අටවැනි පුදුමය ළඟදීම !

ලෝකයේ පුදුම හත මොනවාදැයි අපේ මුණුබුරා පුතාගෙන් විමසනු මා අසාගෙනය.

පුතා ගූගල් ගොස් කොල්ලාට එය පෙන්වා දෙනුද මම දුටුවෙමි .

“ලංකාවෙන් එක ලෝක පුදුමයක්වත් නෑනෙ”මුණුබුරා මා දෙසට හැරී කීවේය . “ඒ වුණාට සීයා ටී.වී.නිව්ස් බලද්දී කොච්චරවත් කෑගහන්නෙ ඒක නම් ලෝක පුදුමයක් තමයි කියල! ”

“එනවා කොල්ලො ළඟදීම එනවා “මම මුණුබුරාට කියා සිටියෙමි .”අද හෙටම අටවැනි පුදුමය ලංකාවෙන් එනවා ”

මෙහිදී බිරිඳ වහාම විරෝධය පළ කළාය .

“ඒක නම් කීයටවත් වෙන්නෙ නෑ හලෝ”ඈ මට කියා සිටියාය .”ආණ්ඩුව බොරැවට නාමයෝජනා කැඳෙව්වට කොහොමටවත් පළාත්පාලන ඡන්දෙ තියන්නෙ නෑ ”

ඒ අසා මට හිනා ගියේය .

“එහෙම කියන්න එපා නෝනෙ “මම බිරිඳට කීවෙමි .”මේ ඡන්දෙ නොතිබ්බොත් ආණ්ඩුවට කෙළවෙනවනෙ”

“ඒ කියන්නෙ ආණ්ඩුව මහජන මතයට බයේ ඡන්දෙ තියයි කියලද?”

“රෙද්ද තමයි “මට ඉබේටම කියවුණේය .”බලයෙ ඉන්න කොට කවුද මෙයා මහජන මතයක් ගැන කරදර වෙන්නෙ ?ඡන්දෙ නොතිබ්බොත් ඒකෙන් ඡන්දෙ තිබ්බට වැඩියෙ විපක්ෂෙට වාසියි.ඒකයි කාරණේ ”

“ඡන්දෙ තිබ්බයි කියල මොකෝ මුන් දිනන්නද?”

“⁣අනේද කියන්නෙ .රටේ ඉන්න හොඳම බයියවත් හිතන්නෙ නැතුව ඇති ඕයි මුන්ට ඡන්දෙ දිනන්න පුළුවන් කියල .දිනිල්ල කොහොම වෙතත් දෙවැනියා වෙන්න තමයි ෆයිට්ටෙක තියෙන්නෙ .ඒ කියන්නෙ ඡන්දෙ තිබ්බත් ආණ්ඩුවට කෙළවෙනවා කියලනෙ “මම බිරිඳට පහදා දුනිමි .”ඒක නිසා ආණ්ඩුවම තීන්දු කරයි වැඩියෙ හොඳ ඡන්දෙ තියල කෙළවගැනීමද නැත්නම් ඡන්දෙ නොතියම කෙළවගැනීමද කියල ”

“ඒ වුණාට සීයෙ ආණ්ඩුවට ඡන්දෙ තියල දිනන්න පුළුවන් කියලනෙ ඇමතිවරැ ටෙලිවිෂන්නෙකේ කියන්නෙ ”

” හොල්මන්වලට බය නෑ කියන සමහර හාදයො,කනත්තක් ගාවින් යනකොට සරම උස්සගෙන අමු තිත්ත කුණුහරැප කිය කිය තමයි යන්නෙ පුතේ”මම පොඩ්ඩාට උදාහරණයක් සහිතව කියා දුනිමි .”ඒ වගේ තමයි ඡන්දවලට බය නෑ කියල හයියෙන් කියන්නෙත් ඡන්දෙට තියෙන බය නැති කරගන්න ”

“කොහොම වුණත් විපක්ෂෙ මාර ෆයිට්ටෙකක් දෙනව නේද අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකල දෙන්න “අපේ පුතා මෙහිදී කියා සිටියේය .”ඒකට නම් උන්ට රෙස්පෙක්ට් කරන්න ඕන”

“අනේ පුතේ ඕකුන්ගෙත් පැටිකිරිය අපි නොදන්නවද?”මෙහිදී බිරිඳ කියා සිටියාය .”දැන් ඔය ඡන්දෙ ඉල්ලන සැට්ටෙකේ සමහරු යහපාලන ආණ්ඩු කරන කොටයි,තව සමහරු ඒකට කඩේ යන කොටයි තමයි 2017දි පළාත් සභා ඡන්දෙ කල් දැම්මෙ.අනිත් වැඩේ ඒ කාලෙ ඡන්දෙ ඉල්ලපු උන් තමයි දැන් ආණ්ඩුවට ඇවිත් ඡන්දෙ කල් දාන්න ට්‍රයි කරන්නෙ”

“ඒකට වැරැද්දක් කියන්න බෑනෙ නෝනා “මම බිරිඳට කියා සිටියෙමි .”බලේ තියෙන කොට දුෂ්ට වෙන්න ,බලේ නැති කොට ශිෂ්ට වෙන්න කියල තමයි දේශපාලන විද්‍යාවෙ කියල තියෙන්නෙ ”

“ඒකෙන් මේකෙන් කමක් නෑ.ඡන්දෙ තියයි කියල ⁣මානිගෙ තීරැවෙ නම් ලියන්න එපා තාත්තෙ “පුතා මට කියා සිටියේය .”දේශපාලන අනාවැකි අකුරටම කියනව කියල ඔයාට තියෙන කීර්ති නාමෙටත් කෙළවෙන වැඩක් ඕක ”

බිරිඳද ඊට එකඟ වූවාය.

“එහෙම නෙවෙයි අපිට හොයාගන්න විදිහක් නැද්ද අයි.එම්.එෆ්.කාරයො ඡන්දෙ ගැන මුකුත් කියල තියෙනවද කියල “ඈ කියා සිටියාය .”උන් කියල තියෙනව නම් මුන් ටක්කෙටම ඡන්දෙ තියයි .උන් ඒ ගැන කරදර වෙන්නෙ නැත්නම් මුන් ඒ ගැන කොහෙත්ම කරදර වෙන්නෙ නෑ”

සුන්දර නිහතමානි ද මැල්

Social Sharing
නවතම විශේෂාංග