ඇයි ඒ රටවලට පුළුවන් නම් අපිට බැරි එහෙම වවන්න

ඔහොම කතාවක් අපි සෑහෙන කාලෙක ඉඳලා ජනමාධ්‍ය වලත්, සමාජ මාධ්‍ය තුළත් දකිනවා. ලස්සනට ඉදිණු තක්කාලි, මිරිස් වර්ග ඇතුළු එළවළු ගොඩක පින්තූර ඒ සටහන් වල තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට දෙමුහුම් වර්ගත් නෙමෙයි. ඒ සටහන් වල නිතර කියවෙන කාරණා කිහිපයක් තියෙනවා.

1. බලන්න ඒ වර්ග දෙමුහුම් නෙමෙයි. ඒ වුනාට ඵලදාව???
2. ඒ ඔක්කොම වවලා තියෙන්නේ කාබනිකව. අපේ රටේ තමයි කාබනිකව වවන්න බැරි…?
3. අවුරුද්ද පුරාම වවන්න පුළුවන්කම තියෙද්දී අපිට එහෙම වවන්න බෑ. අවුරුද්දේ මාස 6යි ඒ මිනිස්සුන්ට වගා කරන්න පුළුවන්. බලන්න ඒ අයගේ උත්සාහය…?
4. මෙච්චර සරු පොළොවක් තියාගෙන ඇයි මේ පොලිතින් බෑග් ඇතුලේ වවන්නේ…?

හරි අපි දැන් බලමු මේ කරුණුවල ඇත්ත නැත්ත සහ අපි තේරුම් නොගන්න, නොදැනුවත්කම නිසා මගහැරෙන යථාර්ථය.

ශ්‍රී ලංකාව කියන්නේ සමකයට ආසන්න රටක්. හරියටම කිව්වොත් සමකයට මඳක් ඉහළින් (උතුරු අක්ෂාංශ 5 – 10) අතරේ පිහිටි රටක්. අපිට අවුරුද්ද පුරාම ඉර එළිය, වැස්ස ලැබෙනවා. ඒ වගේම උෂ්ණත්වයත් එක වගේ. නිවර්තන දේශගුණයක් තියෙන්නේ.

අපේ පසේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ඉතාම වැඩියි. ක්ෂුද්‍ර ජීවීන් පැවැත්මට හිතකර උෂ්ණත්වය, තෙතමනය හා අනෙකුත් සියලු පරිසර සාධක ඕනවටත් වැඩියි අපේ රටේ තියෙනවා. මේ ක්ෂුද්‍ර ජීවින් බහුතරයක් වැඩෙන්නේ, යැපෙන්නේ කාබනික ද්‍රව්‍ය මත. කාබනික ද්‍රව්‍ය, ක්ෂුද්‍ර ජීවීන් විසින් පරිභෝජනය කරාම ඒවා වියෝජනය වෙනවා. කාබනික ද්‍රව්‍ය වියෝජනය වුනාම ප්‍රධාන අතුරුඵලය තමයි කාබන් ඩයොක්සයිඩ්. මේ ක්‍රියාවලිය වෙන්න ප්‍රධානම සාධකය වෙන්නේ හිතකර උෂ්ණත්වය.

මේ ක්‍රියාවලිය සීමා කරන්න තමයි අපි ගෙදර ශීතකරණයක් පාවිච්චි කරන්නේ. කාබනික ද්‍රව්‍ය මත යැපෙන ක්ෂුද්‍ර ජීවීන්, විශේෂයෙන් බැක්ටීරියා රැසකට අඩු උෂ්ණත්ව වලදී ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා ශීතකරණයක් ඇතුලේ අපි ගබඩා කරන ආහාර වර්ග වර්ගවල ජීවකාලය වැඩිවෙනවා. දැන් ඔන්න ඔය සරල සිද්ධාන්තය තේරුම් ගන්න පුළුවන් නම් අපිට ලෝකය පුරා කෘෂිකර්මාන්තයේ තියෙන වෙනස්කම්, විවිධත්වය වටහාගන්න පහසු වෙනවා.

අපේ රටේ පසේ තියෙන ලොකුම අවාසිය තමයි කාබනික ද්‍රව්‍ය හිඟවීම. හේතුව තමයි කලින් සඳහන් කරපු අධික උෂ්ණත්වය හා ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා ඉක්මනින් කාබනික ද්‍රව්‍ය වියෝජනය වීම. පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය අපි වගා කරන බෝගවල අස්වැන්නට සෘජුව බලපානවා. අපේ රටේ නම් ඒ ප්‍රමාණය 1% – 2%ක් තරම් අඩු අගයක් ගත්තත්, සෘතු භේදයක් තියෙන ගොඩක් රටවල ඒ ප්‍රමාණය 8% – 10% තරම් ඉහළ අගයක් ගන්නවා. අපිට නැති විශේෂ වාසියක් ඒක. හේතුව තමයි අඩු උෂ්ණත්වය හා අඩු ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා කාබනික ද්‍රව්‍ය වියෝජනය ඉතා සෙමින් සිදුවීම.

ශීත සෘතුවේදී (Winter) කාබනික ද්‍රව්‍ය ටික පසේ සංරක්ෂණය වෙනවා. ඊටපස්සේ Spring එකේදී ඔන්න හිම දියවෙලා ටිකෙන් ටික පස ඉර එළියට නිරාවරණය වෙනවා. Summer එකේදී තමයි වගාව පටන් ගන්නේ. එතකොට අර කාබනික ද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් පසේ ආරක්ෂාවෙලා තියෙනවා. ක්‍රමයෙන් උෂ්ණත්වය වැඩිවෙද්දී ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය වැඩිවෙලා අර කාබනික ද්‍රව්‍ය බෝග වලට ප්‍රයෝජ්‍ය කරන්න පුළුවන් කාබනික අම්ල, පොහොර බවට පත්කරනවා.
ඒ විතරක් නෙමෙයි. Summer එකේදී අපිටත් වඩා දැඩි සූර්යාලෝකයක් ඔවුන්ට ලැබෙනවා. සූර්යාලෝකයේ තීව්‍රතාව ඉතාම වැඩියි. ඒ වගේම තමයි සූර්යාලෝකය ලැබෙන පැය ගණනත් වැඩියි. Winter එකේදී අඩු ඒක අඩුවෙනවා වගේම summer එකේදී වැඩිවෙනවා. ඒ කියන්නේ දිවා දිග වැඩිවෙනවා. මේ ඔක්කොම ප්‍රභාසංස්ලේෂණයට වැදගත් වෙනවා වගේම අස්වැන්න වැඩිකරන්න සෘජුව හේතු වෙනවා.

එහෙම තමයි සොබාදහම. ඒ රටවල වගා කරන්න පුළුවන් කාලය මාස 6-8ක් වගේ. ඒ කාලය තුළ උපරිම අස්වැන්නක් අරගන්න සියලු පරිසර සාධක හදලා දෙනවා. ඉතිං අපේ අස්වැන්න එක්ක ඒක සංසන්දනය කරන්න ඉක්මන් වෙන්න හොඳ නෑ. අපිට අවුරුද්ද පුරාම වගා කරන්න අවස්ථාව තියෙනවා. ඒක තමයි අපිට සොබාදහමෙන් ලැබුන තෑග්ග. පුළුවන් නම් උතුරු අක්ෂාංශ 5 – 10 අතරේ පෘථිවිය වටා තීරුවේ තියෙන එක රටක් හරි පෙන්නන්න පුළුවන් ද යුරෝපයේ, ඇමරිකාවේ වගේ අස්වැන්නක් ගන්න? එහෙම නෑ ඇත්තටම.

හැබැයි ගොඩක් මහන්සි වුනොත් මෙන්න මෙහෙම පුළුවන්. කාබනික පොහොර යහමින් පසට යොදලා පස සරු කරන්න ඕන. අපේ පසේ නැත්තෙම කාබනික ද්‍රව්‍ය, කාබනික පොහොර. අපි රසායනික පොහොර යොදනවා නම් ඒක හොඳින් ක්‍රියාකරන්නෙත් කාබනික පොහොර යොදනවනම් තමයි. අපේ පසේ ඇතිතරම් ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා. සීත රටවල ක්ෂුද්‍ර ජීවීන් නැති නිසා විවිධ ක්ෂුද්‍ර ජීවී ආමුකුලන, කොම්පෝස්ට් ටී වගේ දේවල් හදලා පසට යොදනවා. හැබැයි ඒ රටවල ඒ වගේ දේවල් ගොවියන් විසින්ම හදාගන්නවා. කෑන් කරලා විකුණන්නේ නෑ. ඒවා තැන් තැන් වල පුපුරන්නෙත් නෑ.

පසේ සරුබව මදිකම, කාබනික ද්‍රව්‍ය මදිකම, ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන්, වල් පැල හෝ පලිබෝධ ඉන්න පස්වල වගා කරන්න අමාරු නම් හොඳම විකල්පය තමයි වගා මළු වල වගා කරන එක. කෙනෙක්ට ඒ දේවල් පාලනය කරගන්න අමාරුයි නම් වගා මළු වල වගාවට යොමුවෙන එකට වරදක් කියන්න බෑ. වගාව ගැන අවබෝධය අඩු, අලුතින් වගාවට යොමුවෙන කෙනෙක් වුනත් වගා මළු වලට යොමුවීමේ ප්‍රවණතාවය වැඩියි. ඒකේ වරදක් නෑ. නමුත් තනිකරම කොහු විතරක් තියෙන නිෂ්පාදනයකට යොමුවෙන එක මේ දවස්වල නම් එච්චර ලාබ නෑ. කොහු වල පෝෂක නෑ. සියල්ල පිටින් දෙන්න ඕන. ඒක කාබනිකව හෝ අකාබනික වෙන්න පුළුවන්. ඒ දෙකම මිළ අධිකයි.

ඇත්තටම යුරෝපා රටවල දෙමුහුම් නොවන ඉහළ අස්වනු ලබාදීමේ නෛසර්ගික හැකියාවක් තියෙන ප්‍රභේද තියෙනවා. කෙනෙක්ට ඒවා නීත්‍යානුකූලව අපේ රටට ගෙනත් අත්හදා බලන්න පුළුවන්. හොරෙන් ගේන්නත් පුළුවන්. වැඩිපුරම ගේන්නේ හොරෙන්. හේතුව අපේ රටේ ශාක නිරෝධායන නීති ඉතාම තදයි. අපිට රැකගන්න ජෛව විවිධත්වයක් තියෙනවා. ඒක නිසා ඒ වගේ නීති තද වෙන එක සාධාරණයි. නමුත් සමහර දේවල් නම් විහිළු සහගතයි.

මේ යුගයේ කෙනෙක්ට බීජ නිෂ්පාදනයට යොමුවෙන්න පුළුවන් නම් ඉතාම වටිනවා. අපි පිටරටවලින් විශාල ප්‍රමාණයක් බීජ ගේනවා. ලොකු මුදලක් රටින් පිටට යනවා. අපේ රටේ හදන්න බැරි බීජ වර්ග රටින් ගෙනාවට වරදක් නෑ. ඒත් අපේ රටේ ලේසියෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් බීජ වර්ග රටින් ගේන එක අපරාදයක්. 2023 අවුරුද්දේවත් මිරිස් වලින් එහාට ගිහින් එළවළු බීජ වර්ගත් නිෂ්පාදනය කරන්න අපි මහන්සි වෙමු.

පින්තූරේ ගත්තේ ඇමරිකාවේදී. ඔය ඔක්කොම තක්කාලි වර්ග. එහෙ දේශීය ඒවා.

සංජන රවින්දු

Social Sharing
ආර්ථික නවතම