නව ඇමතිවරුන් පත් කිරීම ලබන ජනවාරියේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් කෝටි 290 ක ණය මුදලක් ලබාදීමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් අලුතින් අමාත්‍යවරුන් පත්කිරීම ඉන්පසුව සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

කැබිනට් මණ්ඩලය සඳහා අලුතින් ඇමතිවරුන් 12 දෙනකු පත් කිරීමට අදාළ ලැයිස්තුවක් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස කිහිපයකට ඉහත දී යවනු තිබේ. නමුත් අදාළ පත් කිරීම් සිදු කිරීම දිගින් දිගටම කල් ගියේය.

අලුතින් ඇමතිවරුන් පත් කිරීම අයවැය සම්මත වීමෙන් අනතුරුව සිදු කෙරෙනු ඇතැයි ද ආරංචි පැතිර ගිය නමුත් එය ද තවදුරටත් කල් යනු ඇතැයි පැවසේ.

කැබිනට් මණ්ඩලය මේ වන විට දහ අට දෙනෙකුගෙන් සමන්විත වන අතර,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තවත් ඇමතිවරුන් දොළොස් දෙනකු පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිව තිබේ.

ඒ අනුව ඇමතිවරුන් දොළොස් දෙනකු අලුතින් පත් කිරීම ලබන ජනවාරි මාසයෙන් පසුව සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද දැනගන්නට තිබේ.

ඒ අනුව, කැබිනට් මණ්ඩලය සඳහා;

  1. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක,
  2. එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන,
  3. කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොන්ඩමන්,
  4. ජාතික කොංග්‍රසයේ නායක ඒ එල් එම් අතාවුල්ලා
  5. සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්න

යන මන්ත්‍රීවරුන් පත්කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

මීට අමතරව, ඉතිරි 7 දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත්කරනු ඇතැයි දැනගන්නට තිබේ.

 

(newspedia)

Social Sharing
නවතම