හිතක මතක

– කරුණාරත්න අමරසිංහ –

නරත්වං දුර්ලභං ලෝකේ
විද්‍යා තත්‍ර සුදුර්ලභා
කවිත්වං දුර්ලභං ලෝකෙ
ශක්තිස්තත්‍ර සුදුර්ලභා
(ආග්නේය පුරාණය)

මිනිසත් බව ලොව දුලබය
ඥානය වැඩියෙන් දුලබය
ලෝකයෙ කවිකම දුලබය.
කවි ශක්තිය අති දුලබය

මේ ප්‍රකාශය විචාරක්ෂමයෙකුගේ විමතියට හේතු වෙනු නිසැකය. ඒ ඇයි?කෙනෙකුට කවි ලිවිය හැක්කේ කවි ශක්තිය ඔහු සතුව පවත්නා නිසා නොවේදැයි යන සාධාරණ පැනය ඔහු තුළ පැන නැගීම නොවැළකිය හැකි හෙයිනි. මෙහි ඇත්ත නැත්ත කෙසේ විමසමුද?

කවියන් දෙවර්ගයක් සිටිතියි සිතමි. ඉන් එක් වර්ගයක් කවි ලියන ගතානුගතිකයෝය. සංස්කෘත කාව්‍ය විචාරකයන් ඔවුන් හඳුන්වන්නේ ‘ගඩ්ඩරිකා ප්‍රවාහ’ යන පදයෙනි. සකු බසින් බැටළුවා හැඳින්වෙන්නේ ‘ගඩ්ඩර’ යන නමිනි. ‘ගඩ්ඩරිකා’ යනු බැටළු රැළයි. එකා පස්සේ එකා යෑම බැටළුවන්ගේ සිරිතය. එහෙයින් ‘ගඩ්ඩරිකා ප්‍රවාහ’ යන්න සංස්කෘත කාව්‍ය විචාරකයන් නිපදවා ඇත්තේ අන්ධානුකරණයේ යෙදෙන කවියන් අවඥාවට ලක් කරන කර්කශ සෝපහාස වහරක් වශයෙනි.

අනික් වර්ගයේ කවියන් , ලියන්නන් වාලේ කවි ලියන ගඩ්ඩරිකා ප්‍රවාහයක් නොවෙතියි සිතමි. ඔවුහු නිසර්ග සිද්ධ කවි ශක්තියක් ඇතිවම කාව්‍ය කරණයෙහි නිරතයෝය. එසේ නම් මේ දෙවර්ගය වෙන් කොට හඳුනාගත හැකි මාන දණ්ඩක් තිබිය යුතු නොවේද? එවැන්නකින් තොරව මේ කවිකාර භේදය පිළිබඳ නියත නිශ්චයකට එළඹිය හැක්කේ කෙසේද? ප්‍රස්තුත ප්‍රශ්නය අරභයා ස්වාධීන සමාලෝචනයක් කිරීම ප්‍රස්තෝචිත වූත් කාලෝචිත වූත් කාර්යක් බව මට හැඟී ගියේ මගේ සන්මිත්‍ර ආනන්ද . කේ . විජයතුංගයන් (බණ්ඩාර . කේ . විජේතුංග)බොහෝ රසික ජනයා විසින් අප්‍රමාණ ප්‍රශංසා වර්ෂාවන්ගෙන් නහවා ලන උත්කර්ෂවත් විලාසය දැකීමෙනි. එය වූකලී ඔහු කෙරෙහි උපන් භක්ති භාරාවනත චිත්තයෙන්ම කෙරෙන්නක් බැව් නිසැකය. අපගෙන් සදහටම වෙන්ව ගොස් වසර විසි හතරකට පසුවත් මෙසේ ඔහු නොසිඳුණු බැති සිතින් රසික ඇගයුමට හා පැසසුමට ලක් වන්නේ ඇයි? මීට පිළිතුරු සෙවීම ඉහත කී කවිකාර භේදය නිරවුල්ව වටහා ගැනීමෙහි ලා ඉඳුරා රුකුලක් වෙතියි හඟිමි.

අපගේ සමකාලීන සාහිත්‍ය කලා නිර්මාතෲන් අතර ආනන්ද . කේ . විජයතුංගයෝ බහුවිධ උත්පාදක කුසලතාවන්ගෙන් සුසජ්ජිත වූවෙකි. වත්මන් පරපුර අතර ඔහු ප්‍රකටව සිටින්නේ බණ්ඩාර . කේ . විජේතුංග යනුවෙනි. මිය පරලොව යන තෙක්ම මා ඔහු ඇමතුවේ ‘ආනන්ද’ යන හෘදයංගම නාමයෙනි. බොරැල්ලේ කනත්තේ පැවති ඔහුගේ අවමංගල්‍යයේදී එහි සභාව මෙහෙයවූ ශූර මාධ්‍ය සූරී අමරබන්දු රූපසිංහයන් ගුණ කථන සඳහා මට හා සුගතපාල . ද . සිල්වාණන්ට ඇරයුම් කළේ බණ්ඩාරයන්ට ‘ආනන්ද’ නමින් ඇමතූ අත්‍යන්ත කුලුපගයන් ලෙස අප හඳුන්වමිනි.

ඔහුගේ සම්පූර්ණ නාමය සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජයතුංගය. (විජේතුංග නොවේ.) කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය අවධියේදීම ඔහු නමෝවිත්තියෙන් සාහිත්‍ය කලා ලෝකයට අත පොත් තැබුවේ ආනන්ද . කේ . විජයතුංග යන නාමයද නිපදවා ගනිමිනි.

මීට සමාන රූපී නමක් හිමිව පෙර අපර දෙදිගම විද්වත් ජන ප්‍රණාමයට පාත්‍ර වූ සෞන්දර්ය කලා ප්‍රාඥයෙක් එකල ලක්දිව පහළව සිටියේය. ඔහු යාපනයේ ජන්ම ලාභය ලැබූ ද්‍රවිඩ බුද්ධිමතෙකි. සිංහලයාගේ කලා නිර්මාණවල අගය ලොවට හෙළි කිරීමේ ලා ඔහු දැරූ ප්‍රශස්ත ප්‍රයත්නය අද්විතීය වෙයි. ඔහුගේ Medieval Sinhalese Art (මධ්‍ය කාලීන සිංහල කලා) කෘතිය ඊට ප්‍රත්‍යක්ෂ සාක්ෂියකි. ඔහු වූකලී ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි මහාශයෝය. එහෙත් ඔහු ප්‍රකටව සිටියේ  ආනන්ද . කේ . කුමාරස්වාමි යන කීර්තිමත් නමිනි. ආනන්ද . කේ . විජයතුංග නාමය ඒ ඇසුරින් තනා ගත්තක් යැයි සිතමි. උදාර පුරුෂයෙකුගේ කීර්තිමත් නාමයේ සම්පර්කය ඔහුගේ අගය දත්තෙකුට මිස නොදත්තෙකුට කෙසේ නම් රුචි විය හැකිද ! එහෙත් ආනන්දයෙනි , ලංකා කලා භවන පිහිටි පාර හැඳින්වීම සඳහා යොදා තිබුණු ‘ආනන්ද කුමාරස්වාමි මාවත’ නමැති අත්‍යන්ත අන්වර්ථ උපහාර නාම පුවරුව ගලවා ලූ අපරාධය සියැසින් දකින්නට ඔබ නොසිටීම කෙතරම් අස්වැසිල්ලක්ද !

ආනන්දයන් මගේ කුලුපග මිතුරෙක් වූයේ ශිෂ්‍ය කාලයේ පටන්මය. ඔහුද එදා අපගේ නිල නොලත් සප්ත මිත්‍ර සංසදයේ යාවජීව සාමාජිකයෙකි. එම සංසදය වූකලී සාහිත්‍ය කලාවට අදාළ උත්පාදන ආස්වාදන පිපාසයෙන් පරිපීඩිත චරිත සප්තකයක සමවායක් වැන්න. සුනන්ද මහේන්ද්‍ර , ආනන්ද .කේ . විජයතුංග ,අජන්තා රණසිංහ ,අශෝක කොළඹගේ , දයාරත්න රණතුංග , ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සහ ‘ම’ ශබ්ද කාරකයා එකී පිපාසිතයෝ වූහ. අප සත් දෙනට එදා පෙර අපර දෙදිගම බොහෝ සාහිත්‍යකරුවන් මුණගැසුණා වූත් ඔවුන්ගේ පොත පත ගැන අප එකිනෙකා වාද විවාද කළා වූත් ‍ ප්‍රශාන්ත සාහිත්‍ය සන්ථාගාරය වූයේ එකල නුගේගොඩ පල්ලිය පාරේ පිහිටි Lotus පොත් හලය.

සප්ත මිත්‍රයන්ගෙන් චතුර්ථයක් හුදු දිවාචරයෝය. එහෙත් ඉන් ත්‍රිත්වයක් නිත්‍ය නිශාචරයෝ වූහ.ඒ වූකලී අජන්තා , ආනන්ද හා ‘ම’ ශබ්ද කාරකයාය. දිනෙක තිදෙනාට අජන්තා විසූ ‘ශ්‍රාවස්ති’ ගෙදර ඉස්තෝප්පු කාමරයේ රැය පහන් වෙයි. තව දිනෙක තිදෙනාට රැය පහන් වන්නේ ආනන්දගේ බෝඩිං කාමරයේය. තවත් දිනෙක තිදෙනාම මගේ ගෙදර ඉස්තෝප්පු කාමරයේ රැය පහන් කරන සද්ධිවිහාරිකයෝ වීමු. කාව්‍ය ශාස්ත්‍ර විනෝදාස්වාදයට අපමණ නිදහස ලත් ඒ මනරම් කල දවස යළි වඩින්නේ නම්!

ආනන්ද . කේ . විජයතුංගයන් සහජයෙන් උරුම කොට සිටි බහුවිධ උත්පාදක ශක්තිය විචාරවත් ශික්ෂණයෙන් යුතුව විකසිත වී ආවේ මේ සමයේ යැයි සිතමි. එකල ඔහු බැඳි කවි , කෙටි කතා , විශ්ව සාහිත්‍යය ආශ්‍රයෙන් ඔහු ලියූ ගුවන් විදුලි නාට්‍ය (එකල ඔහු ගුවන් විදුලි නාට්‍ය රංගන ශිල්පියෙකු හෝ ගුවන්විදුලි නිවේදකයෙකු ලෙස කලඑළියට පැමිණ නොසිටියේය.) හා ඔහු ඇඳි චිත්‍ර ආදිය මගින් එය මනාව පිළිබිඹු වුණි. ආනන්දයන් ශිෂ්‍ය සමයේ සිටම සිංහල ඉංග්‍රීසි දෙබසටම අයත් සම්භාව්‍ය සාහිත්‍යය විෂයෙහි ලා අකාල පරිණතව සිටියෙකි. පසු කලෙක ඔහුගෙන් ප්‍රකාශයට පත් කථන මාධූර්යට මෙන්ම රචන වෛචිත්‍රයටද එය ආවේශයක් , ආභාසයක් පමණක් නොව ආලෝකයක්ද වූ බැව් නිසැකය.

කාලයාගේ ඇවෑමෙන් සප්ත මිත්‍ර සංසදයට අයත් සප්තකයම තම උත්පාදන , ආස්වාදන පිපාස සන්තර්පණය සඳහා තෝරා ගත් අමා විල වූයේ ලංකා ගුවන් විදුලියෙහි ළමා පිටියයි. එකල ගුවන්විදුලි ළමා පිටිය වූකලී සාහිත්‍යය , සංගීතය , නාට්‍යය ආදි සෞන්දර්ය කලා විෂයෙහි උපනිශ්‍රය ඇති නෑඹුල් අංකුරයන් සතු උත්පාදන හා ආස්වාදන ශක්තිය සුහුඹුල්ව වැඩීමට නිරන්තර පෝෂණය දුන් උත්තම තෝතැන්නයි. ගුවන්විදුලියට ආ ආනන්ද . කේ . විජයතුංගයෝ කලකට පසු බණ්ඩාර . කේ . විජේතුංග නාමයෙන් පුනරුත්පත්තිය ලදහ. උපතින්ම බහුවිධ සහජ කෞශල්‍යය ධනයෙන් ආඪ්ය වූ ප්‍රෞඪ ආනන්දයන් තමා එතෙක් පැමිණි ස්වතන්ත්‍ර ගමන් මගේ සාභිමුඛ දිශාවෙන් පරාංමුඛව පරතන්ත්‍ර මගක ගමන් අරඹනු අපි දුටුවෙමු. ඉන් පසු ඔහුගේ ගීතය සහ නිවේදනය සසරණ වුණද කවිය , චිත්‍රය , කෙටිකතාව හා නාට්‍යය අසරණ විය. අවසානයේ තම අවසාන සුසුම හෙළන තුරුම ආනන්දයන් බද්ධ ප්‍රේමයෙන් වැලඳ ගෙන සිටියේ ගීතය හා ප්‍රචාරක කලාව පමණි.

තම ආත්ම කම්පනයෙන් බිහි වුණු ස්වතන්ත්‍ර ගී අතළොස්ස හැරෙන්නට ඔහු අතින් බහුල ලෙස ගී ලියැවී ඇත්තේ චිත්‍රපටි වෙනුවෙන් පරතන්ත්‍රවය. එහෙත් ඔහු ඒ එක ගීයකුදු ‘ගී සිළුමිණි’ හැටියට පලිප්පු දමා තම මුවින්ම වර්ණනා කරනු මා කිසි දිනක අසා නැත. ඔහු ලියූ ආත්මානුභූති බද්ධ ගී අතරිනුත් එකක් හැර අන් එකකුදු එසේ වර්ණනා කරනු මම නෑසුවෙමි. බලවත් හැඟීමෙන් යුතුව මා සමග බින්දු මාත්‍ර වශයෙන් වුව අගය කරමින් කතා කිරීමට ඔහුගේ ස්නේහාර්ද්‍ර සිත පෙලඹවූ එකම ගීය ඔහු ලියා තිබුණේ තම එකම දියණිය වෙනුවෙනි. කෙසේ වුවද ඔහු ලියූ චිත්‍රපටි ගීතත් නැතක් ප්‍රචාරක පාඨත් කෙරෙන් වුව මා දකින්නේ ආනන්දයන්ගේ අනාථව අසරණව ගිය දුර්ලභ ගණයේ කවි ශක්තියම මිස අනිකක් නොවේ. ඔහුගේ යටි සිතට තම ප්‍රතිභාන ව්‍යසනය ඉවෙන් මෙන් හැඟෙන්නට ඇතැයි මම අනුමාන කරමි. තමාම ඒවා අලජ්ජී ගර්වයෙන් වර්ණනා කරන්නට ඔහු තුන් සිතකින්වත් නොසිතූ හෙයිනි.

ආනන්දයෝ අත්තුක්කංසනය ( තමාම තමා හුවා දක්වා ගැනීම) නොදත්තෙකි. පරවම්භනයෙහි (අනිකා හෙළා දැකීම) නොඇලුණෙකි. අත්‍යන්ත අනතිමානියෝය. ඔහුගේ ‘මම’ කෙතරම් පුංචි දැයි මනාව වටහා දෙන අප්‍රකට අත්දැකීමක් මම ඔබට හෙළි කරනු කැමැත්තෙමි. රාජ්‍ය හා වෙනත් සම්මානවලින් මෙන්ම නොයෙක් කිත් පැසසුම්වලින් ‘මම’ පුම්බා ගෙන පාරම්බාන ඇතැම් අපරිණත අල්පශ්‍රැත මිනිසුන්ගේ නයනෝන්මීලනයට එය හේතු වෙතියි සිතන හෙයිනි.

ආනන්දගේ ප්‍රිය සමාගමය පතා එක්තරා දිනක මමත් මගේ ළෙන්ගතු මිත්‍ර කීර්තිමත් නාට්‍යවේදී සුගතපාල ද සිල්වාණෝත් එකල ඔහු පදිංචි වී සිටි මහරගම පමුණුවේ ඔහුගේ ගෙදරට ගියෙමු. ඔහු සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටින අතරතුර සුගත් ආනන්දයන්ගේ ගෙට ඇතුළු වන මහ දොර පාමුලට එක් වරම මගේ ඇස යොමු කරවා සිටියේය. මම ඒ දෙස බැලීමි. එවේලේ අප දෙදෙනාටම සිනා පහළ වූයේ ඉබේය.

“මොකද උඹල හිනා වෙන්නෙ?” ආනන්ද ඇසුවේ කුහුලිනි. සුගත් දොර පා මුලට අත දිගු කළේය එදෙස බැලූ ආනන්දයෝ තමාට ආවේණික අට්ටහාසය නගමින් මෙසේ පැවසූහ. “මචං ඕකෙන් ඔහොම හරි ප්‍රයෝජනයක් ගත්තෙ නැත්තං අපරාදෙනෙ!”

එදා ආනන්දයන් තම ගෙදර මහ දොර සුළඟට වැසෙනු වළකනු පිණිස එහි පා මුල අඩයට තබා තිබුණේ හොඳම ගීත රචකයා වෙනුවෙන් තමාට පිරිනැමුණු ජනාධිපති සම්මාන සංකේතය වන බර පිත්තල රූකඩය.ආනන්දයන්ගේ අවමඟුල් සභාවෙහිදී ගුණ කථනය කළ සුගත් මෙය රැස්ව සිටි ජනකායට කී හැටි මට තවමත් මතකය. තම රාජ්‍ය සම්මාන , ආචාර්ය උපාධි ආදිය තමා විසින්ම වර්ණනා කර ගැනීමේ අත්තුක්කංසනයෙන් පරිපීඩිත ඇතැමුන් දකින කල ආනන්දයන්ගේ තත් උත්ප්‍රාසාත්මක(Ironical) ක්‍රියාව යළි යළි සිහියට නැඟෙනු මම් කෙසේ වළකම්ද?

ආනන්දයන්ගේ ගීතත් ඔහු ලියූ අතිශය ජනප්‍රිය චිත්‍රපටි ප්‍රචාරක පාඨත් පොදු ජන මතකයේ පවා තවමත් අලුත්ව පවතින්නේ ඇයි? ඒවා ප්‍රකාශ කළ ඔහුගේ ගම්භිර ස්වරය ඔවුන්ගේ සිත් තුළ නිබඳ නිනද වන්නේ ඇයි? උගත් නූගත් නන් දනන් අතර ඔහු එක සේ ඇගැයුමට පැසැසුමට වැනුමට ලක් වන්නේ ඇයි? කට වහරේදී සාමාන්‍ය ජනයාගේ තුඩ තුඩ රැඳෙන අප ශබ්ද කිසිවක් ඒ එක ගීයෙක්හිදු ප්‍රචාරක පාඨයෙක්හිදු යෙදී නැත. ඇත්තේ සම්භාව්‍ය කාව්‍ය ව්‍යවහාරයේ එන රමණීය වදන් හා යෙදුම් පමණි.

අප ශබ්ද යනු කලින් කලට කතා බහට ඇතුළු වන තාවකාලික යෙදුම්ය. ඒවා කලක් පැතිර පැවතී ඉබේම අතුරුදහන්ව යයි. ‘කොට උඩ යනවා’ , ‘හොද්ද බොර වෙනවා’ වැනි අතීත යෙදුම් නිදසුන් කොට දැක්විය හැකිය. අද කට වහරේ මාධ්‍ය වහරේ පමණක් නොව නවකතා , කෙටිකතා මෙන්ම කවි හා ගී වහරේ පවා සුලබව යෙදෙන ආතල් , ෆන් , පට්ට වැනි යෙදුම්ද එසේම ටික කලකට පසු ඉබේම ඉවත්ව ගොස් නව අප ශබ්ද විශේෂයක් කට වහරට එනු කාට නම් වැළකිය හැකිද? බැවහර බසෙහි සොබාව එසේමැ නො? සාහිත්‍ය රසය නිපදවීමේදී එවැනි අප ශබ්දයන් ඖචිත්‍යය සලකමින් මිස බාල ජනප්‍රියත්ව කාමයෙන් , පද හරඹ ගර්වයෙන් , ප්‍රශංසා ලෝභයෙන් අන්ධව වහරට ගැනීම තම වාග් දාරිද්‍රය මෙන්ම අල්පශ්‍රැත භාවයද ඉඳුරා ප්‍රකට කරන අඩයාලමක් මිස අන් කවරක්ද?

පෙර සඳහන් කළ පරිදි ආනන්දයන් විසින් කට වහරේ එන එකද අප ශබ්දයකින් තොරව හුදු සම්භාව්‍ය කාව්‍ය වහරට අයත් වූ සුශබ්ද භාවිතයෙන්ම රචිත සිනමා ප්‍රචාරක පාඨ ඇසූ සාමාන්‍ය ජනතාව ඉන් කුල්මත්ව බමරුන් මෙන් රොද බැඳ සිනමා හල් කරා ඇදී ගියේ ඇයි?

ආනන්දයන්ගේ සිනමා ප්‍රචාරක පාඨවලින් තෝරා ගත් නිදසුන් කීපයකි මේ.

● ළඳුනි මට සමා වුව මැනව. මා ඔබට ද්‍රෝහි වුණා නොවේ. පියෙක් නැති දරුවෙකුට පියෙක් වූවා පමණි.

● ඔබත් මාත් උපදින්නේ එකම මුහුදක. ඔබත් මාත් මිය යන්නේ එකම වෙරළක.

● ඔබම මාද විය. මාද ඔබම විය.

● ඔවුන් දෙදෙන එක් කළේද සංගීතයයි. ඔවුන් දෙදෙන වෙන් කළේද සංගීතයයි.

● එක් වැසි බර අඳුරු රැයක් තෙක් ඇය පිවිතුරු වතු සුදු මලක්.

● ගැහැනියකගේ ඇතුළු හද මැදුර වෙත කෙරෙන ප්‍රේමයේ පූජා චාරිකාව.

● යුවතියක් ජීවිතයේ එක් වරක්
පමණක් යන අති පරිශුද්ධ ගමන.

● පිරිමින් දහසක් ඉදිරියේ නිර්වස්ත්‍ර කරන ලද ගැහැනියකගේ කතාව.

● ඔබේ අතට රන් මුදුවක්. මගේ දෑතට විලංගුවක්.

● හද බැඳි විකසිත ආදරයේ තේමා ගීතය.

ආනන්දයන්ගේ ජීවිතය හා කලාව ගැන නොඇසූ විරූවන් කිසිවෙකු මෙම පාඨාවලිය සිනමා ප්‍රචාරක දැන්වීම් පෙළක් යැයි සිහිනෙනුදු නොසිතනු ඇත. ඒවා කිසියම් සාහිත්‍ය කෘතියකින් උපුටා ගත් වැකි පෙළක් ලෙස ඔවුන්ට හැඟී ගිය හොත් එය කවර අරුමයක්ද! සංස්කෘත කාව්‍ය විචාර ග්‍රන්ථයක් වන ‘සාහිත්‍ය දර්පණ’ කර්තෘ විශ්වනාථ කවිරාජයන්ගේ බස සබවසක්ම නොවේද?

‘වාක්‍යං රසාත්මකං කාව්‍යම්’
(රසවත් වැකිය කවියකි.

‘රස ගංගාධර’ කර්තෘ ජගන්නාථයෝද කවිරාජ මතය සමර්ථනය කරති.

‘රමණීයාර්ථ ප්‍රතිපාදක: ශබ්ද: කාව්‍යම්’
(රමණීය අර්ථ උපදවන්නා වූ ශබ්දය කාව්‍යය වේ.)

මේ ලිපිය මුලදී මා ඉස්මතු කොට දැක්වූ කවිකාර භේදය සලකා බැලීමට ආනන්දයන්ගේ ගීත සාහිත්‍යය මෙන්ම ‍ ප්‍රචාරක පාඨ සාහිත්‍යයද එක සේ වැදගත් වෙතියි සිතමි.

ගතෝස්තමර්කෝ භාතීන්දූර්
යාන්ති වාසාය පක්ෂිණ:
ඉත්‍යේවමාදි කිං කාව්‍යම්
වාර්තාමේනාම් ප්‍රචක්ෂතේ
(භාමහ- කාව්‍යාලංකාර’ 1-5)

හිරු බැස සඳ බැබළෙන්නේ
පක්සින් නිවසට යන්නේ
මේවා කවි නොම වන්නේ
වාර්තාය පවසන්නේ

බොහෝ කවියෝ මෙවැනි වාර්තා කවියෝය. හුදු අනුකාරකයෝය. ගඩ්ඩරිකා ප්‍රවාහයට අයත් වන්නෝ ඔවුහුමය. ඔවුන්ට ඇත්තේ හුදු කවිකම පමණි ඔවුන්ගේ කවි තුළ නොඇසූ විරූ නුදුටු විරූ කිසිවක් නැත. එහෙයින් ඒවායේ අපූර්වත්වයක්(originality)නැත.
ඔවුන් ප්‍රතිභා හීනයන් ලෙස සැලකෙන්නේ එහෙයිනි.
කීයේ මැ නො?

‘අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රඥා
ප්‍රතිභා’
(අභිනවගුප්ත පාද – ධ්වන්‍යාලෝක
ලෝචන)

(‘ප්‍රතිභා’ යනු නොඇසූ විරූ , නොදුටු විරූ , නොවූ විරූ , අලුත්ම අලුත් අමුතුම අමුතු (original) වස්තුවක් නිර්මාණය කිරීමේ ශක්තිය ලබා දෙන ප්‍රඥාවයි.) කවි ශක්තිය ඇති කවියෝද දෙවර්ගයකි. ඉන් එක් වර්ගයක් අපූර්ව වස්තු නිර්මාණක්ෂමයෝය.එනම් නොවූ විරූ දෙයක් අලුතෙන් මැවීමෙහි සමත්හුය. අනික් වර්ගය ඇසූ විරූ දෙයක් නොඇසූ විරූ අලුත් අයුරකින් කීමෙහි සූරයෝය. මේ ඊට නිදසුන්ය. මහා කවි රබීන්ද්‍රනාථ ඨකූරයෝ තම මිත්‍රයෙකු සමග ටාජ්මහල් මන්දිරය නැරඹීමට ගියහ. ඔහු පාෂාණභූතව තත් මන්දිරය දෙසට ඇස දල්වා හිඳියි. මිතුරු තුමෝ මෙසේ අසති.

“My dear great poet what do you feel when you behold this great monument of eternal love.”
(මා ප්‍රිය ශ්‍රේෂ්ඨ කිවිඳුනි! සදාතන ප්‍රේමය පිළිබඳ මේ මහා ස්මාරකය දෙස බලා සිටින කල්හි ඔබ සිත්හි කිනම් හැඟුමක් ජනිත වේද?)

ඨකූරයෝ මුවින් නොබැණ  බලාගත් වනම හිඳිති. මිතුරු තුමෝ තෙවරක්ම එකම පැනය නඟති. කිවිඳාණන්ගේ මුවින් සන්සුන් තැන්පත් සරින් මේ වදන්හු මිදුණහ.
“A tear drop of love on the cheek of time.”(කාලයේ කොපුල මත වතළ ප්‍රේමයේ කඳුළු බිඳක්.)

මෙය අප කිසි දා නොඇසූ විරූ අලුත් කියමනක් නොවේද ? කවි ශක්තිය ඇත්තෙකුට මිස හුදු කවිකම පමණක් ඇත්තෙකුට මෙවැනි නිර්මාණාත්මක කියමනක් කෙසේ නම් පැවසිය හැකි වේද? දෙවැනි පැරකුම්බා රජුගේ කුස දා ‘කව්සිළුමිණ’ කාව්‍යයේ කුස වලපෙහි මේ ගීය හමුවෙයි.

“කෙසෙද දනිති දැන් සරතැස ඔහු
තමාගේ
වළඟට පින් පියවුරෙන් දුවනින්
දඟට දුක් දා”
(‘කව් සිළුමිණ’ -12 සග – 553 ගීය.)

“පුන් පියයුරු බරින් ඇයගෙම
සිහිනිඟට
පුළුලුකුලෙහි බරින් ඇයගෙම
දඟ යුගට
දුක් දෙන පබවතගෙ ළය නොසැලෙන කලට
කෙලෙස සැලෙද ඒ ළය මවිඳින
දුකට”

“පිරුණු පියවුරෙන් තම ඉඟටියටද
උකුළින් තම කෙණ්ඩා දෙකටද දුක් දෙන්නාවූ පබවතිය දැන් මා විඳින්නාවූ වෙහෙස (දුක) කෙසේ දනිත්ද?”
(‘කව්සිළුමිණි’ ගීයේ පදාර්ථය.)

ළඳුන් දෙතන් පිරිපුන්ය. බරය. උකුළු තල පුළුල්ය. බරය. කවුරු නොදනිත්ද? එහෙත් කවියෝ වෙහෙස නොබලාම එයම පවසති. එහෙත් මහා කවි දඹදෙණි පැරකුම්බාවන් පබවතගේ දෙතනේ හා උකුළේ එවන් ගුණ ගැන අන් කවියන් නොකියූ විරූ අලුත් අයුරකින් පවසා ඇත්තේ කුසගේ බසිනි. ඉන් පළ වන්නේ ඔවුන්ගේ කවි ශක්තිය මිස හුදු කවිකම නොවේ.

ආනන්ද කේ විජයතුංගයන්ගේ චිත්‍රපටි ප්‍රචාරක පාඨ හුදු වාර්තා පාඨ නොවේ. ඒවා කාව්‍යමය වූත් භාවමය වූත් සිඟිති කවි චින්තා වැන්න. එකද අප ශබ්දයකින් තොරව ඒවා ලියැවී ඇත්තේ සම්භාව්‍ය කවි සමයට අයත් මට සිලිටි මුදු පදාවලියම උපයෝගී කර ගනිමිනි. එමගින් ඇසුවන් තුළ මැවූ සිත් රූ නිසා සසලව ගිය ඔවුන් අයත්නයෙන්ම සිනමා හල් වෙතට ඇදී යෑම කවර නම් අරුමයක්ද? ඒවා හුදු කවිකමක නොව කවි ශක්තියක අල්ප මාත්‍ර පල නොවේද?

මගේ සන්මිත්‍ර ආනන්ද . කේ . විජයතුංගයන් කෙතරම් කිත් පැසසුම් ලැබුවද ඔහු සතුව පැවති දුර්ලභ කවි ශක්තිය මගින් බිහි විය යුතුව තිබුණු ඒ මහා කවත් ඒ මහා සිත්තමත් ලොවට අහිමි වීම ගැන මම දිවිහිම් තෙක් ශෝක වෙමි. ඔහු අපේ බෝඩිමෙන් නොසිතූ විරූ ලෙස පිටව ගිය පසු මගේ හද දිගේ ගලා විත් පෑන් තුඩින් වගළ කවි කඳුළුයැ මේ!

පෙර දිනක උදෑසන
අපේ මේ බෝඩිමේ
මගේ සකි සඳුනි ඔබ
හමු වුණා මතක ඇත.

එසඳ ඔබ අත දිටිමි
පන්හිඳක් තෙලිතුඩක්
ලැබුණි මට මෙන් ඔබට
බෝඩිමේ එක් තැනක්.

ඔබේ පන්හිඳෙන් සකි
පටන් ගත් මහ කවකි
ඔබේ තෙලිතුඩෙන් සකි
පිරූ මහ සිත්තමකි.

ඔබේ කව බැඳෙන යුරු
සිත්තමද ඇඳෙන යුරු
බලා උන්නෙමි මම ද
බෝඩිමේ එක් තැනක.

එක්ව සකි සඳ සමග
මෙසේ කල් ගෙවන සඳ
හදිසියේ එක් දිනක්
දිටිමි දසුනක් නපුරු

ඔබේ පන්හිඳ සමග
සුරත රැඳි තෙලිතුඩද
බෝඩිමේ එක් කොනක
අසරණව වැතිර ඇත.

නොනිමි ඒ මහ කවද
නොනිමි මහ සිත්තමද
රැගත් පත්තිරු කැබලි
ඉරී විසිරී ගොසිනි.

පසු දිනක සැඳෑ කල
අපේ මේ බෝඩිමෙන්
මගේ සකි සඳුනි ඔබ
ගිය අයුරු මතක ඇත.

අපේ මේ බෝඩිමට
අපෙන් පසු එන අයට
නොදුන්නේ ඇයි එකව
එමහ සිත්තම සමග!

(1990 ජනවාරි10 දහවලැ ගෙදරදී.)
උපුටාගැනීමකි

 

Social Sharing
අවකාශය නවතම