සීමා නිර්ණ අවසන් වාර්ථාව ප්‍රමාදයි – මහින්ද දේශප්‍රිය

 

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
සභාපතිවරයා කියා සිටියේ, දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනකු උසස්වීම් ලැබීම, දිස්ත්‍රික් ලේකම්වරු සිව්දෙනකු විශ්‍රාම යාම, සංඛ්‍යාලේඛන නිලධාරීන් 17 දෙනෙකු ස්ථාන මාරු වීම, ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරීවරුන් 9 දෙනෙකු ස්ථාන මාරු වීම සහ සහකාර හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ රාජකාරි සමග කාර්ය බහුල වීම ඇතුළු හේතු හමුවේ මෙම ප්‍රමාද වීම සිදු වන බවයි.

පෙබරවාරි 28 වැනි දා වනවිට සිය කමිටුවේ අවසන් වාර්තාව රජයට භාර දිය යුතු වුවත් පවතින තත්ත්වය හමුවේ එය ලබන මාර්තු අවසානය දක්වා ප්‍රමාද වීය හැකි බව කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය.

ඔහු පවසුවේ, සිය කමිටුවේ අවසන් වාර්තාව භාරදීම සඳහා ලබා දී ඇති කාලය තවදුරටත් දීර්ඝ කරන්නැයි ලබන සතියේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවය.

සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව ප්‍රමාද වීමෙන් මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නැතැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000ක් පමණ දක්වා අඩු කිරීම මෙම කමිටුව පත් කිරීමේ එක් අරමුණක් වේ.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ජයලත් දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර් අධිකාරි, කේ. තවලිංගම් සහ අයි.ඒ හමීඩ් යන මහත්ම මහත්මීන් ය.

 

(newsfirst)

Social Sharing
නවතම