මම ජීවිතය වියදම් කරලා ජීවිතේ හමිබකරගත්තා – මහේන්ද්‍ර පෙරේරා

අලුත් උදෑසනක්.. මේ අවස්ථාව සඳහා මට ආරාධනා කළ ආචාර්ය සුරංජිත්ට ස්තූතියි. අළුත් අවුරුද්දක්, අළුත් දවසක්, අළුත් උදෑසනක්.. උසින් අඩු මාව ඔබට පේනවද දන්නේ නෑ. ඒ කොහොම උනත් මම රඟපෑම විෂය තුළ පේන්න ගොඩාක් කාලයක්.. ගොඩක් කැප කිරීම් කරපු මනුස්සයෙක් .

කලාව ගැන කතා කලාම එහි ඇති සරල කම.. කලාව කාටද කියන එක, කලාව කලාව සඳහා පමණක්ම නොවේ කියන එකයි මගේ අදහස. කලාව කලාව සඳහා වන්නේ ඔය මෙලෝ රහක් නැති බඩ පිරෙන්න කාලා දත් හාර හාර ඉන්න අයට පමණයි. නමුත් මගේ අදහස කලාව ජනතාව සඳහා විය යුතුය යන්නයි.

රසවින්ඳනය හරි වැදගත් කාරණයක්. අද වෙනකොට අපේ රටේ රසවින්ඳනය කියන එක අගය අඩු වේගෙන යන බවක් පේනවා. රසවින්ඳනය ගැන දන්න පාලකයොත් නෑ. ඒ ගොල්ලන්ට සිංදුත් වරදිනවා. ඉතිං එහෙම රස වින්ඳනයක් නැති පිරිසක් පාලනයේ සිටින විට අපට ගොඩක් වෙහෙස වීමට සිදුවෙනවා සමාජය දැනුවත් කිරීමට. ඊළඟ පරම්පරම්පරාව දැනුවත් කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්.

මම කලාව තෝරා ගත්තේ අහම්බයක් ලෙස නොවේ. මම නළුවෙක් වුනෙත් අහම්බයක් ලෙස නොවේ. පුංචි කාලේ ඉඳලා මගේ හිතේ නළුවෙක් වීමේ අවශ්‍යතාවය තිබුනා. නමුත් මට තිබුන එකම සුදුසුකම කැරලි කොන්ඩය පමණයි. උස, සුදු ආදී වූ කිසිඳු සුදුසුකමක් මට තිබුනේ නෑ. නමුත් මම මේක විෂයක් හැටියට තෝරා ගෙන හදාරන්න පටන් ගත්තා. මේ පිළිබඳව කරුණු සොයා යන්න පටංගත්තා. ඒ සොයා යෑමේදී තමයි ප්‍රසන්න ජයකොඩි මාව සොයා ගත්තේ. ඇත්තටම ඒ සොයා යෑමේදී මට ලැබුනේ රඟපෑම විතරක් නොවේ. ඊට වඩා විශාල දේවල් මට හමු වුනා. ස්වභාවධර්මය හම්බ වුනා. මා උපතින් නාගරිකයෙක් නමුත් සමාජය හැම ස්ථරයකම මම ජීවත්වෙලා තියෙනවා.

මට පුළුවන් හිල්ටන් එකට ගිහින් බෝල්රූම් ඩාන්ස් එකක්, ජැයික් ඩාන්ස් එකක් හරි දාන්න, ඒ වගේම මට පුළුවන් මුඩුක්කුවක ගිහිං ජීවත් වන්න. ඕන නං කංසා ඔතන්න වුනත් පුළුවන්. මං ජීවිතේ වියදම් කරා ජීවිතේ හැදෑරීමට. රඟපෑම ජීවිතයේම විෂයක් විදිහට හැදෑරීමට.. සොයා යෑමට මට හැකි වුනා. මම ජීවිතය වියදම් කරලා ජීවිතේ හමිබකරගත්තා. නැත්නම් ප්‍රසන්න ජයකොඩි වගේ අධ්‍යක්ෂවරයෙකුගේ කැමරාවක් ඉස්සරහට ඇවිත් මට රඟපාන්න හම්බවෙන්න නෑ මොනම විදියකට වත්.. ඔහු පුදුමාකාර දේවල් කැමරාව ඉදිරිපස හිතනවා. ප්‍රසන්න ( ජයකොඩි) දන්නවා හැඟීම් දා ගත්තට පස්සේ කොහොමද ඒ හැඟීම් වලට නාඩි වටිටලා චරිතයක් එලියට ගන්නේ කොහොමද කියලා. ඒ තුළ ඇති අභියෝගය නැත්නම් විශේෂ කාරණය නම් මේ සියල්ල කලයුත්තේ මේ ශරීර කූඩුවෙන් පමණි.

මගේ උස අඩි පහයි අඟල් තුනයි. නමුත් විෂය හැදෑරීම තුළ විශාල ලෝකයක් මට සොයාගත හැකිවුනා. මං රඟපෑම විෂය අවංකවම හැදෑරුවා. ඒ තුළ අවංකව සොයා ගියා. විශාල කැපවීමක් කරා. විශාල අත්දැකීම් ලැබුවා. මේ හැම දේම විෂය තුළ ඉගෙන ගත්තා. ඒ වගේම විශේෂ දෙයක් තියෙනවා මේ කිසිම දෙයකදී මා ස්වභාවධර්මයට එරෙහි වූයේ නැත. මම හැමවිටම සොබාදහම සමග කටයුතු කරමි. මං හරියට පැහැදිලිව හුස්ම ගන්නවා, ජීවිතයේ ඕන තරම් විකාර නටලා, නොයෙක් විදියේ දේවල් කරලා ඇත. ඒක මට විවිධ ආකාරයේ චරිත රඟපාන්න මහ වටිනා කමක් ප්‍රයෝජනයක් ලැබුණා. මට මොන විදියේ චරිතයක් ලැබුනත් ඒතුල සොයාගෙන ගොස් චරිතය මවාගන්න පුළුවන්කම ඇති උනේ මේ නිසයි.

අරිසෙන් අහුබුදු ශූරීන්, ගාමිණී ෆොන්සේකා වැන්නවුන් මා හට පවසා ඇත්තේ සමාජයට දැනෙන යහපත් මිනිසෙක් හැටියට ජීවත් වෙන්න කියලා. මා ඒ කරුණ ගැන හැමවිටම සැලකිලිමත්. කලාකරුවන් හැටියට අප රටේ රසවින්ඳනය හදන්නයි උත්සාහ කරන්නේ. රසවින්ඳනය මොට වෙචිච රටක අධ්‍යාපනය මැරෙනවා. ඒ ගැන රටේ කිසිම පාලකයෙක් තේරුම් ගන්නේ නෑ. ඒ ගැන කණගාටුයි. ඒ නිසයි ඔවුන් පිටරටින් වීසිකරන කුණු ගොඩවල් මෙහේ මාධ්‍යවලින් පෙන්නන්න ඉඩ දීලා ඊළඟ පරම්පරාවම විනාශයට කටයුතු කරන්නේ. මං හිතන්නේ මේ ශාලාවේ සිටින ඔබ විශ්වවිද්‍යාලයේ සිසුන් හැටියට ඒ ගැන විශේෂයෙන්ම සිතිය යුතුයි. හැබැයි මට විශ්ව විද්‍යාලීය අධ්‍යාපනයක් ලබන්නට හැකි උනේ නෑ. ඒත් මම සමාජය විශ්ව විද්‍යාලයක් කර ගත්තා. ඒ තුළ මං මුදල් නොව ජීවිතය වියදම් කර බොහෝ දෑ ඉගෙන ගත්තා. ඒ තුළින් මට විශාල ලෝකයක් හදා ගැනීමට හැකි වුනා. නළුවෙක් හැටියට මේ ගමන යන්නේ කොහොමද තව කෙනෙකුට දැනෙන්නේ සියුම් තැන්වලින් රිංගලා රඟපාන්නේ කොහොමද කියන එක ඉගෙනගන්න මට පුළුවන් වුනා.

ඒ වගේම අධ්‍යාපනයේ අපි වරද්දාගත් එක තැනක් වන්නේ මිශ්‍ර පාසල් නැති කිරීම. ඒනිසා එකිනෙකා පිළිබඳව අවබෝධයන් දුරස්වුනා කොටින්ම එකිනෙකාගේ ගඳ සුවඳ ගැනවත් හැඟීමක් නෑ. නමුත් සොබාදහමේ කියලා නෑ පිරිමි වෙනම ගැහැණු වෙනම ජීවත් වෙන්න. මේ සියල්ල අපි හදාගත්තු මඟුල්. ඒ නිසාවෙන් අපට මඟහැරීගිය ගොඩක් දේවල් තියෙනවා.

අවසන් වශයෙන් මම ඔබට කියන්නේ ඔබ කරන ඕනෑම විෂයයක් අවංකව කරන්න. ඒ වෙනුවෙන් කැප වෙන්න. ඒ තුළ අවංකව හැසිරෙන්න. ඒ සියල්ල නැවත ඔබට ලැබෙනවා ඒකාන්තයෙන්ම.
සුභ සැන්දෑවක්… ජයවේවා. ..

අලුත් උදෑසන – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නිර්මාණ තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය .
රවීන්ද්‍රනාත් තාගෝර් ශාලාව
රුහුණු විශ්ව විද්‍යාලය – මාතර 
සංවිධානය :- රුහුණු විශ්ව විද්‍යාලීයය සමාජවිද්‍යා අධ්‍යයනාංශය සහ සමාජ විද්‍යා සංගමය.

උපුටාගැනීම – ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම