ඉන්දියානු පුරෝගාමී චිත්‍ර ශිල්පීනිය : Amrita Sher Gil

In the Ladies Enclosure’

එදා මෙදා තුර ඉතිහාසයේ ඉන්දියානු කලා කෘතියක් අලෙවි වූ දෙවැනි ඉහළම මිල ඉන්දීය චිත්‍ර ශිල්පිනිය Amrita Sher Gil ගේ ‘In the Ladies Enclosure’ වෙත නියම විය.

මෙම කලා කෘතිය ඉන්දියාවේ ප්‍රමුඛත ම කලා වෙන්දේසි අවකාශයක් ලෙස සැලකෙන Saffronart ගිම්හාන කලා වෙන්දේසියේ දී ඉන්දියානු රුපියල් කෝටි 37.8 ට අලෙවි විය. Saffronart යනු ලෝ ප්‍රකට කලා කෘති online සහ Live යන දෙයාකාරයෙන් වෙන්දේසි තැබීමේ ප්‍රමුඛයින් ලෙස සැලකෙන කලා වෙළඳපොලකි. ඉන්දියානු රුපියල් කෝටි 39.98 කට අලෙවි වූ VS Gaitonde ගේ කලා කෘතිය මෙම අලෙවි ලැයිස්තුවේ මුල් තැන දිනාගෙන ඇත.

Amrita Sher Gil

1913 වසරේ දී හංගේරියාවේ බුඩාපේස්ට්හි දී ඉන්දියානු සීක් ජාතික පියෙකුට සහ හංගේරියානු මවකට දාව උපත ලද Amrita Sher Gil සැලකෙන්නේ 20 වැනි සියවසේ බිහි වූ විශිෂ්ටතම පුරෝගාමී චිත්‍ර ශිල්පිනියන් අතරින් එක් අයෙක් ලෙස සහ නූතන ඉන්දියානු චිත්‍ර ශිල්පයේ පුරෝගාමිනියක් ලෙසිනි. 1921 වසරේ දී දෙමාපියන් සමග ඉන්දියාවේ ශිම්ලාහි පදිංචියට පැමිණෙන Amrita Sher Gil සංගීතය, චිත්‍ර කලාව සහ මූර්ති ශිල්පය වැඩි දුරටත් ප්‍රගුණ කළ අතර ‘In the Ladies Enclosure’ යනු 1938 වසරේ දී ගොරික්පූර්හි දී කැන්වසයක් මත අඳින ලද තෙල් සායම් සිතුවමකි.

1941 වසරේ දී, එනම් 28 වැනි වියේ දී බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ලාහෝර් නුවර දී ජීවිතයෙන් සමුගන්නා විට ද ඇයගේ කලාකෘති පිළිබඳ නිසි ඇගයීමක් හෝ සංවාදයක් නොපැවතිණ. නමුත් අද වන විට Amrita Sher Gil වනාහි වැඩිම මිලකට අලෙවි වන කලා කෘති බිහි කළ සහ වැඩි වශයෙන් කතා බහට ලක්වන ඉන්දියානු චිත්‍ර ශිල්පීන් අතරින් ප්‍රමුඛ චරිතයකි.

– සහන් කසීර වික්‍රමසිංහ –

Social Sharing
අවකාශය නවතම