හාස්‍යයට පුලුවන් කුරිරු රාජ්‍ය පාලනයකට අභියෝග කරන්න – නොවයලට් බුලවයෝ

ඇය, නෝවයලට් බුලවයෝ, අවුරුදු හතළිහක් වයසැති, දෙවරක්ම බුකර් සම්මානයට කෙටි ලැයිස්තු ගත වූ එකම අප්‍රිකානු ලේඛිකාව ලෙස සැලකෙන නවකතාකාරියයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලන්ඩ් හි ජීවත්වෙමින්, ගුරු වෘත්තියේ නියැලෙන බුලවායෝ, 2017 වසරේ නොවැම්බර් දාහතරවැනිදා දින උදෑසන පහන් කළේ, ඇය එතෙක් නොඇසූ විරූ ප්‍රවෘත්තියක් සවන වැකෙද්දීය. එදින ඇය උදෑසන අවදි වන විට, දශක හතරකට පසු රොබට් මුගාබේ සිම්බාබ්වේ ජනාධිපතිවරයා තනතුරින් පහ කර ඇතිය යන විශ්මය ජනක පුවත වාතලයට මුසු වෙමින් තිබුනේය.

“ඔහු බොහෝ කාලයක් පුරා කිසිවෙකුට ලං විය නොහැකි තරමේ පාලකයෙකු වූ නිසා එය කිසියම් විදියක කම්පනයක් ඇති කළා වගේම එය එකවරම අප‍ට විශ්වාස කිරීමට හැකිවුයේ නැහැ” බුලවයෝ සූම් ඇමතුමකදී පවසා සිටියාය. “එතෙක් පැවති ආඥාදායකත්වයක බිඳ වැටීම සැබවින්ම අප සැමරිය යුතු වූ කාරණයක් වූනා. අපි දැන සිටියා බලය යන්නේ ඔහුගේ දෙවැනියා අතට, ඒ නිසා එය තරමක සංකීර්ණ තත්වයක්. ඒත් අපි අපේ අපේක්ෂාවන්ට එදිරිව අපේක්ෂා සහගත වුනා කිසියම් වෙනසක් සිදුවෙයි කියලා.”

ඉන්පසුව බුලවයෝ ආපසු සිම්බාබ්වේ වෙත යන්නට සූදානම් වූයේ, එම අසිරිමත් තත්වය සෑබෑවටම අත් විඳීමෙන් යම් හෙයකින් ඇයට විමර්ශන කෘතියක් හෝ ලිවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එක්කාසු කරගැනීමට හැකි වෙතැයි යන අපේක්ෂාවෙනි. ඇය තම රටේදී, සිම්බාබ්වේ ජනතාවගේ එදිනෙදා ජිවිතය, ඔවුන්ගේ චාරිත්‍රවාරිත්‍ර, තත්කාලීන හැසීරීම් නිරීක්ෂණය කරමින් ඔවුන් සමීපයේම කාලය ගත කළාය.

ඇය පැය ගණන් ගෑස් පෝලිම් වල ඔවුන් හා බලා සිටියාය, සිල්ලර භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඔවුන් හා ඇයත් දේශ සීමා තරණය කළාය. සෙසු සිම්බාබ්වේ වැසියන් මෙන්ම, පශ්චාද් මුගාබේ මැතිවරණ සමය ප්‍රචණ්ඩකාරී වන සැටි ඇය ද තැති ගැන්මෙන් යුතුව බලා සිටියාය. “බොහෝ ඉක්මනින් ව්‍යසනය සහ ඉච්ඡාබංගත්වය විසින් ඒ අපේක්ෂාවේ හැඟීම් මාත්‍රය විනාශ කොට දැමුනා.” ඇය සුසුමක් හෙළමින් පවසන්නීය.

රටේ වාතාවරණය ඇයගේ අපේක්ෂාවන්ගෙන් අපගමනය වන විට, ඇය ලිවිය යුතු යැයි සිතූ කෘතිය පිළිබඳ ව ද ඇයගේ අභිප්‍රාය වෙනස්ව තිබුණේය. සිම්බාබ්‍වේ පිළිබඳව, සත්ව ගොවිපළක සතුන්ගේ ඇසින් නවීන පන්නයේ දෘෂ්ටාන්තයක් නොලියන්නේ මන්ද? ඇය සිතන්නට වූවාය. ( ඒ කාලයේ ‍‍ජෝර්ජ් ඕවල් ගේ “Animal Farm” කෘතිය පිළිබඳ සමාජ මාධ්‍ය වල නව සංවාදයක් මතුවෙමින් තිබුණි.) එසේම සිම්බාබ්වේ රටේ ඉපැරණි කතා කලාවට අනුගත වූ විට ඇය‍ගේ මනසේ පැළ පැදියම් වුනු නිර්මාණය බිහි කොට ගැනීම වඩා පහසු වනු ඇතැයි ඇය උදක්ම සිතුවාය.

“ඇත්තටම මගේ රටේ ජන කතාවල හුදෙක්ම සතුන් භාවිතයට ගැනෙනවා.” බුලවයෝ කියන්නීය. එසේම සතුන් ඇසුරින් කතාවක් කීම ඇයගේ සිතේ පැළපැදියම් වුණු සාහිත්‍යයක කාර්යයට ඉතා හොඳින් ගැලපෙන්නේ යැයි ඇය සිතුවා. “ ඒ තෝරා ගැනීම නිසා මට වඩාත් වැඩි නිදහසක් ලැබුනා මේ සාහිත්‍ය්‍ය නිර්මාණය හොඳින් නිම කරන්න, මීට වඩා වෙනස් ආකෘතියකට ලීවා නම් මම හිතන්නෙ මේ කෘතිය මේ තරම් සාර්ථක වන්නේ නැහැ” ඇය පවසන්නීය.

සැබවින්ම එම කෘතිය එකවරම සාහිත්‍ය ලෝකය තුළ පෘථුල ජීවයක් ලැබුවේය. එය ‍ගොඩනැඟී තුබුණේ ‘ජි‍ඩාඩා’ නම් මනංකල්පිත දේශයක ජීවත්වන සත්ව නාම සහිත චරිත කිහිපයක් වටාය. සාහිත්‍ය විචාකරයන්ට අනුව “Glory” නවකතාව යනු සිම්බාබ්වේ හි දේශපාලනික ජීවිතය, ආක්‍රමණකාරී නොහික්මුණු විලාසයකින් සාහිත්‍ය නිර්මාණයකට හසු කරගැනීමකි. මහලු, නොනැසෙන සුළු ‘ජාතියේ පියා’ අශ්වයෙකි, රටේ වඩාත් ප්‍රසිද්ධ ශුභාරංචිය දේශනාකරන්නා ඌරෙකි, මිලිටරි පොලීසිය සැර පරුෂ ප්‍රහාරක සුනඛයන්ය. (ඇමරිකානු ජනාධිපතිවරයා නිරූපණය වන්නේ ට්විටර් පණිවිඩ එවන බැබුන් කෙනෙකු තුළිනි.)‍ඩෙස්ටිනි නම් වසර දහයක පිටුවහලකින් පසු නගරයට එන එළුවා එම කෘතියේ සංවේදී හදවතක් ඇත්තවුන්ගේ පාර්ශවය නියෝජනය කරයි.

“Glory” කෘතිය පිළිබඳ නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවියේ පළවුණු විචාරයක මෙසේ සඳහන් වෙයි.

“බහුවිධ ආකාරයෙන් ශූර නවකතාවක් වූ, නෝවයලට් බුලවයෝ ගේ අලුත්ම කෘතිය Glory තුළ “මානවයන්‍ගේ” වාක් කෝෂය එහි කතාවෙන් හා එහි චරිත වූ සතුන්ගෙන් භාෂාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කොට ඇත. එම කෘතිය එක් කුරිරු පාලකයෙකුගේ කඩා වැටීමත්- මහළු අශ්වයා- නව පාලනයක් බිහි වීමත් නිසා ඇතිවන තත්වයන් පිළිබඳ නිර්මාණය වී ඇති පිටු 400 ක පමණ වූ, අති විශිෂ්ඨ, පශ්චාද් යටත් විජිත සමය ගැන කියැවෙන දෘෂ්ටාන්ත කතාවකි.

මිනිසා කතාන්දරයෙන් ඉවත් කිරීමෙන් බුලවායෝ, පවතින ලෝකයේ මිනිසා දරන ධූරාවලිය නිර්මාණයෙන් ඉවත් කිරීමට සමත් වී ඇත. මෙය ඇනිමල් ‍ෆාම්(Animal Fram- George Orwell) නොවෙයි. එහි සංකලනයක් හෝ එහි පරිවර්තනයක් ද නොවෙයි. Glory කෘතියට එහිම වූ ජනතකාවලින් පෝෂිත වෛවර්ණිත ලෝකයක් හිමිය.

යුරෝපීය අධිරාජ්‍යවාදයෙන් බැට කෑ අප්‍රිකාවේ වර්තමාන ප්‍රථිපලය වෙත තියුණු බැල්මක් හෙලන මෙම රූපකලංකාරය නිසා බුලවායෝ ඕර්වල් අභිභවා ගොස් ඇත. මෙය ආක්‍රමණශීලී, එදිරිවාදී, කෝපාවිෂ්ට ‍එසේම වඩාත්ම.. වඩාත්ම හාස්‍යජනක උපහාසාත්මක රචනයකි. එසේම මෙය කාන්තා චරිත පරිධියට තල්ලු නොකරන, එහෙත් එම චරිත විසින් කතාව එකට ශක්තිමත්ව බැඳ තබන ප්‍රබල උපහාසාත්මක රචනයකි.”

“Glory” කෘතිය (2022) බුලවායෝ ගේ දෙවැනි ප්‍රබන්ධ කෘතියයි. ඇය 2013 වසරේදී “We Need New Names,” නම් කෘතියක් ලියා පළ කළාය. එය ද සාහිත්‍ය ලෝකය තුළ සාර්ථකත්වයක් ලැබූ ප්‍රබන්ධ කෘතියක් ලෙස සලකනු ලබන අතර එම කෘතිය වසරේ ලේඛකයෙකුගේ පළමු නිර්මාණයට පිදෙන ලොස් ඇන්ජලීස් බුකර් සම්මානය දිනා ගත් අතරම, එම වසරේ බුකර් සාහිත්‍ය සම්මානයේ කෙටි ලැයිස්තුගත වූ නිර්මාණයක් බවට ද එම කෘතිය පත් වූයේය.

2022 වසරේ “Glory” කෘතිය ද බුකර් සාහිත්‍ය සම්මානයේ කෙටි ලැයිස්තුවට ඇතුළත් වීමෙන් අනතරුව, බුකර් සාහිත්‍ය සම්මානයේ කෙටි ලැයිස්තුවට දෙවරක් ඇතුළුවීමේ ගෞරවය ලද ප්‍රථම අප්‍රිකානු සාහිත්‍යවේදිනිය නෝවයලට් ‍බුලවායෝ බවට පත් වූවාය.

පහතින් දක්වා ඇත්තේ වෙබ් අඩවිය දෙකක ( penguin.co.uk/ bookerprize.com) පළවු බුලවායෝ සමඟ කරන ලද සම්මුඛ සාකච්ජා වලින් උපුටාගත් අදහස් සම්මුච්චයක සංක්ෂිප්ත පරිවර්තනයකි.

ඔබේ දෙවැනි නවකතාව Glory ලිවීම පිළිබඳ මුලින්ම අදහස ඇති වුනේ කොහොමද? කුමන කාලයේද?

ඒ පිළිබඳ මුලින්ම අදහස ඇති වුනේ 2017 වසරේ සිම්බාබ‍වේ ජනාධිපති මුගාබේ බලයෙන් පහ කිරිම සම්බන්ධ නාටකීය සිදුවීම නිසයි. එහෙම දේවල් කෙනෙකුට සිදු වෙන්න පුළුවන් – මම එදා හිමිදිරි පාන්දර අවදි උනේ මගේ ඔඩොක්කුවට අහම්බෙන් වැටුන අනපේක්ෂිත කතන්දරයකුත් එක්ක. ඒ පැත්තෙන් මම වාසනාවන්තයි. මා තුළ තිබුණ සහජාසයට හැකි වුනා ඒ මොහොත අල්වා ගන්න, මා මත අහම්බෙන් කඩා පාත් වුනු කතාවේ තිබුණු ශක්තිය අඳුන ගන්න. ඒ නිසා මට හැකි වුනා මගේ සටහන් පොත් පෑන් සේරම එකතු කරගෙන ඒ නිර්මාණය වෙනුවෙන් ඕනෑම කාලයක් කැප කරන්න මගේ මනස සූදානම් කරගන්න.

කෘතිය සම්බන්ධයෙන් මා තුළ පිළිසිඳුනු මුල් අදහස කාලයත් සහ මා ලැබූ අත්දැකීම සමඟ වෙනස් වුනා. විටෙක නැවත ආඛ්‍යානය වෙත අවධානය යොමු කරන්න මට සිදු වුනා. මම අනුප්‍රාණය ලැබුවේ සිම්බාබවේ ජන සමාජයේ එදිනෙදා මා හා ගැටුන ගැහැනු මිනිසුන්ගෙන්. සමහර අයව මගේ කතාවෙන් ඉවත් වුනා, මට උවමනා උනේ මුගාබේ ඇතුළු ප්‍රධාන චරිත හැසිරෙන විසල් දේශපාලනික නාට්‍යය වෙත අවධානය යොමු කරන්න. එය තමයි මගේ මිතුරු මිතුරියන් මගේ පවුලේ අය සහ ඔවුන්ගේ අපේක්ෂා, සිහින, අරගල, සමස්තයක් ලෙස ඔවුන්ගේ ජිවිත ඇතුළත් තනි පුද්ගල සහ සාමුහික ජන පැවැත්මේ පොදු තත්වය. එම තත්වයන් තමයි මට පෙන්වා දුන්නේ සැබෑ කතාන්දරය පවතින්නේ කොහේද කියන එක, ඒ නිසා තමයි Glory කියන කෘතිය පාඨකයා ඒ විදියට කියවන්නෙ.

මොන ආකාරයෙන්ද මේ කතාන්දරයට සිම්බාබ්වේ බලපාන්නේ?

සිම්බාබ්වේ කියලා රටක් නොතිබුනා නම් Glory කියන කෘතිය කියලා දෙයක් අද නැහැ. ඒ කෘතියට සිම්බාබ්වේ ඒ තරම්ම සම්බන්ධයි – එහි අතීතය, වර්ථමානය සහ අනාගතය, ඒ වගේම රටේ නිදහස සම්බන්ධ ගැටළුව තමයි එම කෘතියේ කේන්ද්‍රය. මේ අනුව බලද්දි මම ලියන්නේ සිම්බාබ්වේ හි බලවත් දේශපාලන සාහිත්‍ය සම්ප්‍රදායට අනුගත වෙමින්.

මම වාසනාවන්ත වුනා මේ කෘතිය නිසා මම මීට පෙර අත් නොදැකපු දේ පිළිබඳ අත්දැකීම් ලබන්න, මගේ වස්තු බීජ සමඟ එකට ඇලි ගැලී සිටින්න මට හැකි වුනා. ඒ කියන්නෙ ඒ කතාව මගේ දෑඟිලි අග විතරක් තිබ්බා කියන එක නෙමෙයි, එය මගේ දිව අගත් තිබුනා, මට එහි රසය දැනුනා. එම අත්දැකීම් මගේ කෘතිය පෝෂණය කළා, එය කතාවේ ගලා යෑම, තොරතුරුවල සියුම් බව මෙහෙය වූවා, විවිධ නිමේෂයන් තුළ පවතින මනෝභාවයන් පැහැදිලිව නිරවද්‍ය ලෙස වචන වලට පරිවර්තනය කර ගැනීමට සහය වුවා. එසේම මා තුළ වූ සිම්බාබ්වියානුකම, අපගේ රටේ නිල භාෂාව වන ‘එදබලේ’ ( Ndebele) භාෂාව, මා ලොකු මහත් වූ වටපි‍ටාවේ තිබුනු ජනකතා සම්ප්‍රදාය යන කාරණා විසින් මා වෙත සැබවින්ම කතා කීමේ විශිෂ්ඨ ශෛලියක් ප්‍රදානය කළා.

Glory කෘතිය තුළ සමාජ මාධ්‍යයන්ගේ හැසිරීමට ලොකු ඉඩක් ලබා දෙනවා. ඔබගේ අරමුණ වූයේ සමාජය තුළ සමාජ මාධ්‍යන්ගේ භූමිකාව විවේචනය කිරීමද, නැනිනම් විශේෂයෙන් දේශපාලන කරළියේ එහි බලපෑම පිළිබඳ අවධානය යොමු කිරීම ද නැතිනම් වෙනත් විශේෂ අරමුණක්ද?

මේ කෘතියේ කතාවට පසුබිම් වන්නේ වර්තමාන සිම්බාබ්වේ තත්වය නම්, සමාජ මාධ්‍යය වෙත ලැබිය යුතු ඉඩකඩ ලබා නොදී නවකතාව ලිවීම කළ නොහැකියි. මොකද මේ මොහොත වෙන විට අපේ එදිනදො ජිවිතය තුළ නොහිම් බලපෑමක් අන්තර්ජාලය විසින් සිදු කරනවා, Glory කෘතියට උත්තේජනය සැපයූ සැබෑ කතාව තුළ ද ෆේස්බුක්, ට්විටර්, වට්සැප් වැනි සමාජ මාධ්‍ය මෙවලම් විසින් ඉතා විශාල බලපෑමක් ඇති කරනු ලැබුවා. ඒ ව‍ගේම සමාජ මාධ්‍ය සාමුහිකව විරෝධය පෑමේ සහ සිහින දැකීමේ මාධ්‍යක් ලෙසද එය මගේ සිත් ඇද බැඳ ගන්නවා.

කලාත්මක පර්යායයෙන් ගත්තද, සමාජ මාධ්‍යය කියන්නෙ වඩාත් ප්‍රයෝජනවත්, නවීන ශිල්පීය මෙවලමක්. එය කතාව ඉදිරියට ගලා යෑම පහසු කරන දේවල් සිද්ධ කරනවා, සාමුහික හඬ මෙන්ම සාමුහික මනෝභාවයත් නිවැරදිව හසු කරගැනීමට අවකාශ සලසනවා.

Glory කෘතිය පුරාම ‍බලාපොරොත්තුව සම්බන්ධ තේමාවක් දිව යනවා. එහි අවසානය තුළ ද බලාපොරොත්තුවක සේයාවක් පාඨකයා තුළ ජනිත කරනවා. එය මේ කෘතියට ඉතා වැදගත් කියලා ඔබ සිතන්නේ ඇයි?

ඒ ඇයි කියනවා නම්, මා ලියන ධර්මිෂ්ඨ සහ නිදහස් රට මට වෙනත් ආකාරයකට පරිකල්පනය කරන්න බැහැ. එය එසේ වනවා යැයි විශ්වාස කිරීම – විශේෂයෙන්ම පීඩාවේ සහ කුරිරු පාලනයේ විය ගහෙන් පලා යා නොහැකි තත්වයක් තුළ – අපිට එවැනි හීන දැකීමේ විදියක් ඕනෑ කරනවා. අපි දන්නවා පොත් වලට විතරක් මේ ලෝකය වෙනස් කරන්න බැහැ( එහෙම උනා නම් මේ ලෝකේ මීට වඩා යහපත් තැනක් වෙලා ඉවරයි). ඒත් පොත්වලින් අපිට පිටිවහලක් ලැබෙනවා සමහරවිට වඩාත් සාධනීය ක්‍රියාවන් හා බද්ධ වුණු ප්‍රගතිශීලි සංවාදයක් ගොඩනඟාගන්න, එසේම අප වඩාත් යහපත් ලෝකයක් වෙත යන්නේ කෙසේදැයි පරිකල්පනය කරන්න පොත් අපට අවකාශයක් සලසා දෙනවා.

ඔබ Glory කෘතියට අනුප්‍රාණය ලැබුවේ මුගාබේ බලයෙන් පහ කිරීම සම්බන්ධ සිදුවීම. නමුත් ඔබ ඇමරිකාවේ ජිවත් වීම, ඒ කියන්නෙ ට්‍රම්ප් පාලනය, ඇමරිකානු සමාජය ධ්‍රැවීකරණය වීම, කොහොමද Glory කෘතිය ද ඇතුළුව, ඔබගේ ලේඛණ ජිවිතයට බලපෑවේ?

මගේ සාහිත්‍ය නිර්මාණ කියන්නෙ මා වටා ලෝකය හා ඇතිවන සංවාදයෙන්, විශේෂයෙන්ම මගේ නිවෙස් ද්විත්වය සිම්බාබ්වේ සහ ඇමරිකාව තුළින් බිහි වු දේවල් තමයි. Glory කෘතියේ ප්‍රස්තූතය එක් විශේෂ දේශපාලනික කලාපයක් පදනම් කරගෙන බිහි වූවත්, කුරිරු රාජ්‍යය පාලනය කියන එක සිම්බාබ්වේ රටේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ තමයි මේ ලෝකෙ ගොඩක් රටවල කතාව.

Glory කෘතිය කියන්නෙ, එයට උත්තේජනය සැපයූ සැබෑ දුංඛිත සිද්ධීන්ට ප්‍රතිවිරුද්ධ ලෙස ඉතාමත් අපූරුවට හාස්‍ය මවන සාහිත්‍යය නිර්මාණයක්. එම කෘතිය තුළින් විස්තර කෙරෙන පීඩාකාරී තත්වයක් තුළ එවැනි හාස්‍යක් මතු කිරීම කොතරම් වැදගත් යැයි ඔබ සිතනවාද?

මම වැඩ කලේ ඉතාමත් දුෂ්කර අමිහිරි අමුද්‍රව්‍ය එක්ක, මම හාස්‍යය යොදා ගත්තේ ඒ අමිහිරි තත්වයන් වෙත පහසුවෙන් ලං වීමටත්, පාඨකයාට එය දිරවා ගැනීමටත් පහසු කිරීම සඳහා. ඒත් හාස්‍යය, පෙරළිකාරි බලයක් ලෙසත් මම දකිනවා, මොකද කුරිරු රාජ්‍ය පාලනයට අභියෝග කීරීමටත්, එහි ශුන්‍යත්වය පෙන්වා දීමටත් හැකි ශක්‍යතාවක් එවැනි හාස්‍යයක් තුළ ගැබ්ව තිබෙනවා. එය හරිම සිත් ගන්නා සුළුයි.

සාර්ථක කෘතියකින් පස්සෙ ඔබ දැන් විවේක සුවයෙන්. මේ මොහොතේ ඔබ කියවන කෘති මොනවාද?

වෝර්ෂන් ෂයර් ගේ Bless the Daughter Raised by a Voice in Her Head නම් කාව්‍යය ග්‍රන්ථය, කැරොලිනා ද රොබර්ටීස් ගේ The President and the Frog නම් නවකතාව සහ මොහ්ෂින් හමීඩ් ගේ The Last White Man නවකතාව මේ දිනවල මම කියවමින් ඉන්නවා.

බුකර් සම්මානය දිනා ගත් හෝ කෙටි ලැයිස්තු ගත වු ඔබ ප්‍රිය කරන නවකතාව කුමක්ද? ඒ ඇයි?

කැමති නවකතාව කියන එක නිතරම වෙනස් වෙනවා. ඒත් අරුන්දතී රෝයි ගේ The God of Small Things කෘතියට මගේ හදවතේ විශේෂ ඉඩක් හිමි වෙනවා.- එය දැනෙන සුළුයි, අපව සලිත කරවනවා, අප තුළ විජිගීෂාව ඇති කරනවා.

ඔබ කවදාහරි ලියනවා කියා සිහින මවන කෘතිය මොන වගේද?

එහෙම ‍පොත් ගොඩක් තියෙනවා. One Hundred Years of Solitude කියන්නෙ ඉන් එකක්.

ඔබ මීළඟට ලියන පොත?

Glory කෘතිය කියන්නෙ මහ ගොඩක්. එය මගෙන් මහ ගොඩක් දේ ඉල්ලා සිටියා. මම තාම සුවපත් වෙමින්!

සැකසුම- සුභාෂිණී චතුරිකා

පසුගිය සතියේ අනිද්දා පුවත්පතේ දේදුන්න අතිරේකයේ පළවුනු ලිපිය

 

Social Sharing
අවකාශය නවතම සාකච්ඡා