ඉඳලා මේක ගැන නැවත අලුතින් පරීක්ෂණ කළ යුතුයි. ඒ හරහා තරාතිරම නොසලකා වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න ඕනී. ඒකෙන් විතරයි මේ රටට ඉස්සරහට යන්න පුලුවන් වෙන්නේ…!

බලමු.. ඉතුරු දුර යමු.. පාස්කු වින්දිතයනි එකතුවෙමු..!

කේ. සංජීව
2023-01-12

 

Social Sharing
නවතම විශේෂාංග