PTA: රාජ්‍ය මර්දනයේ නොලියවුණු වංශකතාව

බූස්ස සිර කඳවුරේ ආරක්ෂක වැට අසළ රැඳීගත් අත්අඩංගුවේ පසුවන දෙමළ දේශපාලන සිරකරුවන් – 1986, බූස්ස ඡායාරුපය: සැන්ද්‍රෝ ටුච්චි / ඡායාරුපය උපුටා ගැනීම – Guardian 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ කැළණිය විශ්ව විද්‍යාලයේ හෂාන් ජීවන්ත අගෝස්තු 18 වන දා අත් අඩංගුවට ගනු ලැබ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගනු ලැබුණි. මේ අතරින් හෂාන් ජීවන්ත ඔක්තෝබර් 7 වැනිදා නිදොස් කොට නිදහස් කරන ලද අතර දින 89ක් රඳවා සිටි අනෙක් දෙදෙනා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී. මේ අතර භික්ෂු ක්‍රියාකාරී සිරිධම්ම හිමි නොවැම්බර් 23 වනදා ඇප මත මුදා හරින ලදී.

මෙම ශිෂ්‍ය ක්‍රියාකාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමත් සමඟ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බවට විරෝධතා දකුණේ සමාජය තුළ මතුව තිබේ. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත වූ 1979 වසරේ සිට 2022 වසර දක්වා වන දශක හතර, එහි ගොදුරු බවට පත් වූ සිය දහසක් මිනිසුන්ගේ ඛේදනීය කතාන්දර පැතිරුණු විරෝධතාවක් නොමැතිවම වැළලී ගිය බව බොහෝදෙනා නොදනිති. දශක දෙකකට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සිය මූලික සටන් පාඨයක් කරගත් දේශපාලන බලවේගයන්ට, දශක දෙකකට පසු, වසර 43ක් පුරා බලාත්මකව පවතින මර්දනකාරී නීතියක් නව නීතියක් ලෙසට සම්මුඛව ඇත. මේ සටහන ඒ ඉතිහාස ඛණ්ඩනයත්, ඉන් ඔබ්බෙහි ඇති දේශපාලනයත් ගැන ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

1979 වසරේ දී ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් තාවකාලික විධි විධානයක් ලෙස ගෙන ආ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1982 දී ස්ථිර නීතියක් බවට පත් කරන ලදී. මෙම කෲර පනත විසින් අත්තනෝමතිකව අත් අඩංගුවට ගැනීමටත් දීර්ඝ කාලයක් චෝදනා රහිතව රඳවා ගැනීමටත් ඉඩ සළසා ඇත. එසේම සාමාන්‍ය නීතියට පටහැණිව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවේ පසුවන්නකුගේ පාපොච්චාරණය ඔහුට එරෙහි සාක්ෂියක් ලෙස යොදා ගැනීමට ප්‍රතිපාදන සළසා තිබේ. මේ හේතුවෙන් අත් අඩංගුවේ පසුවන්නන් දිගු කලක් රඳවා ගෙන වධ හිංසාවට ලක් කිරීමට පාත්‍ර වෙති. එසේ වධ හිංසාවට ලක් කිරීම හරහා ලබා ගන්නා පාපොච්චාරණ අදාළ සැකකරුට එරෙහිව අධිකරණයකදී සාක්ෂි වශයෙන් භාවිතා කරනු ලබයි. පනත යටතේ ඇප ලබා දීමේ කාර්ය පටිපාටියේ පවතින සංදිග්ධතාවය ද පනතේ අනීතික සහ අමානුෂිකබවට ආවරණ සපයයි.

70 අගභාගයේ සහ 80 දශකය ආරම්භයේදී පනත ගෙන එන්නේම දෙමළ ජනයා මර්දනය කරනු වස් ය. ඉන්පසු දෙමළ ජනයාට අමතරව සිංහල තරුණ කැරැල්ල මර්දනය කිරීමටත්, 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනයාත් මර්දනය කිරීමටත් එම පනතම යොදා ගන්නා ලදී. දැන් දෙමළ-මුස්ලිම් ජනයාට අමතරව විසම්මුතික සිංහල ජනයා මැඬලීමට යොදා ගනු ලැබ ඇත්තේ ද වසර 43ක් තිස්සේ බලාත්මකව පවතින මෙකී පනත යි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රාජ්‍යයට අභියෝග කරන මානව හිමිකම් ක්‍රියාධරයන්, ලේඛකයන්, මාධ්‍යවේදීන් මර්දනය කිරීම සඳහා ඓතිහාසිකව යොදා ගනිමින් තිබෙන බවට මෑත කාලීන උදාහරණ පවා දුලබ නැත. 2020 අප්‍රේල් මාසයේදී අත් අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ සිදුවීමත්, එම වසරේම මැයි මාසයේදී අත් අඩංගුවට ගත් කිවියර අහ්නාෆ් ජසීම්ගේ සිදුවීමත් නැවත නැවත ලිවිය යුතු නොවේ.

මර්දනය උතුරෙන් දකුණට

දෙමළ ජනයා දශක ගණනක් මුළුල්ලේ සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රික ප්‍රයත්න හරහා ඉදිරිපත් කළ සාධාරණ දේශපාලන ඉල්ලීම් රාජ්‍ය විසින් හැකි වෙර යොදා මර්දනය කරන ලදී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බලාත්මක කරන ලද්දේ, රාජ්‍ය මර්දනයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ තරුණ දෙමළ සටන්කාමී කණ්ඩායම් අතුළු සිංහල අධිපතිවාදී රාජ්‍ය ව්‍යුහයට එරෙහි වූවන් මර්දනය කිරීම සඳහා ය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1979 ජූලි මාසයේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කර එකල හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වූ තම ඥාතී තිස්ස වීරතුංග වෙත කරන ලද ආඥාවේ දැක්වෙන්නේ “දිවයිනෙන්, විශේෂයෙන්ම යාපනය දිස්ත්‍රික්කයෙන් සියලු ආකාරයේ ත්‍රස්තවාදි උවදුරු නැති කර දැමීම” සඳහා මාස හයක කාලයක් ලබා දෙන බවත්, ඒ සඳහා ‘රජයේ සියලු සම්පත් රිසි සේ පරිහරණය කිරීමට’ අවසර දෙන බවත් ය.(1) ඉක්බිති එළැඹුණු කාලයේ දහස් ගණනක් දෙමළ තරුණයන් මෙකී පනත යටතේ රාජ්‍ය ආරක්ෂක අංශ විසින් පැහැරගෙන යාමටත් දශක ගණන් රඳවා ගෙන සිටිනු ලැබීමටත් වධහිංසාවට ලක් වීමටත් අතුරුදහන් වීමටත් ලක් වූහ. රාජ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍යකරණයේ නිරත වූ දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ ද ඉරණම වූයේ මෙය යි. එවක සාමාන්‍ය ජනයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ‘කොටි පනත’ නමින් හඳුන්වන්නට හේතුවූයේ එය දෙමළ සටන්කරුවන් මර්දනයට විශේෂිතව යොදාගත හැකි නීතියක් වශයෙන් මිස, වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව ඕනෑම පීඩිත ජනකොටසක සයුක්තික ඉල්ලීම් මැඩලන්නට එම පනත ඕනෑම වේලාවක යොදාගත හැකි බවට කල්පනා නොකළ නිසා ය.

දෙමළුන් මඩින හෙයින් දකුණේ ජීවිතයට අදාළ නොවේයැයි 80 දශකය ආරම්භයේදී කල්පනා කළ මෙකී ‘කොටි පනත’ විසින් වසර කිහිපයකින් දකුණේ කැරලිකාරී සිංහල තරුණයන් ද ඉලක්ක කරගන්නා ලදී. ඒ අනුව සිංහල දකුණෙන්ද මුල් වරට ‘ත්‍රස්තවාදය’ සොයා ගනිමින් රජය විසින් 1984 නොවැම්බර් 08 වනදා දෙනියායේ දී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් 23 දෙනෙකු පනත යටතේ අත් අඩංගුවට ගන්නා ලදී. ඉක්බිති 1991 දක්වාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දක නීතිවල ආශීර්වාදයෙන් දකුණේ සිංහල තරුණ තරුණියන් රජයේ ආරක්ෂක අංශ විසින් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදී. බූස්ස, වීරවිල, පැලවත්ත,පල්ලේකැලේ, පූනානි ආදි ස්ථානවල රට වටා වධ කඳවුරු ඉදි කරන ලදී. ජයවර්ධන රජය දකුණෙන් සොයාගත් ‘ත්‍රස්තවාදය’ අතුගා දමන ලද්දේ දහස් ගණනක් සිංහල තරුණ-තරුණියන් මහ පාරවල් අද්දර ඝාතනය කිරීමෙන් පණ පිටින් පුළුස්සා දැමීමෙන් සහ අතුරුදහන් කිරීමෙනි.

මුස්ලිම් ජනයා

2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඊට වගකිව යුතු සැබෑ වගඋත්තරකරුවන් නීතිය හමුවට පමුණුවනු වෙනුවට, රාජ්‍යයේ පිළිවෙත වූයේ, දෙමළ ජනයාට කරමින් සිටි අන්දමටම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මුස්ලිම් ජනයා ඉලක්ක කොට වෛරී ව්‍යාපාරයක් ගොඩනංවා සමස්ත මුස්ලිම් ජන සමාජයම මර්දනයට ලක් කිරීම යි. අත් අඩංගුවට ගත් අයගෙන් අතිමහත් බහුතරය බෝම්බ ප්‍රහාරයට කවර හෝ සම්බන්ධයක් නොතිබූ අය බවට මානව හිමිකම් සංවිධාන විසින් පෙන්වා දී ඇති අතර එයින් ඇතැමෙක් සහරාන්ගේ යාබද නිවසේ රූපවාහිනී ඇන්ටෙනාවක් සවි කළ අයෙකි; ඇතැමෙක් සහරාන්ගේ සහෝදරයාට අයත්ව තිබූ යතුරු පැදියක් මිලදී ගත් අයෙකි. තම දියණිය ප්‍රහාරයට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු හා විවාහ වී සිටීමෙ නිසා අත් අඩංගුවට පත් වයෝවෘද්ධ කාන්තාවක් ඇතුළු කාන්තාවන් ද ඒ අතර වේ.(2) පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු මුවාවෙන් මුස්ලිම් ජාතිකයන් කොපමණ සංඛ්‍යාවක් මෙසේ අත්තනෝමෙතිකව අත් අඩංගුවට ගෙන චෝදනා රහිතව රඳවා ගෙන සිටින්නේ දැයි නිශ්චිත සංඛ්‍යා ලේඛණ පවා මේ වනවිටත් නැත.

1989 දෙසැම්බර් 2 / (ඡායාරූපය Robert Nickelsberg / Getty Images) ඝාතනය කර තිහගොඩ ප්‍රදේශයේ මංසන්ධියක දමා ගොස් ඇති ප්‍රශ්න කිරීම සඳහා රැගෙන යන ලද තරුණයන්ගේ සිරුරු.

අත්හැර දැමූ ඉතිහාසය

1987-1989 සංහාරයෙන් පසු යළි පිටුවහල්ව සිටිමින් දේශපාලනය කිරීම ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණෙහි මූලික සටන් පාඨයක් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය යන්නයි. 1991 වසරේ සැප්තැම්බර් 01 දා පිටුවහලේ සිටි සෝමවංශ අමරසිංහ විසින් ඉදිරිපත් කරන ලද නිවේදනයක ‛ශ්‍රී ලාංකීය ජනතාවට අහිමි කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යළි ස්ථාපිත කිරීමට’ වහාම ගත යුතු ක්‍රියාමාර්ග හතරක් දක්වා තිබූ අතර එහි පළමු ක්‍රියාමාර්ග දෙක වූයේ ‛ හදිසි නීතිය ඇතුළු සියළු මර්දනකාරී නීති රීති අහෝසි කළ යුතුය.’ සහ ‘සියලුම දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුය.’ යන්නයි.(3)

එම වසරේම නොවැම්බර් 30 වෙනිදා සෝමවංශ අමරසිංහ විසින් ‛ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට’ ගත යුතු ක්‍රියාමාර්ග 7ක් දක්වා මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යැවීය. එහි 5.1 සහ 5.2 ඉල්ලීම් මෙපරිදිය: ‛හදිසි නීතිය, ත්‍රස්තවාද විරෝධී පනත යටතේ ක්‍රියාත්මක කර ඇති මර්දන නීති සහ වෙනත් මර්දන නීති ඉවත් කළ යුතුය. – ශ්‍රී ලංකාවේ සෑම පළාතකම කෙරෙන හමුදා, පොලිස් මෙහෙයුම් වහා නතර කළ යුතුය.’(4)

1992 ශ්‍රී ලංකාවට ආධාර දෙන පැරිස් ආධාර කණ්ඩායමේ සමුළුවට ‘මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය’ නම් ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර තලයේ කටයුතු සිදුකළ සංවිධානය විසින් සංදේශයක් භාර දෙන ලදී. ආධාර දෙන රටවල් ආධාර දීම සඳහා ශ්‍රී ලංකා රජයට බල කළ යුතු කොන්දේසි දෙකක් එමඟින් ඉදිරිපත් කරන ලදී. එහි පළමුවැන්න වූයේ ‘උතුරට එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර සහ දකුණේ හමුදා මෙහෙයුම් වහාම නතර කරන මෙන්” ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමයි. දෙවැන්න වූයේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ සහ හදිසි නීතිය යටතේ රඳවා සිටින සියළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස” ශ්‍රී ලංකාවට බල කිරීම යි. (5)

1994 අගෝස්තු මහ මැතිවරණයේදී ජාතිය ගළවාගැනීමේ පෙරමුණ නමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදුණු වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයෙහි මෙසේ දැක්වුණි: ‛‛ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත්, අපරාධවලින් බේරීමේ පනතත් එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී හා මූලික මිනිස් අයිතීන් අහෝසි කරන අණ පනත් සියල්ලත් අහෝසි කරනු ලැබේ.’’(6)

1994 අගෝස්තු මහ මැතිවරණයට ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ යටතේ තරග කළ ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම් නායක නිහාල් ගලප්පත්ති පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 1995 අප්‍රේල් මස චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව යළිත් යුද ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් දශකයකට ආසන්න කාලයක් තිස්සේ අහෝසි කිරීමට බලකළ හදිසි නීතියට පක්ෂව එම පක්ෂයේ එකම මන්ත්‍රීවරයා ඡන්දය භාවිතා කිරීම ආරම්භ කරන ලද්දේ ඉන් අනතුරුව ය. මර්දනයේත් පීඩනයේත් ගොදුරු වූ දස දහසකගේ මිනී කඳු උඩ හිඳිමින්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දනකාරී නීති අහෝසි කිරීමේ සටන් පාඨය ජවිපෙ දේශපාලනයෙන් කෙමෙන් අතුරුදහන්ව යාම ඇරඹුණේ එපරිද්දෙනි.

ඉන්පසු ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලන භූමිකාව වූයේ මර්දනකාරී රාජ්‍ය සැකැස්ම ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැප වීමයි. රාජ්‍ය මර්දනයේ කේන්ද්‍රය නැවතත් දෙමළා වූ විට ජනතා විමුක්ති පෙරමුණ මර්දක රාජ්‍ය සමඟ අත්වැල් බැඳ ගත්තේ ය. තමන්ගේ පූර්වප්‍රාප්තික දේශපාලන පරම්පරාව වධහිංසා පමුණුවා, සමූහ මිනීවළවල මිහිදන් කෙරූ අනීතික අමනුෂික නීති අණ පනත් බලාත්මක කිරීමටත්, ඒවා පොදුජන මනස තුළ සාධරණීකරණය කිරීමටත් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතත් ජනතා විමුක්ති පෙරමුණ ඉතා උනන්දුවෙන් ක්‍රියා කළේය. එය කූටප්‍රාප්තියට පත් වූයේ 2009 මැයි මස අවසන් වූ මහා ජන ඝාතක යුද්ධය වටා සිංහල පීඩිත ජනයා ඒකරාශී කිරීමට කැප වූ වඩාත්ම උද්‍යෝගීමත් උද්ඝෝෂකයා වීමේ ප්‍රීතියෙනි.

වැළලූ ඉතිහාසයේ ගොදුරු

දශක දෙකකට එහා වූ මේ ඉතිහාසය, ඒ ඉතිහාසය මැදින් ගමන් කළ බොහෝ අයට ද දැන් වනවිට වෙනත් විශ්වයක් බවට පත්ව තිබේ. එකී දේශපාලන ධාරාවන්ගේ වර්තමාන ක්‍රියාකාරීන් සතුව ඛණ්ඩනය වූ ඉතිහාසයක් ඇත්තේ එහෙයිනි. තම සමාජයේ දේශපාලන ඉතිහාසය ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය නොකිරීමේ වරදට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ වසන්තලා, ගල්වැව සිරිධම්ම හිමි හා හෂාන්ලා වැනි තරුණ ක්‍රියාකාරිකයන්ට ය. ඔවුහු රාජ්‍ය මර්දනයේ මෙන් ම ඔවුන් ක්‍රියාකාරිව සිටින දේශපාලන ධාරාවේ ද ගොදුරු බවට පත්ව තිබේ.

සාම ගිවිසුම හකුළා ගන්නා ලෙසට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විරෝධතාවයක් 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි දකුණේ මෑත කාලීනව පැන නැගි විරෝධතා දකුණේ දුක් ගැනවිල්ල පමණක් ඉලක්ක කරගත් ඒවා වීම, මෙකී ඉතිහාසය නොදැන සිටීම සහ උවමනාවෙන් අමතක කිරීමේ නියත ප්‍රතිඵලයකි. එකී වින්දිත ඉතිහාසය එම ඉතිහාසයේ ගොදුරු බවට පත් වූ දේශපාලන ධාරා විසින් සිය ඉතිහාසයෙන් ගළවා දැමීම විසින් එකී දේශපාලන ධාරාවන්ගේ වර්තමාන ක්‍රියාකාරීන්ට සමස්ථ වින්දිතයා වෙනුවෙන් පෙනී සිටීම සඳහා අවශ්‍ය දේශපාලන දැක්මත්, සාමූහික වගකීමත්, සංවිධානමය ශක්‍යතාවයත් අහිමි කර ඇත.

දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි ගොදුරු බවට පත්ව ඇති දකුණේ ශිෂ්‍ය ක්‍රියාකාරීහු වනාහි, සිය දේශපාලන ධාරාවේ පීඩිත ඉතිහාසය පිළිබඳ විඥානය ලැබිය යුතුව තිබූ, ලබා නොදීම හේතුවෙන් වින්දිතයන් වීමට සිදු වූ පරම්පරාව වෙති. ඔවුන්ගේ දේශපාලනය තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සියළු දේශපාලන සිරකරුවන්ගේ නිදහස පිළිබඳ සටන්පාඨ බලවත්ව මතු නොවීම, සැබැවින්ම, ඔවුන් නියෝජනය කරන දේශපාලන ධාරාවේ නොවැළැක්විය හැකි සීමාවයි.

එම දේශපාලනය පිළිබඳ යට කී විවේචනය තිබියදීත්, ඔවුන් සියල්ලන් රාජ්‍ය මර්දනයේ වින්දිතයන් බව අවිවාදිත ය. එසේම වසන්ත මුදලිගේ ඇතුළු ක්‍රියාකාරීන්, එකී දේශපාලන ධාරාවන්ගේ වර්ගවාදී පීඩක දේශපාලනයේ ගොදුරු බවට පත් වූවන් වීම ද මගහැර යා නොහැකි ඇත්තකි.

තෝරාබේරා ගෙන මර්දනය විය නොහැක

මව් පෙරමුණ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, සිසු ජන සහයෝගිතා ව්‍යාපාරය වැනි එකල දකුණේ සිවිල් සමාජ ව්‍යාපාර සහ විකල්ප මතධාරී පුවත්පත්වල පවා ප්‍රධාන සටන් පාඨයක් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය යන්න යි. ඊට හේතුවූයේ එකල දකුණේ සිංහල සමාජයට එරෙහිව සිදු කරන ලද අපරාධවලට පිටුබලය සැපයමින්, අපරාධකරුවන් ආරක්ෂාකිරීමට පසුබිම සකස් කර තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දක නීති මඟින් වීම නිසා ය. එකල එකී ඉල්ලීම දකුණේ මිනිසුන්ගේ දෛනික ජීවිතයට සෘජු සම්බන්ධයක් තිබූ ඓන්ද්‍රීය ගැටළුවක් විය. එහෙත් මර්දක නීති දෙමළාට හා මුසල්මානුවාට එරෙහිව ක්‍රියාත්මක වන විට වරෙක එහිම වින්දිතයන් වූ සිංහල සමාජය තම වින්දිතභාවය විසින් රැස්කර ගත් අත්දැකීම් සහ ප්‍රඥාව බැහැර කරන ලදී.

රාජ්‍යයේ ‘ත්‍රස්තවාදි’ අර්ථකථනය යථාවක් කරනු පිණිස දකුණේ සමාජයේ සෑම ස්ථරයක්ම, වෘත්තියක්ම, කොටසක්ම එකා මෙන් ක්‍රියා කළහ. 2008 මාර්තු මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටි ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසි මාධ්‍යවේදී ජෙයප්‍රකාශ් තිස්සනායගම් ‘කොටියෙකු’ බවට ප්‍රබන්ධ නිර්මාණය කර ඒවා ජනගත කිරීමේ මෙහෙයුම රජයේ නිල මාධ්‍ය හැරුණු විට ලක්බිම, දිවයින සහ ජවිපෙ නොනිල ප්‍රකාශනය වූ ලංකා පුවත්පත විසින් ඉතා ඕනෑකමින් කරන ලදී. රාජ්‍ය මර්දන යාන්ත්‍රණයට ඒ පිළිබඳව මහන්සි වීමට අවශ්‍ය වූයේ නැති තරම් ය.

(ඡායාරූපය JDS ) ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් වෙට්ට්‍රිවේල් ජසීකරන්, වඩිවේල් වලර්මදී  හා ජයප්‍රකාශ් තිස්සෛනායගම්.

‘ත්‍රස්තවාදය’ ‘ත්‍රස්තවාදියා’ අර්ථකථනය කරනු ලබන්නේ රාජ්‍ය විසිනි. ප්‍රචණ්ඩත්වය අභ්‍යාස කිරීමට රාජ්‍යයට ඇති ඒකාධිකාරය අභියෝගයට ලක් කරන සමාජ ව්‍යාපාර නිර්මාණය වන විට රාජ්‍ය විසින් ඒවා ‘ත්‍රස්තවාදය’ ලෙස අර්ථකථනය කරනු ලබයි. කවි ලිවීම ත්‍රස්තවාදය යැයි රාජ්‍යට අර්ථකථනය කළ හැකි අන්දම අහ්නාෆ්ගේ සිදුවීමේ දී දැකගත හැකි විය. පසුගිය වසරේ මැයි 18 වනදා යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිකරමින් නැගෙනහිර මඩකළපු දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශයේ මුහුදු වෙරළක ඉටි පන්දම් දැල් වූ ස්ත්‍රීන් දෙදෙනකු ඇතුළු දෙමළ ජාතිකයෝ දස දෙනෙක් අත් අඩංගුවට ගත්තේ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය. නැගෙනහිර ප්‍රදේශයේ සිදු කළ හමුදා මෙහෙයුම් හේතුවෙන් අවතැන් වූ ජනයා මුහුණ දී ඇති ගැටළු පිළිබඳ ලිපි දෙකක් ලිවීම ජාතික අසමගිය වර්ධනය කළ ත්‍රස්තවාදී ක්‍රියාවකයි අර්ථකථනය කර 2008 දී ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී ජෙයප්‍රකාශ් තිස්සනායගම් අවුරුද්දකට වැඩි කාලයක් රඳවා තබා, අවසානයේ බරපතල වැඩ ඇතිව වසර විස්සක සිර දඬුවම් නියම කරන ලද්දේ ද යළිත් ‘කොටි පනතක්’ බවට පෙරළාගත් මෙකී පනත යටතේ ය.

මෙතෙක් රාජ්‍යයට අනුව ‘ත්‍රස්තවාදියා’ වූයේ දෙමළ හා මුස්ලිම් ජනයා ය. ඒ අර්ථකථනය අපේ ජීවිතයට බාධා කළේ නැත. ඒ ජනයා අපේ ලෝකයට අදාළ නැති කොටසක් වූ හෙයිනි. ඒ ජනයාගේ ඉරණම අපේ ඉරණමට ගැට ගසා ගැනීමට උවමනා වන හේතු අපිට තිබුණේ නැත. එකී අර්ථකථනයට එකඟ නොවී සිටීමට නොහැකි වූ දකුණේ පීඩිත සිංහල ජන කොටස් ආණ්ඩු පාලනයට එරෙහිව ප්‍රජාතාන්ත්‍රිකව සිය විරෝධය පළ කළ විට ‘ත්‍රස්තවාදීන්’ බවට දැන් පත්ව සිටිති

අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමාගේ නිදහස ද වළලා ගනී

දැන් ආරම්භ වී ඇති දකුණේ විරෝධතාවල මතු කරන පරිදිම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මිනිසුන්ගේ මූලික නිදහස අහුරන අනීතික අමානුෂික පනතකි. එහෙත් මතක් කරගත යුතු ඇත්තක් තිබේ. එනම් එවන් නීතියක් වසර 43ක් පුරා විශාල සමාජ විරෝධයකට ලක් නොවී, සැබවින්ම බහුතර ජාතියේ රහස් නිහඬ අනුමැතිය මත, බලාත්මකව පැවති බව යි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වැනි ආයතන 2022 දී පිහිටුවන ලද ආයතන නොවේ. ඒවා තුළ අනීතිකව රඳවා ගනිමින්, ක්‍රෑර වදහිංසාවන්ට පාත්‍ර කිරීම පිළිබඳ චෝදනා එල්ලවීම ආරම්භ වූයේද 2022 පටන් නොවේ. එහෙත් එවන් මර්දනකාරි ආයතන තිබෙන බව අපට සිහිපත් කර ඇත්තේ වසන්තලා හා සිරිධම්මලා අත් අඩංගුවට ගැනීම විසිනි.

ආරම්භයේ සිට අද දක්වාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වැඩියෙන්ම ගොදුරව තිබෙන්නේ දෙමළ ජනයා වේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කළ සමයේ සිට ම උතුරු නැගෙනහිර දෙමළ ජනයා ඊට සාමූහිකව විරුද්ධ වූ අතර, විශේෂයෙන් උතුරු නැගෙනහිර විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කළහ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි දකුණේ මෑත කාලීන විරෝධතා ඇවිල යන විට දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ අරගලය අඛණ්ඩව දශක ගණනක් පුරා සිදුවෙමින් පැවතුණි. එහෙත් දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බවට අවධාරණය කරන සමාජ ව්‍යාපාරවලට, එකී පනතට එරෙහිව දීර්ඝ කලක් තිස්සේ දෙමළ ජනයා කරගෙන යන අරගලය හා පෙළට සිට ගැනීමට එදත් අදත් අමතකව ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජා ජෙයප්‍රකාෂ් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, පූජකවරයෙක්, වෛද්‍යවරු ඇතුළු පිරිස නිදහස් කරන ලෙස බල කරමින් යාපනය විශ්වවිද්‍යාලය තුළ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් විසින් පවත්වන ලද අඛණ්ඩ සත්‍යග්‍රහය. ඡායාරූපය උපුටා ගැනීම- ඊළනාඩු පුවත්පත (1983/02/02)

දකුණේ දැන් මතුව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි විරෝධය තුළින් මතුවන බරපතල දේශපාලනික ගැටළු තිබේ. මේ මොහොත වන විටත් දශක ගණනක් තිස්සේ චෝදනා රහිතව අත් අඩංගුවේ පසුවන දෙමළ දේශපාලන සිරකරුවෝ සිටිති. පාස්කු ඉරිදා පිපිරීම් දඩමීමා කරගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිශ්චිත සංඛ්‍යාවක් දැක්විය නොහැකි මුස්ලිම් තරුණ තරුණියන් සිය ගණනක් ද අත් අඩංගුවේ පසුවෙති. එහෙත් දකුණේ විරෝධතා භ්‍රමණය වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගොදුරු කරගත් සමස්තයක් දේශපාලන සිරකරුවන් නොව, මෑතකදී අත් අඩංගුවට ගත් දකුණේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ පුද්ගල නාම වටා ය. දේශපාලන සිරකරුවන්ගේ ගැටළුව දෛනික ජීවිතයේ ගැටළුවක් වූ නැගෙනහිර පළාතේ මඩකලපුවේ දී සිදු කළ විරෝධතාවයකදී පවා දකුණේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කිරීමේ ඉල්ලීම පමණක් මතු කර තිබීම මීට කදිම නිදසුනකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි දකුණේ පැන නැඟී ඇති විරෝධතා උත්සුක වන්නේ තමන් ත්‍රස්තවාදීන් නොවන බවට කරුණු පෙළගැස්වීමට යි. පනතට එරෙහිව මතුව ඇති හදිසි විරෝධය ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කිරීමෙන් පසු දියව යා හැකි, පුරුදු ඉතිහාසයම අලුත් වටයකින් ඇරඹීමේ හැකියාවක් ඇති බවට ඇඟවුමක් එතුළ නොමැති ද?

වසර ගණන් දශක ගණන් චෝදනා රහිතව සිරගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවෝ එක්කෝ තමන් නිදහස් කරන ලෙසත් නැත්නම් නඩු විභාග කර දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලමින් මාරාන්තික උපවාස කරති; ඒවායේ දී මියෙති. දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් අනේක විධ වෙනස්කොට සැළැකීම්වලට වර්ගවාදී ප්‍රහාරයන්ට ලක්වීමේ සිදුවීම් ඉතා මෑත අතීතයේත් වාර්තා විය. නමුත්, ජීවිතය ඉල්ලා මිනිස්සුන්ට මරණය තෝරා ගැනීමට සිදුවීම ගැන සිතන්නට අප පෙරට එන්නේ කවදාද යන ගැටළුව 2022 වසර අවසාන වනවිටත් පිළිතුරු ලැබී නැති පැනයකි.

1981 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගනු ලැබ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටිය දී 1983 ජූලියේ දී වැලිකඩ බන්ධනාගාරයේ සංහාරය තුළ හී ඝාතනය වූ කුට්ටිමනීගේ ප්‍රකාශයෙන් බිඳක් මෙහිදී සටහන් කළ යුතු ය. එය කළ යුත්තේ, අපේ මෑතකාලීන ඉතිහාසය දැන සිටීමත් සම්මුති විරහිතව යුක්තිය තෝරා ගැනීමත් වැදගත්කොට සළකන කිසිදු අරගලයක් පරාජය නො කරන බව සිහිපත් කරනු පිණිස ය.

“අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමාගේ නිදහස ද වළලා ගනී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු ද්‍රවිඩ ජනයාට විරුද්ධව පාවිච්චි කරන අශීලාචාර නීතියකි. අපට අත් වූ ඉරණම ශ්‍රී ලංකා ජනතාවටද මතු දිනක අත්වනු ඇත. මෙම නීතිය සමඟ මා සිංහල ජනයා සිහි කරන්නේ අනුකම්පා පෙරදැරිව ය. දෙමළ ඊළම් ජයග්‍රහණය කළ පසුත් ශ්‍රී ලංකා රජයේ මෙම නීතිය ඒ රටේ පවතිනු ඇත. එදාට අලිමංකඩ වධ කඳවුර හම්බන්තොටට ගෙනයනු ඇත. ගුරුනගර් වධ කඳවුර කුරුණෑගලට ගෙන යනු ඇත. අද ද්‍රවිඩ තරුණයන් වෙනුවට සිංහල තරුණයන් එදාට ඒවායෙහි වධ විඳිනු ඇත. ඒ නිසා අද සිටම සිංහල ජනයා මේ අසීලාචාර පනතට විරුද්ධව සටන් කළ යුතු ය.” (7)

(1) රාජන් හූල්, ‘ශ්‍රී ලංකාව බලයේ මහන්තත්වය; මිත්‍යා, පරිහානය සහ මනුෂ්‍ය ඝාතන’, 2003, පි.59
(2)  https://groundviews.org/2022/02/09/the-tragic-lives-of-women-victims-of-the-pta/
(3) භාෂණ අබේවර්ධන, සමකය – මව්බිම, 2006 දෙසැම්බර් 17
(4) භාෂණ අබේවර්ධන, සමකය – මව්බිම, 2006 දෙසැම්බර් 17
(5) “මානව හිමිකම් කතා කරමුද? අමතක කරමුද?”, දියැස සඟරාව, 2008 ජනවාරි-පෙබරවාරි කලාපය
(6)  භාෂණ අබේවර්ධන, සමකය – මව්බිම, 2006 දෙසැම්බර් 17
(7) විවරණ සඟරාව, 1988 මාර්තු කලාපය

උපුටාගැනීම : https://sahurdaspandana.blogspot.com

Social Sharing
නවතම විශේෂාංග