19 අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මල ගමද?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මූලික ඉලක්කයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට රාජ්‍ය අංශයේ ප්‍රබල වෘත්තීය සමිතියක් රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමගම අභියෝග කර තිබේ.

ජනාධිපතිවරයාගේ බලතල සීමාකෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හකුලා දැමීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය යොදා ගැනීමේ අභිලාශය මේ වනවිට ආණ්ඩුවේ බලවත් නායකයන් විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

“රජයේ මූලික ඉලක්ක දෙකක් තිබෙනවා. ඉන් පළමු කටයුත්ත පසුගිය යහපාලන රජය ගෙනා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම,” යැයි අමාත්‍ය මණ්ඩලය නම් කිරීම මුවවිට තිබියදී ප්‍රකාශයක් කර තිබුනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ නව රජයේ අධිකරණ ඇමති ධූරයට පත් වූ මොහමඩ් අලි සබ්‍රි ජනාධිපති නීතිඥවරයායි.

ආණ්ඩුවේ සැලසුම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් ලෙසින්  ලංකා ගුරු සංගමය විසින් හෙලා දැක තිබේ.

“19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ජනතාව දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්,” යයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

“එය අහෝසි කරන බවට මේ ඊයේ පෙරේදාත් ප්‍රකාශයක් කළා. එය බරපතල වරදක්. ජනතාව දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් ආපසු හැරවීමක්. එය නතර කිරීමට ආණ්ඩුවට බලපෑම් කිරීමට වුව පසුබට වන්නේ නෑ.”

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන ලද්දේ 2015 දී බලයට පත් වූ මෛත්‍රී – රනිල් යහපාලන රජයයි. මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළින් මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම හා මැතිවරණ කොමිසම නීතිගත කරමින් එකී කොමිසම්වල සාමාජිකයන් පත්කිරීම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවකට බලය පවරන ලදී .ඒ තුළින් එතෙක් මෙම කොමිසම් සඳහා ප්‍රධානීන් හා සාමාජිකයන් පත්කිරීමේ විධායක ජනාධිපතිවරයා සතු බලතල අහෝසි වී යාමෙන් එම සියලුම කොමිසම් ස්වාධීනත්වයකට පත්විය.

එලෙසින්ම ඊට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කිසිදු ජනතා විමසීමකින් හෝ පාර්ලිමේන්තුවේ සිදු කරන ලද දීර්ඝ විවාදයකින් හෝ තොරව ඉතා කඩිමුඩියේ ගෙනෙන ලද 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද අහෝසි විය. එමගින් එක් පුද්ගලයකුට ජනාධිපතිධූරය සඳහා තරග කිරීමට හැකි අවස්ථා ගණන වාර දෙකකට සීමා කරන ලදී.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පිළිබඳව දිගින් දිගටම විරෝධය පලකළ ලංකා ගුරු සංගම් ලේකම්වරයා තව දුරටත් කියා සිටියේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කොමිසම් ස්ථාපිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදය දෙසට ගමන් කිරීමට තැබූ මූලික අඩිතාලමක් බවයි.  වර්තමාන රජය කළ යුත්තේ එතැන්සිට ප්‍රජාතන්ත්‍රවාදය තව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට යාම මිස ඒවා ආපසු හැරවීම නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

තොරතුරු දැන ගැනීමේ පනත මුලික අයිතිවාසිකමක් බවට නීති ගත කරනු ලැබුවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යැයි පෙන්වා දුන් ජෝසප් ස්ටාලින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා දිනාගත් මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිලිබඳව තම සංවිධානය අවධානයෙන් සිටින බවත්, ඒවා රැකගැනීම වෙනුවෙන් දිගටම පෙනී ඉන්නා බවත් වැඩිදුරටත් කියා සිටියේය.

Social Sharing
නවතම