ධර්මසිරි අසිරි ..!

– කේ. සංජීව –

ධර්මසිරි අයියා මට මුලින්ම හම්බවෙන්නේ බක්මහා දිගේ චිත්‍රපටියෙන්. කොලු ගැටයෙක් විදිහට මේ චිත්‍රපටියෙන් ඉස්සරහට එන ධර්මසිරි අයියා ඊළඟට මට මුණගැහෙන්නේ අපි ආදරේ කරපු ස්වර්ණා ගේ පෙම්වතා විදිහට. සඳකාලික පෙම්වතා කීවොත් වැරදිනෑ මට හිතෙන්නේ. ඇත්තටම මට සෑහෙන්න ප්‍රශ්නයක් ඒ කාලේ බක්මහ දීගේ ෆිල්ම් එකේ හිටපු කොල්ලට මේ ගෑනි සෙට් වුණේ කොහොමද කියලා කියලා. මේ ගෙවුන කාලේ ධර්මසිරි ස්වර්ණා ආදර අන්දරය ලංකාවේ ගතානුගතික සකස්ක්ෘතිය අස්සේ තියලා වගවිභාග කරපු අපි ධර්මසිරි අයියා මාර පොරක් කරගෙන තමයි ජීවත් වුණේ. එහෙම පොර තමයි කොළඹ ආවට පස්සේ සිනමාව අස්සේ වේදිකාව අස්සේ වෙන විදිහකට සෙට් වෙන්නේ.

හංසවිලක්

‘හංසවිලක්’ තමයි ධර්මසිරි අයියගේ මම කැමතිම චිත්‍රපටිය. ඒක අස්සේ අපේ ජීවිතය තියනවා. හෙන්රි ජයසේන ‘මරාගෙන බෙදාගෙන කාහල්ලා’ කියලා කියන විදිහ තාමත් මතක‍යි. හංසවිලක් ළඟට තුන්වෙනි යාමයට මම ආසයි. අනෙක් චිත්‍රපටිවලට මගේ ඒතරම් මනාපයක් නෑ. සුද්දිලාගේ කතාව තමයි ධර්මසිරි අයියගේ අසාර්ථකම චිත්‍රපටිය මට අනුව. අපි හිතින් මවාගෙන හිටපු අපේ ප්‍රබන්ධ ධර්මසිරි අයියා නෙවෙයි ඒ ෆිල්ම් එක කරලා තිබුණේ.

මේ කතා මෙහෙම තියෙනවා. ඔව් මේවා මෙහෙම තියෙනවා. ඒත් හංසවිලමට ඇති මට ධර්මසිරි අයියගේ සිනමාව තේරුන් ගන්න. තුන්වෙනි යාමය ඊළඟට. ඒත් දවසක් මම ධවල භීෂණ නාට්‍ය බැලුවා. තමවත් මට ඒ මොහොත මතක් වෙනකොට ඇගේ මයිල් කෙළින් වෙනවා. ඒක තමයි නාට්‍යය. ධර්මසිරි අයියා මට සෑහෙන්න දැනුනේ ධර්මසිරි අයියාව මම වින්ඳනය කළේ වේදිකාවෙන් කිව්වොත් ඒක තමයි ඇත්තටම ඇත්ත. වේදිකාව උඩ රූස්ස ගහක් වගේ හිටගත්ත ධර්මසිරි අයියා සිනාමාවට වඩා උසට පෙනුනා. බක්මහේ හිටපු කොල්ලා මුලු අඳුරු වේදිකාවම පුරෝගෙන රැඟුවා. නැතිනම් රැඟුම් වේදිකාව පුරාම ලස්සනට එලුවා. ධර්මසිරි අයියා ඒ වේදිකාව උඩ මවපු මැජික් එක තමයි මැජික් එක. ට්‍රෝජන් කාන්තාවෝ, මකරාක්ෂයා වගේ නිර්මාන, වේදිකාවේ තියෙන අසිරිය, ඒවා අපේ ජීවිත සුන් කරලා ආයෙත් එකලස් කරන විදිහ අපිට දනවපු නිර්මාන. එහෙම දැවැන්ත නාට්‍යමය නාට්‍ය කරපු අපේ කාලෙට කළින් කාලේ යක්ෂයා තමයි ධර්මසිරි අයියා. දැන් එහෙම යක්සයෝ පේන්නත් නෑ. වේදිකාව අඳුරට හැරිලා. ඒත් වේදිකාවේ ධර්මසිරිමය මොහොතවල් කියන්නේ මැජික් එකක්. මේ රට මෙහෙමට හරි ඇදගෙන දුවන්නේ ඒ ශක්තිය. ඔව් ඇත්තටම. මෙච්චර පිස්සු රටක මේ වගේ වැඩ කරලා මෙච්චර කාලයක් යහතින් ඉන්නවා කියන්නෙත් මැජික් එකක්.

2013 රාවයට ලියන්නෙක් විදිහට සෙට් වුණාට පස්සේ හිතේ හිටපු මේ වීරයා ආශ්‍රය කරන්න ලැබෙනවා. ඒකත් ආනන්දනීය අත්දැකීමක්. ලංකාව ගැන, 1956 වෙනස ගැන, තිස් අවුරුදු යුද්ධය ගැන, ධර්මසිරි අයියා හැමදාම එකම මතයක හිටියා. ඒ මතය වෙනුවෙන් තියුනු වගේම හැඟීම්බර වාද විවාද වල පැටලුනා. ජනවාර්ගික සාමය වෙනුවෙන්, උතුර දකුණ අවංකව එකතු වෙන්න ඕනී කියන එක වෙනුවෙන්, ධර්මසිරි අයියා මිනිහට කරන්න පුලුවන් හැමදේම කළා කියලයි මට හිතෙන්නේ. ඒ වෙනුවෙනු චිත්‍රපටි 10ක් කරන්න තිබුණ ශ්‍රමය, තව නාට්‍ය කරන්න තිබුණ ශ්‍රමය, අපතේ යවා ගත්තා දෝ කියලා අද මට හිතෙනවා. අන්තිමට මම බලාගෙන හිටියා තමිලිනීගේ කතාව ධර්මසිරි අයියාගේ ෆිල්ම් එකක් අස්සෙන් බලාගන්න. ඒක ධර්මසිරි අයියගේ හොඳම චිත්‍රපටිය වෙයි කියලා හිතුවා. ඒත් සංවාද විවාද කතාබස් අතරේ කාලය ගෙවිලා ගිහිං…!

රාජපක්ෂ පවුල් පාලනය පෙරළන්න 2014 පුරවැසි බලය සංවිධානය හදනකොට, ධර්මසිරි අයියා මුල්ම කැඳවුම්කාර මණ්ඩලයේ කෙනෙක්. මේ දේශපාලන වෙනස වෙනුවෙන් අපි කොච්චර ඇල්කොහොලින් මත් වෙන්න ඇත්ද? තියුණු සංවාද විවාද වල පැටලෙන්න ඇත්තද? සෝඩාබෝතල් තරහාවල් වල කුකුල් කේන්තිවල පැටලෙන්න ලිහෙන්න ඇත්ද? ඒ හැම තැනකදීම උස්ව නැඟුණු ධර්මසිරිමය හඬ දැනුත් ධර්මසිරි අයියා මතක් වෙනකොට ඇහෙනවා. ඕනෑම හිතට දැනෙන මාත්ෘකාවක් ධර්මසිරි අයියා බොක්කෙන් තමයි කතා කළේ.

තුන්වෙනි යාමය

2015 යහපාලනය ආවාට පස්සේ ධර්මසිරි අයියා ජනාධිපති ලේකම් කාර්‍යාලය අස්සට යනවා. මම තවමත් හිතනවා ධර්මසිරි අයියා ඒ තනතුර නොගෙන හිටියා නම් හොඳයි කියලා. මම ඒක මිනිහට මූනටමත් කියලා තියෙනවා. ඒ ආදරේ වැඩියෙන්ම දැනුන වෙලාවක. ඒ කතාවට ටික දවස් තරහා වෙලා වගෙත් හිටියා මතකයි. ඒ ධර්මසිරි අයියගේ හැටි. අපිත් කියන්න දෙයක් ඔලුවට ආවාම කියලා දානවා. ඒක අපේ කරුමේ..! මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් අයින් කරලා දින 52 කුමන්ත්‍රන වෙලාවේ මම ආයෙත් ධර්මසිරි අයියගෙන් ආදරනීය විදිහට ඇහුවා දැන් මොකද කියන්නේ? තවදුරටත් රෙද්දක් ඇදගෙන ඔතන ඉන්න පුලුවන්ද කියලා. ඒකනම් ධර්මසිරි අයියා තදින්ම අරගෙන තිබෙනවා කියලා, පස්සේ හමුවුණාම මට තදින්ම දැනිලා තිබෙනවා. ඒත් අපි අස්සේ ගොඩනැඟිලා තිබුන ඒ ආදරේ අස්සේ අපිට මේවා අහන්න පුලුවන් කම තිබුණා. ධර්මසිරි අයියා බොක්කෙන් ජීවත් වෙන මිනිහා ඉතිං මිනිහා මේවට හදවත පලා ගත්තා. සිදුරු කරගත්තා. මූන නොරොක් කරගත්තා. නෝක්කාඩු බැල්මෙන් හිටියා. එහෙම තමයි. ඒත් ටික කාලයයි. ආයේ ටික කාලයකකින් හමුවුණාම ‘කොහොමද මල්ලී’ කියලා අහනවා. ඒක තමයි ධර්මසිරි අයියලාගේ අසිරිය.

මකරාක්ෂයා

ධර්මසිරි අයියා කියන්නේ බොක්කෙන් ජීවත්වුණ මිනිහෙක්. මම ආයේ ආයෙත් කියනවා. එහෙම මිනිස්සුන්ට මේ සමාජය හරිම අමාරු තැනක්. ජීවිතේ ලේසි නෑ. හැමතැනම තියෙන්නේ කටවල් ඇරගෙන වැටියන් වැටියන් කියලා බලාගෙන ඉන්න බොරු වළවල්. එහෙම තැනක බොරු වළවල්වල වැටෙමින් ජීවිතයේ තැවුල් සිත වත්තන් කරගෙන ධර්මසිරි අයියා ආපු මේ ගමන වීර චාරිකාවක්. ඒක පසසන්න ඕනී ගමනක්. මේ කුණු වෙච්ච පල් වළ සුනිල දිය විලක් කරන්න බොක්කෙන්ම කැපවෙලා ඒ නිසාම උපන් බංගත්වයක් අස්සේ තනිවුණ මිනිහෙක් විදිහටයි මම අද ධර්මසිරි අයියව තේරුන් ගන්නේ. මෑතකම මතකයක් විදිහට මට තියෙන්නේ සන්නගේ තැනේදි ධර්මසිරි අයියා ආනන්ද සමරකෝන් ගැන කරපු ප්‍රකාශය. හැඟීමෙන් ආවේගයෙන් ලෙයින් බොක්කෙන් කරපු ඒ කතාව තවමත් මට නිතරම ඇහෙනවා. ධර්මසිරි අයියලාගේ ජීවිත විතරක් නෙවෙයි සමහර වෙලාවට අපේ ජීවිත ඉරණමත් සමරකෝන්මය ඉරණමක් වෙලා තමයි අවසන් වෙන්න නියමිත. කරුමය ඒකනම් වෙන කරන්න දෙයක් නෑ.

ඉතිං මේ ගැන රංග කතා කරලා කීවාම හරිම සතුටුයි. අනිවාර්‍යෙන්ම එනවා හමුවෙන්න ටිකක් කතා කරන්න. ‘මල්ලී කොහොමද’ මොහොමතක දියවෙන්න අනිවාර්‍යෙන් එනවා..!

Social Sharing
අවකාශය නවතම