බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය

– සී ජේ අමරතුංග –

ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර බිල්ලන් මැවීම මේ මොහොතේ ජයට ම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජන එල්ල වන්නේය’ කීමේ සිට කොළඹට ජලය නැති වීම, කෘෂිකර්මයට ජලය නැති වීම, විදේශ විනිමය රටට ලැබෙනවාට වඩා පිටට ගලායාම ආදී මෙකී, නොකී ආකාරයෙන් මෙම බිල්ලන් මැවීම සිදුවෙමින් පවතියි.

මෙම විවිධාකාර බිල්ලන් පිළිබඳව කතා කිරීම හෝ ඒවායේ බොළඳ බව පෙන්වා දීම හෝ මෙම ලිපියේ අරමුණ නොවේ. ඒ වෙනුවට මෙම කෙටි ලිපිය මගින් පෙන්වා දෙන්නට උත්සහ දරන්නේ අතීතයේ සිට මෙරට ජනතාවට මෙබඳු බිල්ලන් මැවීමේ දේශපාලන ඉතිහාසය කෙටියෙන් මතක් කර දීමත්, බිල්ලන් මැවීම දේශපාලන අවියක් ලෙස භාවිතා වන ආකාරය ගැන පෙන්වා දීමත් ය.

බොහෝ විට බිල්ලන් මැවීම සිදු වී ඇත්තේ රටට අලුත් දේ හඳුන්වා දීමට එරෙහිව බව පෙනෙන්නට තිබේ. එනම් , බොහෝ විට, නව සංවර්ධන කටයුතු වල දී ය.

මෙරට දුම්රිය මාර්ග ඉදිකොට සංවර්ධනය කරන්නට යන විට එයට විරෝධතා එල්ල වූ බව කියති. දුම්රිය මාර්ග මගින් ගම දෙකට බෙදීම , භයානක වාහනයකින් ඇතිවන අනතුරු ආදී වශයෙන් එම විරෝධතා එල්ල වූ බව වාර්තා වී ඇත.

තවත් එබඳු බිල්ලන් මැවීමක් සිදුව ඇත්තේ ගොවි ජනපද ඇති කොට ජනතාව පදිංචි කරවීමේ දී ය. ඒ ගැන මෙරට වාමාංශිකයින් කීවේ ජනතාව මැලේරියාවට බිලි දීමක් බව යි. අද ඒ කතන්දර කාටවත් මතක නැත.

සංචාරක ව්‍යාපාරය මේ දිනවල බොහෝ දෙනාගේ සහය ලබන ප්‍රධාන සංවර්ධන වැඩකි. නමුත් නවසිය හැට ගණන්වල සහ හැත්තෑ ගණන්වල සංචාරක ව්‍යාපාරයට විරෝධය එල්ල කළේ ‘අපේ ගැහැණු සුද්දන්ට ගණිකාවන් ලෙස විකුණන්නට යන’ බව කියමිනි. එදත් කීවේ ‘මේකෙන් අපේ සංස්කෘතිය ඉවරයි’ කියා ය.

නිදහස් වෙළෙඳ කලාපවලට විරුද්ධ වුයේ වහල් කලාප ක්‍රමයක් බව කියමිනි. අපගේ කම්කරුවන් සුරා කමින් ලාභය ද පිටරට ගෙනියනවා විනා අපට ලැබෙන දෙයක් නැතැයි කීහ. මුල් වෙළෙඳ කලාප ඉදිකරන ලද්දේ දැඩි විරෝධතා මධ්‍යයේ ය. දැන් ජනතාව කියන්නේ අපේ පැත්තටත් වෙළෙඳ කලාපයක් දෙන්න කියා ය.
නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරය හදන විට කීවේ ශ්‍රී මහා බෝධියත් විනාශ වෙන්න ඉඩ තිබෙන බවකි. දේශපාලනයේ මෙබඳු ප්‍රචාර ඇතැම්විට සිදු කරන්නේ දැනුවත්ව නිර්මාණය කරන බොරු යොදා ගනුමිනි. වඳ කොත්තු, වඳ ටොෆී, වඳ සැත්කම් ආදිය මැතක උදාහරණ ලෙස ගත හැකි ය.

මෙලෙස බොරු ප්‍රචාර සහ හිතළු සම්බන්ධයෙන් තවත් දිගු ලැයිස්තුවක් කිව හැකි ය. එයින් ද එක් කරුණක් පැහැදිලි වෙයි. එනම් මෙබඳු කතන්දර කී පමණින් විශ්වාස නොකළ යුතු ය යන්න යි. කෙසේ වෙතත්, මෙබඳු ඇතැම් බියපත්කිරීම් කරන විට නොතකා හරින නැතහොත් වසන් කරන හා/හෝ තේරුම් නොගන්නා කරුණු කිහිපයක් ගැන තේරුම් ගැනීම වැදගත් වෙයි.

මෙහි දී තේරුම් ගත යුතු වැදගත් ම කාරණයක් වන්නේ සිදුවිය හැකි දේ සහ ඇත්තට ම සිදුවන දේ එකිනෙකට සම්පුර්ණයෙන් වෙනස් වීමේ හැකියාව යි. සිදුවිය හැකි යැයි තර්කයෙන් කියන ඇතැම් දේ එලෙස ම සිදුවිය හැකි ය. නමුත් බොහෝ දේ එලෙස සිදු නොවේ. ඇතැම් විට සිදුවන්නේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි.

වසර 2000 උදාවෙද්දී ලෝකයේ පරිගණක පද්ධති සියල්ල හෝ විශාල ප්‍රමාණයක් අකර්මන්‍ය වීමේ අනතුරක් ගැන නවසිය අනු ගණන් අග විශාල බියක් තිබිණි. එකල පරිගණක පද්ධතිවලට වසර ඇතුලත් කර තිබුණේ වසරේ අග අංක දෙකෙනි. 87,88,89 ආදී වශයෙනි. 2000 ලබන විට එය 00 බවට පත්වෙයි. පරිගණක පද්ධති එයට දක්වන ප්‍රතිචාරය නිගමනය කළ නොහැකි වීම නිසා විශාල බියක් පැවතිනි. එයට එකල කීවේ Y2K සංසිද්ධිය කියා ය. කෙසේ වෙතත්, 2000 ලබන විට කිසිවක් සිදුවුයේ නැත. සිදු විය හැකි දේ යැයි තර්කයෙන් කියන දේ සිදු නොවන බවට එය එක් උදාහරණයකි.

මහවැලි මහ ජලාශ හදන විට මතු වූ එක් විරෝධයක් නම් එමගින් එම ප්‍රදේශවල නාය යාමේ අවදානම බරපතළ ලෙස වැඩි කරන බව සහ එමගින් විශාල අවදානමක් ඇතිවන බව යි. එය ද එලෙස සිදු වුයේ නැත.

මෙබඳු තවත් බොහෝ උදාහරණ පෙන්වා දිය හැකි ය. මෙයින් පෙනෙන්නේ විය හැකි දේ යනු අනිවාර්යයෙන් සිදුවන දේ නොවන බව යි. සිදුවන දේ තර්කයෙන් කියන දේ ට වඩා සම්පුර්ණයෙන් වෙනස් විය හැකි බව යි.

මෙය වැදගත් වන්නේ ඔප්පු කළ න්‍යාය සහ ඔප්පු නොකළ නැතහොත් ප්‍රතික්ෂේපිත න්‍යාය යන වෙනස හඳුනාගැනීම සඳහා ය. යම්කිසි තර්කයකින් කියන දේම සිදුවන විට එය ඔප්පු වූ න්‍යායක් ලෙස අපට සැලකිය හැකි ය. එමෙන් ම සිදුවිය හැකි ලෙස පුරෝකථනය කළ දේ සිදු නොවන විට එය ප්‍රතික්ෂේපිත න්‍යායක් ලෙස සැලකිය යුතු වෙයි.

මෙහි ඇති ඛේදජනක තත්ත්වයක් නම් සත්‍ය ලෝක අත්දැකීම් මගින් ප්‍රතික්ෂේප කළ න්‍යාය සහ අදහස් අලුත් දේ ලෙස නැවත නැවත ඉදිරිපත් කරමින් බිල්ලන් මැවීමට යොදා ගැනීම යි.

ලෝකයේ එබඳු එක් ප්‍රතික්ෂේපිත න්‍යායයක් වන්නේ ‘පරායක්තතාවාදය’ නැතහොත් ‘ඌන සංවර්ධන න්‍යාය’ ලෙස හඳුන්වනු ලැබූ ප්‍රවාද යි. පෝල් ස්වීසී, ආන්ද්රේ ගුන්ඩර් ෆ්‍රෑන්ක්, සමීර් අමීන් වැනි මාක්ස්වාදී බුද්ධිමතුන් ඉදිරිපත් කළ එම න්‍යායෙන් කියැවුණේ සංවර්ධිත පළමු ලෝකයට තුන්වන ලෝකයේ රටවල ආර්ථිකය විවෘත කළ විට සම්පත් ගලා යන්නේ පරිවාරයේ සිට කේන්ද්‍රයට බව යි. එනම් තුන්වන ලෝකයේ සිට දියුණු ලෝකයට යි. එවිට තුන්වන ලෝකයේ රටවලට සංවර්ධනය අහිමි වී ඒවා දිගට ම ඌන සංවර්ධිත රටවල් ලෙස පවතිනු ඇතැයි යන්න එම න්‍යායේ හරය යි.

මෙයට නියම පිළිතුරු ලැබුණේ ප්‍රතිතර්ක වලින් නොව තම ආරථික විවෘත කර සංවර්ධනය ලඟා කරගත් රටවල ප්‍රයෝගික අත්දැකීමෙනි. ප්‍රථම වටය වුයේ සිංගප්පුරුව, දකුණු කොරියාව, තායිවානය සහ හොන්කොන් ය. ආසියානු කොටි ලෙස හැඳින් වූ එම රටවල අත්දැකීම් මගින් ‘ඌන සන්වර්ධංහ න්‍යාය ‘ සත්‍ය ලෝකයේ ප්‍රතික්ෂේප වී ය. ඊළඟට තවත් රටවල් ඒ මග ගත් අතර වියට්නාමයේ සහ චීනයේ විවෘත වීමේ ප්‍රතිඵල මගින් එය වඩා තහවුරු වී ය.
කෙසේ වෙතත්, එම අත්දැකීම් නොතකා පැරණි මත නැවත ඉදිරිපත් කරමින් බිල්ලන මැවීමට, ඇතැම් මිත්‍යාදෘෂ්ටික වාමාංශිකයෝ සහ ජාතිකවාදීහු කටයුතු කරමින් සිටිති.

මොවුන් මේ හදන්නේ ජනතාව රවටා දේශපාලන වාසි අත්කර ගැනීමට විය හැකිය. එසේ වුව ද, මෙම මිත්‍යා පැතිරවීමෙන් අවසානයේ රැවටෙන්නේ ඔවුන් ම බව කිව යුතුව ඇත.

 

Social Sharing
නවතම විශේෂාංග