“එයා දැන් බැඳලා”  ප්‍රසන්න ජයකොඩි ලිහලා

ප්‍රසන්නගෙයි මගෙයි හිතවත්කම දශක තුනකට ආසන්න එකක්. ඒත් ඊට වඩා වැදගත් වෙන්නේ ඔහු පළමුවරට වේදිකාවේ නිර්මාණය කරන දිගු නාට්‍යය සෙවනැලි සහ මිනිස්සු ” නැරඹීමේ භාග්‍ය ලද කෙනෙක් මම. ඊට එහා යනවනම් එම නාට්‍යයේ පෙරහුරු ද අවසාන ආලෝක පෙරහුරුව ද නැරඹූ අයෙක්මි. ඊටත් තව එහා යනවා නම් ඔහුගේ පළවෙනි දිගු ටෙලි නාට්‍ය මාලාව වන” ඉම දිය මංකඩ ” මූලික පිටපත මුලින්ම කියවූ රංචුවේ සගයෙක් වීමට මට හැකියාව තිබුණා. මා නිවැරදි නම් එම පිටපත අප කියවන විට එහි නම “හූ මිටියාවත” . පසුව එය ඉම දියමංකඩ වුණා. ඒ තුළ ඇති තවත් කාරණාවක් නම් එකල අපගේ තිබූ මිත්‍ර බැඳීම නිසා එම ටෙලි නිර්මාණයේ යම් චරිතයක් රඟපෑමේ බලාපොරොත්තු මා තුල ඇති වුනේ රැහේ එවුන්ටත් අවස්තාව දෙන්න ඕනැ යැයි ප්‍රසන්න තුල තිබූ මානව ගුනය නිසාය. මාත් නලීන් ප්‍රදීප් උඩවෙල සහෘදයන්ටත් දෙදෙනාටම ඒ බලාපොරොත්තු ඇති වී තිබුණා. ඒක කරත්තකාරයන් ගේ කතාවක්. එබැවින් වර්තමානයෙන් වසර ගණනාවකට එහා ගිය චරිත නිරූපණය සඳහා කොණ්ඩා දැමීමට වඩා කොන්ඩා වැවීමට අපගේ අදහසක් ආසාවක් තිබුණා. මා මේ කියන දෙය සියයට සියයක්ම ප්‍රසන්නගේ හිතතුල තිබුණාද, තිබුණා වුණත් ප්‍රසන්නට මතකද කියන්න මම දන්නෙ නෑ. මම කොන්ඩෙ වවන්න පටන් ගත්තේ අන්න එහෙමයි. නලීන් කොන්ඩෙ කැපුවා mama වැ ව. කෙසේ නමුත් ප්‍රසන්නගේ එකම සහ ප්‍රථම දිගු වේදිකා නාට්‍යය “සෙවනැලි සහ මිනිස්සු”. ඒවගේම ඒකාංගික ටෙලි නාට්‍යයක් කළා. ඉන්පසු ඒකාංගික මාලා නාටකයක් කලා. ඉන්පසු සිනමා නිර්මාණ ගණනාවක් කළා. ටෙලිවිෂන් නිර්මාණ ද එසේමයි.

දැන් මේ කියන්න යන්නේ මේ දිනවල සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම ITN නාලිකාවේ විකාශය වන ඔහුගේ “එයා දැන් බැඳලා” මාලා ටෙලි නාටකය ගැනයි. මේ මොහොත වන විට ටෙලි නාට්‍ය යනු අයාලේ යන කිසිදු ඉලක්කයක් නැති රූපරාමු පිළිබඳව හෝ පිටපත පිළිබඳව හෝ රංගනය පිළිබඳව හෝ එතරම් අවශ්‍යතාවයක් නැති කොටස් ගණන පමණක් වැදගත් නිෂ්පාදන පෙළක් බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. ඒ අතර උඩුගම් බලා පිහිනන නිර්මාණකරුවන් අතලොස්සක් අතර ප්‍රසන්නට හිමිවන්නේ මුල් තැනක් නොව අමුතු තැනක්. ඔහුගේ රූපරාමු සංයමය අධ්‍යක්ෂක ඥානය හරහා ප්‍රේක්ෂකයා වෙත මුදා හැරීම දැලිපිහියෙන් කිරි කනවා වැනි වැඩක්. එසේත් නොවේ නම් නූලක් දිගේ සමබරව ඇවිදන් යනවා වගේ වැඩක්. ඒකට හේතුව ටෙලිවිෂන් දහරාව තුළ හොද ටෙලි නාට්‍ය සම්මාන ලබන අතර අඩු rating ප්‍රමාණයක් ලබාගත් බවට වාර්තා වන බැවිනි. . රේටින් යනු කුමක්දැයි කියා දෙන්නට මේ වෙලාව සුදුසු නොවේ. ඒත් එය අපට ඕනෑ පරිදි හසුරුවා ගත හැකි එකක් බව මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙක් විදිහට සිටි මට අමුතු වෙන් වටහා ගන්නට උත්සාහ කළ යුතු දෙයක් නොවේ. දැන් ඒ ගැන කතා නොකර ඉමු.

ප්‍රසන්න ගේ “එයා දැන් බැඳලා” ගැන කතා කරමු. ප්‍රසන්න ලිහලා කියලා මම කිව්වේ ඔහු තමන් දිගේලි කොට ඇති ලණුවෙ දිග තමන්ට ඕනෑ පරිදි දිග ගසා ගෙන ඇති බැවිනි. එසේ නොවේ නම් එම දිගේලි කර ඇති ලණුව ඔහු ලිහා ගෙන ඇති බව වැටහේ. එතරම්ම ඔහු රූප මෙහෙයවීමේදී, කතාව පෙළ ගැස්වීමේ දී, රංගධරයන් මෙහෙයවීමේදී, විශේෂයෙන්ම දෙබස් රචනාවේදී තක්කඩියෙක් වී ඇත. ටෙලිවිෂන් එක තුළ විකාශය කිරීමේදී වාරණයට ලක් වේ යැයි අප සිතු මාතෘකාවක් ම තෝරාගැනීම පලවෙනි තක්කඩි කමයි. හතර වටේ ගෑනු ඉන්න මිනිස්සුන්ට ගනිකාවක් ගැන කතා කරනකොට මාර සදාචාරයක් ඇඟට එයි. ඒ බව දැන දැනම ප්‍රසන්න සිය පිටපත නිර්මාණය යේදී අතිශය උපක්‍රමශීලී වෙයි. එසේම ඒ චරිත තුලින් කියවෙන යම් යම් දෙබස් වාරණයට ලක් වෙතැයි සිතුනද ඔහු ගේ “රින්ගා යාමේ” උපක්‍රමය තාම කපන මණ්ඩලවලට හසුවී නැත. ඔවුන් කිසි දිනෙක එය වටහා ගන්නේද නැත. දැන් ඔවුන් එය වටහා ගත්තත් පලක් නැත
නාහෙට උඩින් ගිය වතුර කොහෙන් දිහාම මොකෝ කියන කතාව දැන් සත්‍යක් වී තිබේ.
“මනි උඹ එක වෙන්න ඉස්සෙල්ලා තව ගොඩක් ඉලක්කං තිබුණා”
එක උදාහරණයක් විතරයි. ගණිකාවක් බුදිය ගත්ත මිනිස්සු ගාන බොහෝම ලස්සනට සුද්දි ගේ හඬින් කියනවා.

කුස්සියේ උයන ගමන් ටෙලි නාට්‍යය අහපු අපේ මිනිස්සුන්ට දෙබස් නැති උනොත් ඒක කාර්මික දෝෂයක් කියල හිතෙන්නේ. ප්‍රසන්න සිය පාත්‍රායා ලවා සියුම් ලෙස අවශ්‍ය දේ අභිනයෙන් කියා දානවා.

අනිත් කාරණය තමයි commercial break දෙකක් අතර තියෙන පුංචි කාලය. මේ පුංචි කාලය තුළ දැන් ටෙලි නාට්‍යය පුරුදු වී තිබෙන්නේ එක හුස්මට දෙබස් ගොඩක් කියලා හෝ සිංදුවක් කියා හෝ නැටුමක් නටා ඊලග commercial බ්‍රේක් එකට යෑමයි. නමුත් ප්‍රසන්නගේ ආකෘතිය වන්නේ දෙබස් එකවර නොකියන දෙබස් කීමට පෙර මුහුණේ හෝ අනිකුත් ඉරියව් කියාපාන, දෙබස් කිව්වට පසුත‍් කැමරාව නළුවා හෝ නිළිය දෙස තව වෙලාවක් බලා සිටින ආකෘතියකි. මේ අර මා පෙර කී දැලිපිහියෙන් කිරි කන වැඩේට සමාන සංසිද්ධියයි. මිනිහෙක් තමන්ගේ හැඟුමක් පිට කරන ආකාරය, භාවයක් විරේචනය කරන ආකාරය ප්‍රේක්ෂකයා කොතරම් බලා සිටි ද කියා ප්‍රසන්න නොහිතා නොසිටියා නොවේ. ඔහු තම රූපරාමුවද තම රංගධරයන්ද සේම ප්‍රේක්ෂකයන් ද ඉතා ඉහළින් විශ්වාස කළා යැයි මම සිතමි.

ඒ විශ්වාසය තවම “එයා දැන් බැඳලා” තුළ ගලාගෙන යයි. පරම ප්‍රේක්ෂක අයිතිය නාට්‍යය රසවින්දනය නම් ඒ සඳහා මේ මොහොතේ වෙනස් උදාහරණයක් සපයන ප්‍රසන්න ජයකොඩි ලා අපිට තව ඕනෑ. ඊටත් වඩා ප්‍රසන්න ජයකොඩි ලා ඉවසන විද්‍යුත් නාලිකා ඕනා. ඊටත් වඩා ආතල් එකටම ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන්ට අමතරව ටෙලි නාට්‍යක් රසවිඳින ප්‍රේක්ෂකයෝ බහුතරයක් ඕනා. ඒ වනතුරු ටෙලි නාට්‍යය කලාව බලා සිටී.

“එයා දැන් බැඳලා” ඒත් තාම ටෙලි නාට්‍යය හැදිලා නෑ

වසන්ත දුග්ගන්නාරාළ
උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
අවකාශය