අයිස් නාඩගම

ලංකාවෙ දේශපාලනය තීරණය වෙන්නෙ අධි තාත්වික නාඩගම් හා නාට්‍ය මත කීවොත් ඒක අතිශෝක්තියක් නෙවේ. කාලෙන් කාලෙට වේදිකාවට ගොඩකරන මේ නාඩගම් සමහරක් විහිළුකාරීයි. එහෙමත් නැත්තං බොළඳයි. තවත් නාට්ටි අණතුරුදායකයි. සමහර නාඩගම් කොයිතරම් දරුණුයිද කියනව නම් ජීවිත සිය දාස් ගාණක් අහිමි වෙනවා ඒ හරහා. බොහොමයක් නාට්ටිවලට මූලික වෙන්නෙ ජාතිය, ආගම, දෙවියන්, නාගයන්, සංස්කෘතිය, ඊනියා බටහිර, කාන්තාවන් හා කන්‍යාවන්, වගේ එක්තරා රාමුවක මාතෘකා.

ජාතිය බේරා ගැනීමට රණවිරුවෙකු නිර්මාණය කිරීම… පාස්කු ප්‍රහාරය… කැළණි ගඟෙන් ණයෙක් මතුවීම… මේසන් බාස් කෙනෙක් විසින් කාලි අනුග්‍රහයෙන් පැණියක් නිර්මාණය කිරීම.. නාථ දෙවියන් දියවැඩියාවට බෙහෙත් දීම ආදී වශයෙන් විශාල පරාසයක නාට්ටි සමාජගත වෙනවා පහුගිය කාලේ. අමුතු දෙරණ, කළුවර හිරු වගේ ජඩ මාධ්‍යයත් සමාජ මාධ්‍යයේ මෝඩ කතා ලියන පේජ් කල්ලිත් මේ විකාර දුප්පත් මිනිස්සුන්ගෙ ඔළුවලට ඔබ්බවනවා. රට ජාතිය, බුද්ධාගම බේරා ගැනීම, ඇතුන් හා නයි ගැන ඇසූ පමණින් ලාංකිකයන්ගෙන් සීයට හැත්තෑ පහක් වත් අඩුම තරමෙ මේ බොරු කතන්දර හිස් මුදුනින් පිලිගන්නවා.

මේ නාට්ටි මාලාවෙ අලුත්ම කතාව තමයි අයිස් හෙවත් ක්‍රිස්ටල් මෙත්. ක්‍රිස්ටල් මෙත් විදිහට ප්‍රසිද්ධ වෙන මේ ඖශධයේ හෝ මත්ද්‍රව්‍යයේ සැබෑ නම මෙතාම්ෆෙටමීන්. METHAMPHETAMINE. මේ නම N,α-dimethylbenzeneethanamine කියන රසායනික නමේ කෙටි නාමය කිව්වොත් වරදක් නෑ.

ලෝකය පුරාම ප්‍රසිද්ධ වූ බ්‍රේකින්ග් බෑඩ් “ Breaking Bad” නාට්‍ය මාලාව බලලා තියනවා නම් ක්‍රිස්ටල් මෙත් ගැන ඔබ අනිවාර්‍යයෙන්ම දන්නවා. වෝල්ටර් වයිට් කියන රසායන විද්‍යා ගුරුවරයා තමන්ගෙ පරණ ගෝලයෙක් වූ ජෙස් පින්ක්මන් එක්ක එකතුවෙලා ගොඩනගන ක්‍රිස්ටල් මෙත් ලෝකය ඉතාම ආකර්ශණීයයි. ශැල් වී කුක් ජෙස් Shall we cook.? කීවම නරඹන්නන් දන්නව මොකක් ගැනද මේ කතා කරන්නෙ කියල. වෙලාවල් ලැබුනොත් බලන්න ඒක හරි අපූරු නාට්‍යයක්. පොරොන්දුයි, මන්දිරා… මහ ගෙදර… තුල්සී වගේ ඉන්දියානු කෝලම් වලට වඩා විශිෂ්ඨයි.

සමහර වසංගත ලංකාව වගේ දූපත් වලට එන්නෙ පරක්කු වෙලා. ක්‍රිස්ටල් මෙත් කියන්නෙත් පරක්කු වෙලා ආපු පැරණි මත් ද්‍රව්‍යයක් මිස ලෝකයට අළුතින් එකතු වූ මත්ද්‍රවයක් නෙවේ. මෙතාම්ෆෙටමින් මුලින්ම නිෂ්පාදනය වෙන්නෙ 1887 වර්ෂයේදී ඇම්ෆෙටාමීන් විදිහට ජර්මනියේදී. මෙතාම්ෆෙටමීන් රසායනික සංඝඨකය C10H15N විදිහට හඳුන්වන්න පුළුවන්.

මේ ඖෂධය මගින් සිද්ධ වෙන්නෙ මොකද්ද.?

මිනිස් මොළයේ නිපදවෙන විවිධ රසායනික සංයෝග හේතුවෙන් මිනිස් හැසිරීම, හැඟීම් සහ හැකියාවන් තීරණය වෙන බව අපි ඉගෙන ගත්තෙ පාසැල් යන කාලයේදීමයි. ඩොෆමීන් (Dopamine) කියන්නෙ මේ වගේ රසායනික සංඝඨකයක්. සතුට, උද්‍යෝගය, බය නැති කම, කැපවීම, සිනහව, ශක්තිය වගේ දේ නිර්මාණය වෙන්නෙ මොළය තුල ඇති ඩොපමීන් මට්ටම අනුව. (Dopamine is a chemical released in the brain that makes you feel good.) මෙතාම්ෆෙටමීන් මගින් කරන්නෙ මෙන්න මේ ඩොෆමීන් නිපදවීමේ හා නිදහස් කිරීම හැකියාව ඉහල දැමීම කියල අපි සරලව තේරුම් ගමු. මානසික ආතතිය, පීඩනය, වෙහෙස, කලකිරීම වගේ තත්වයන් පාලනය කරන ඖශධයක් විදිහට ඇම්ෆෙටාමීන් ඉක්මනින්ම ජනප්‍රිය වෙනවා. ජර්මනියේ උපත ලැබුවට මෙතාම්ෆෙටමීන් භාවිතා කිරීමේ පහසු රසායනික ද්‍රව්‍යයක් බවට පත් කරන්නෙ ජපානය විසින්. ඒ 1919 වර්ෂයේදී. ජලයේ දිය කළ හැකි සුදු පැහැති ක්‍රිස්ටල් හෝ පව්ඩර් විදිහට ජපනුන් විසින් වැඩි දියුණු කරන මෙතාම්ෆෙටමින් ඉතාම ඉක්මනින් ජනප්‍රිය වෙන්නෙ හමුදා පුද්ගලයන් අතර.

දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මන් පක්ෂ කණ්ඩායම ඇතුලෙ වගේම මිත්‍ර හමුදාවන් අතරත් ක්‍රිස්ටල් මෙත් භාවිතය ඉහළ යන්නෙ රාජ්‍ය අනුග්‍රහයෙන් බව කීවොත් ඒක අතිශෝක්තියක් නෙවේ. දිගු කාලයක් අවධිව සිටීම, අවධායනය, උද්‍යෝගය, බය නැතිවීම වගේ හමුදාවන්ට අවශ්‍යම ගුණාංග මේ ක්‍රිස්ටල් මෙත් මගින් ලබාදෙනවා. අද කමීකාස් කියන නම ජනප්‍රිය යුක්‍රේණයට පහර දෙන ඉරාන ඩ්‍රෝන විශේෂයක් විදිහට. නමුත් කමීකාස් කියන්නෙ දෙවන ලෝක යුද්ධ සමයේ ජපන් හමුදාව භාවිතා කරපු මරාගෙන මැරෙන ගුවන් යානා විශේෂයකට. ප්‍රහාර වලට පිටත් වීමට කලින් මෙතාෆෙටමීන් අධි මාත්‍රාවන් එන්නත් මගින් ජපන් කමීකාස් ගුවන් නියමුවන්ට ලබාදුන් බව ඉතාම ප්‍රසිද්ධ කාරණයක්. මානසික ශක්තිය, පෙළඹවීම, උද්‍යෝගය ඉතාම ඉහල මට්ටමක පවත්වා ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්න ජපන් ගුවන් නියමුවන් පෙලඹුනේ කොහොමද කියන එක අපිට තේරුම් ගන්න අපහසු නෑ.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පස්සෙ එලඹෙන හැටේ දශකය නිදහසේ සීමා මායිම් ඉක්මවා ගිය කාලයක් බව අපි දන්නවා. හමුදාවන් අතරට සීමාවෙලා තිබුනු ක්‍රිස්ටල් මෙත් සිවිල් සමාජය ආක්‍රමණය කරන්නෙ මෙන්න මේ කාලයේදීයි. රොක් ඇන්ඩ් රෝල්, රොක්, ඩිස්කෝ සංගීත කණ්ඩායම් අතර ක්‍රිස්ටල් මෙත් ඉක්මනින්ම ජනප්‍රිය වෙනවා. සංගීත කණ්ඩායම් අතර වගේම, නර්තන ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, ලිංගික සේවා සපයන්නන් අතරත් මේ මත්ද්‍රව්‍යයට ඉහළ පිළිගැනීමක් ලැබෙනවා.

රසායනික ද්‍රව්‍ය ගැන ඉහළ දැනුමක් ඇති කෙනෙක්ට මෙතාම්ෆෙටමීන් නිෂ්පාදනය කිරීම ඒ තරම්ම අසීරු කාරණයක් නෙවේ. නියමිත රසායනික ද්‍රව්‍ය මාත්‍රාවන් උපකරණ හා පිරිසිඳු මුළුතැන්ගෙයක් දැනුම ඇති පුද්ගලයෙක්ට ලැබුනොත් දවස් දෙකක් තුල මේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න පුළුවන්.

ඊගල්ස් සංගීත කණ්ඩායමේ හොටෙල් කැලිෆෝනියා. ( Hotel California – Eagles) ගීතයට හොඳින් සවන් දුන්නොත් අපිට වටහා ගන්න පුළුවන් මොන විෂයක් ගැනද මේ සිංදුව කතා කරන්නෙ කියලා. කැලිෆෝනියා ප්‍රන්තයේ ලක්ෂ ගණනක් දෙනා ක්‍රිස්ටල් මෙත් වලට ගොදුරු වෙනවා. ඒ හරහා ලෝකයට අහිමි වූ දක්ශයන්, කලාකරුවන්, බුද්ධිමතුන් සංඛ්‍යාව අති විශාලයි.

1980 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ක්‍රිස්ටල් මෙත් අණතුරුදායක මත්ද්‍රව්‍යයක් ලෙස නම් කරනව වගේම නිෂ්පාදනයත් භාවිතයත් තහනම් කරනවා. මේ තරම් වටිනා හැඟීම් හා හැකියාවන් ලබාදෙන ක්‍රිස්ටල් මෙත් තහනම් කරන්නෙ ඇයි කියන ගැටලුවයි අපිට මීළඟට මතුවෙන්නෙ.

ක්‍රිස්ටල් මෙත් වලට ඇබ්බැහි වීම ඉතාම ඉක්මනින් සිදුවෙන දෙයක්. මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන සැනින් හැමදේම සුන්දරයි. පැය දහයක් දොලහක් මේ සුන්දර ලෝකයේ ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ කාලය තුළ සාමාන්‍ය හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කෑම අරුචිය ඇතිවෙද්දි අධික පිපාසය දැනෙනවා. ශරීර ප්‍රමාණය ශක්තිය හා හැකියාව අනුව සිරුරට ඔරොත්තු දෙන මෙතාම්ෆෙටමීන් ප්‍රමාණය විවිධයි. නමුත් දවසකට ග්‍රෑම් දෙක තුනකට වඩා පාවිච්චි කරොත් දවස් ගානක් යනකල් නින්ද අහිමි වෙනවා. ඕවඩෝස් හෙවත් ප්‍රමානය ඉක්මවා භාවිතය කෙලවර වෙන්නෙ මරණයෙන්. හෘද ආබාධ හෙවත් ස්ට්‍රෝක් හේතුවෙන් මරණය ඇතිවීම ඉතාම සුලභයි මේ මත්ද්‍රවය භාවිතය තුළ. හෘද ස්පන්ධනය වේගවත් වීම. ස්වසන වේගය ඉහළ යාම. මාංශ පේශීන් තදවීම. හිසේ කැක්කුම.
තීරණ ගැනීමේ අපහසුව වගේ ක්ශණික ලක්ශණ අපිට දකින්න පුළුවන් ක්‍රිස්ටල් මෙත් ලබාගැනීමත් එක්කම. විශාල මානසික ශක්තියක් හෝ කැපවීමක් නැතිනම් ක්‍රිස්ටල් මෙත්වලින් මිදීම ඉතාම අපහසු කාරණයක්. හෙරෝයින් තරම්ම ඇබ්බැහිවීමේ ශක්තිය ඉහළයි.

එක්දාස් නවසිය හැට ගනන් වල ඇමරිකානු සිසුන් අතර ක්‍රිස්ටල් මෙත් භාවිතය ජනප්‍රිය වෙන්නෙ දිගු කාලයක් අවධිව සිටීමටත් අධ්‍යයන කටයුතු වලට අධික අවධානය දීමටත් යන කරුණු හේතුකොට ගෙන. නමුත් මේ හරහා සිද්ධ වෙන්නෙ සංගීතය… ලිංගික සම්භන්ධතා හා විනෝදයට මුල් තැන දීමත් අධ්‍යයන කටයුතු දෙවනි තැනට වැටීමත් බව බොහෝ දෙනෙක් තේරුම් ගන්නෙ පරක්කු වෙලා. ආහාර පාන නිසි පරිදි නොගැනීම… විවේකය හා නින්ද නොමැතිවීම… අයහපත් ශරීර සෞඛ්‍ය හා සනීපාරක්ශාව නොමැති කම මත ක්‍රිස්ටල් මෙත් හරහා නිර්මාණය කරන්නෙ එක්තරා ආකාරයක සොම්බීන් කොටසක්. ඒත් එක්කම තමන්ගේ ඇබ්බැහිවීම සාධාරණීකරනය කරන්න හෝ ඒ බව ප්‍රථික්ශේප කරන්න මේ අය සැබෑ දක්ශයො.

ඇමරිකා එක්සත් ජනපදයටත් වඩා මෙක්සිකෝව අද ක්‍රිස්ටල් මෙත් නිෂ්පාදනය කරන්නෙ ඒ හරහා ලබාගත හැකි අධික ආදායම නිසා බව හැමෝම දන්න කාරණයක්. චීනය, තායිලන්තය, පිලිපීනය හා වියට්නාමය ක්‍රිස්ටල් මෙත් නිපදවීම අතින් ඉහලින්ම ස්ථාන ගත වෙද්දි ලංකාවට ලැබෙන මෙතාම්ෆෙටමීන් චීනයේ හා තායිලන්තයේ නිෂ්පාදන බව ප්‍රසිද්ධ රහසක්. යුරෝපීය රටවල් අතරින් බෙලරුසියාව, රුසියාව, චෙක් හා නෙදර්ලන්තයේ මේ නිෂ්පාදන ඉහලයි. නමුත් ලංකාව වගේ රටවල බටහිර විරෝධී යුරෝපා විරෝධී හෝ ඇමරිකානු විරෝධී ආකල්ප වර්ධනය වුනත් චීන හෝ රුසියානු විරෝධී සටන් පාඨ ඇහෙන්නෙම නැති තරම්.

ක්‍රිස්ටල් මෙත් කියන්නෙ මිළ අධික මත්ද්‍රව්‍යයක්. යුරෝපයේ නම් කොකේන් වගේ තුන් හතර ගුණයක මිලක් අයිස් වලට ගෙවන්න වෙනවා. ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් මිළදී ගන්න ලොකු මුදලක් අවශ්‍ය වෙනවා. පාවිච්චි කරන්න වීදුරු පයිප්පයක් හෝ ඉන්ජෙක්ශන් උපකරණ අවශ්‍ය වෙනවා. අයිස් පාවිච්චි කරල දරුවෙකුට බැහැ කිසි දෙයක් සිදු නොවූ ආකාරයට ගෙදර එන්න. ඒක හරියට සිගරට් එකක් හෝ ගංජා සුරුට්ටුවක් උරල ගෙදර එනව වගේ නෙවේ. හැසිරීම, කතාබහා, පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව ක්‍රිස්ටල් මෙත් පාවිච්චියෙන්. ඒ නිසා අපි හොඳින් වටහා ගත යුතුයි මේ දේශපාලන උප්පරවැට්ටිය ගැන.

ඊලඟට අපි අහන ප්‍රශ්ණය තමයි කොහොමද පාසැල් සිසුන් අතරෙ මේ මත්ද්‍රව්‍ය ජනප්‍රිය වෙන්නෙ කියලා. ඒක කරන්නෙ ලංකාවෙ දේශපාලකයන් විසින්. පාස්කු ප්‍රහාරය නිර්මාණය කරල මුස්ලිම් විරෝධයත්, ආරක්ශාව පිළිබඳ සැකයත් ඇති කරපු පාලකයන්, කැළණි නයි නාඩගම හරහා බෞද්ධ උද්‍යෝගය නිර්මාණය කරනවා. ඊළඟට ලංකාවෙ බහුතරයකගේ ඔළුවට ඇතුල් විය හැකි හොඳම මාර්ගය තමයි පාසැල් දරු දැරියන්. ලංකාවෙ බහුතරයක් දෙමාපියන් නොකා නොබී හෝ තමන්ගෙ දරුවන්ව පාසැල් යවන්නෙ අධ්‍යාපනයේ වැදගත්කම දන්න නිසයි. බොහෝ දෙනෙක්ගෙ ජීවිතයේ එකම අරමුණ තමන්ගෙ දරුවන් හා ඒ අයගෙ අධ්‍යාපනය. දේශපාලකයන් කරන්නෙ පාසැල් සිසුන් අපහසු තාවට පත් කිරීමත් ඒ හරහා දෙමව්පියන් තුළ භීතිය ඇති කිරීමත් බව වටහා ගැනීම ඉතා වැදගත්.

ලංකාවට මත්ද්‍රව්‍ය ගේන්නෙ කවුද? දේශපාලකයන්. හෙරෝයින් හා ක්‍රිස්ටල් මෙත් ව්‍යාපාරය සඳහා ප්‍රසිද්ධ මීගමුව ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බේරාගැනීමට මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයකින් ගිය බව මුළු ලංකාවම දන්නව. ඊළඟට මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ප්‍රසිද්ධ ඒ වගේම මිනී මැරුම් චෝදනාවට වරදකරු වෙලා හිටපු දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කලේ ගෝඨාභය රාජපක්ෂ විසින්.

අද ලංකාවෙ පාර්ලිමේන්තුවේ ඉන්න සීයට අනූවක් දෙනා වංචාකාරයන්. ඒ අයගෙන් වැඩි දෙනා බාර් හිමියන්. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් හතර පස් දෙනෙක් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරනවා නම් ලංකාවෙ අද අයිස් ජාවාරමක් නෑ. ලංකාවෙ පොලීසිය, මත් ද්‍රව්‍ය නිවාරණ අංශය හා රේගුව තමන්ගෙ රස්සාව හරියට කරනව නම් අසරණ පාසැල් දරුවන්ගෙ බෑග් පරීක්ශා කරමින් මේ තරම් විකාරයක් නටන්න පොලීසියට අවශ්‍යතාවයක් නෑ

ලංකාවෙ පාසැල් දරුවන් ගැන කණගාටුයි. පොලීසිය කරන්නෙ මේ දරුවන්ගෙ මානසික මට්ට්ම බිංදුවට බස්සන එක. උදේ පාන්දර පැය ගනන් බස් වල රස්තියාදු වෙලා පයින් ගාටල මහන්සි වෙලා ඉස්කෝලෙට එනකොට උජාරුවට නිළ ඇඳුමක් පටලවාගත් මිනිස්සු තමන්ගෙ පොත් බෑගයට එබෙද්දි ඒ දරුවන්ගෙ මානසිකත්වය ගැන කතා කළ යුතු නෑ.

රාජපක්ෂ වික්‍රමසිංහ මැර කණ්ඩායම් හැර අනිත් දේශපාලකයන්ට යුතුකමක් තියනව මේ ගැන හඬ නගන්න. දේශපාලන පක්ශය හෝ අදහස් කුමක් වුනත් හරිනි අමරසූරිය, ශානික්‍ය රාසමානික්කම්, සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක, පාඨලී රණවක වැනි අයට වගකීමක් තියනවා පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරන්න.

ලංකාව ඇතුලට මත්ද්‍රව්‍ය ගේන දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් කීප දෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරානම් පාසැල් ඉස්සරහ පොලීසියේ රඟපෑම අවශ්‍ය වෙන්නෙ නෑ. ලංකාව කියන්නෙ දූපතක්. නැව් බෝට්ටු හා අහස් යානා මගින් ඇරුනම ක්‍රිස්ටල් මෙත් එර්දියෙන් අහසින් වඩින්නෙ නෑ ලංකාව ඇතුලට.

පාසැල් දරුවන් හරහා ඔළුවට රිංගවන මේ නාඩගම අවසන් වෙන්නෙ මත් රකුසාගෙන් රට බේරාගැනීමට රාජපක්ෂ කෙනෙකු පත්කරමු කියන උදෘත පාඨයෙන්. ඒ හරහා මිග් ගනුදෙනුව මහ බැංකු වංචාව පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙලිවූ රාජපක්ෂ වංචාවන් සුනාමි වංචාව පාස්කු ප්‍රහාරය සඳහටම අමතක වෙලා යන්න පුළුවන්.

අද ලංකාවෙ බහුතරයට දවසට වේල් දෙකක් ලබාගැනීමත් ප්‍රශ්ණයක්. නමුත් අමතක කල යුතු නෑ මේ යටින් දිවෙන දේශපාලන උප්පරවැට්ටි ගැන. අයිස් නෙවේ…. මේ ක්‍රිස්ටල් මෙත් හරහා දේශපාලකයන් හොරකම් කරන්නෙ අද දවස විතරක් නෙවේ. හෙට දවසත් ඔවුන් මේ හරහා හොරකම් කරනවා.

Malcom sang ෆේස්බුක් පිටුවෙනි

 

 

Social Sharing
අවකාශය නවතම