දිනේශ් ශාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද..?

 

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ඔහුගේ මොළය මියගොස් තිබූ බව පරීක්ෂණවලින් තහවුරුවී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු වාර්තාවල සඳහන් වන්නේ ශාෆ්ටර් මහතා රෝහල් ගතකරන විටත් මියයමින් සිට ඇති බවයි.

එසේනම් දිනේශ් ශාෆ්ටර් මහතා මියගියේ කෙසේද?

බොරැල්ල පොදු සුසාන භුමියේ ගෙල සිරවන ලෙස බැඳ දමා සිටි දිනේෂ් ශාෆ්ටර් මහතා දෙසැම්බර් 15වැනිදා පස්වරු 3.55ට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.

වෛද්‍ය වාර්තා අනුව ඔහුව රෝහල් ගත කළ වහාම වෛද්‍යවරුන් හෘදය යළි පණ ගන්වා යන්ත්‍ර මගින් ජීවිතය පවත්වාගෙන යාමට උත්සහ කර තිබුණත් එය අසාර්ථක වී තිබේ.

එදින රාත්‍රියේ ශාෆ්ටර් මහතා මියගිය බවට ප්‍රකාශකර තිබුණේ ඉන් පසුවයි.

කෙසේවෙතත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පශ්චාත් මරණ පරීක්ණ වාර්තාවේ දැක්වෙන්නේ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය, තන්තුවකින් ගෙල සිරවීමෙන් සිදුවු මරණයක් බවට පමණි.

මෙය ඝාතනයක් ද සියදිවි හානි කරගැනීමක් ද?

රස පරීක්ෂකවරුන් ශාෆ්ටර් මහතාගේ නිවසේ සිදුකළ පරීක්ෂණවලදී ඔහුගේ ගෙල බැඳ දමා තිබූ වයරයට සමාන වයර් කොටසක් සහ අත් දෙක බැඳ දමා තිබූ වර්ගයේ ප්ලාස්ටික් රැහැන් හමුව තිබේ.

මේ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙය සියදිවි හානි කරගැනීමක් විය හැකිද? යන්න අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන්ගෙන් විමසීමක් කර ඇති බව සඳහන් වේ.

එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ ස්ථානීය සාක්ෂි විනාශ කර තිබීම හේතුවෙන් පිටස්තර පුද්ගලයෙකු ගෙල සිර කළා ද සියදිවි නසාගත්තා ද යන්න විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි බවය.

ඔහුගේ මරණය ඝාතනයක්ද? සියදිවි හානිකර ගැනීමක් ද? සාක්ෂි මගින් අනුමාන කළ නොහැකි ද?

දිනේෂ් ශාෆ්ටර් මහතා සුසාන භූමියේ සිට ඔහු බැඳ දමා සිටි මෝටර් රථයෙන්ම රෝහල වෙත රැගෙන යාමට ඔහුගේ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වෙන ක්‍රිෂ් පෙරේරා මහතා කටයුතු කර තිබුණි.

මේ හේතුවෙන් ස්ථානීය සාක්ෂීය විනාශ වී තිබීම මත මෙය ඝාතනයක්ද සියදිවි නසා ගැනීමක්ද යන්න විද්‍යත්මකව තහවුරු කර ගැනීමේ ගැටලුවක් මතුව තිබේ.

ඉදිරිපස ආසනයේ සිටි ශාෆ්ටර් මහතාගේ ගෙල සිරකර තිබු රැහැන සොයා ගැනුණේ පසුපස ආසනයේ තිබියදීයි.

අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳව විශේඥයින් පෙන්වාදෙන්නේ ගෙල සිරවන සේ මෙවැනි තන්තුවකින් අඛණ්ඩව ගෙල තද කර තැබුවහොත් මොළයට ලේ ගමනාගමය අඩාලවී මොලය මිය යන බව ය.

ශාෆ්ටර් මහතා මියගියේ කීයටද?
ඔහු මිය ගිය වේලාව මත හෝඩුවාවක් සොයාගත හැකිද?

ශාෆ්ටර් මහතා මිය යාමට මද වේලාවකට පෙර බොරැල්ල මලලසේකර මාවතේ කෙටි ආහාරහලකින් ආහාර මිලදී ගෙන ඇති බවට පොලිසිය ප්‍රකාශ කළේ ය.

මරණ පරික්ෂණයේදී එම අහාර ශාෆ්ටර් මහතාගේ ආමාශයේ තිබී හමුව තිබේ.

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති මරණ පරීක්ණ වාර්තා අනුව ශාෆ්ටර් මහතාගේ මොළය මියගිය තත්ත්වයට පත්ව ඇත්තේ නිවසින් පිටත්වූ වේලාවේ සිට විනාඩි 30ත් 40ත් අතර කාලය තුළ ය.

ඔහු නිවසින් පිටත්වූ වේලාව වුයේ පස්වරු 1.55 ලෙස බොරැල්ල පොලීසිය වෙත ශාෆ්ටර් මහතාගේ බිරිඳ ප්‍රකාශ කර තිබුණි.

එය නිවරැදි නම් ශාෆ්ටර් මහතා පස්වරු 2.35ට මරණීය තත්ත්වයට පත්ව තිබිය යුතු ය.

එහෙත් එදින පස්වරු 2.42ට සහ 2.43 දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දුරකතනයෙන් වට්ස්ඇප් පණිවිඩයක් නිකුත් වීම මෙය ඝාතනයක් බවට වන සැකය තීව්‍ර කරන්නකි..

ඇත්තටම සිදුවූණේ කුමක්ද?

(newsfirst)

Social Sharing
නවතම පුවත්