පාපන්දු කියන්නෙ ඩොලර් මිලියන..බිලියන ගානක ගුන්ඩුවක්…

කීප දෙනෙක් ඇරුනම පාපන්දු ක්‍රීඩකයො වැඩි දෙනෙක් ධනවතුන්.. බලවතුන්. .. සුපිරි පලමු පන්තියේ ලෝක පුරවැසියන්.
දකුණු ආසියාවෙ ක්‍රිකට් ක්‍රීඩකයො වගේ තමයි අනිත් රටවල පාපන්දු ක්‍රීඩකයන් කියන්නෙ.

ලෝක පාපන්දු ශූරතාව සංවිධානය කරන කටාරය මුදල් බලයෙන් ලෝකයට ඔච්චම් කරන රටක්.
සල්ලි බලය ලඟ ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ( ඒ හාදයා අවාසනාවකට ස්විස් ජාතිකයෙක්) දනින් වැටිල කටාරය වර්ණනා කරනව.

අනිත් අතින් ඉරානය කියන්නෙ අන්ත ආගමික මූල ධර්ම වලින් මිනිස්සුන්ගෙ ඉහ මොළ හූරා කන රෙජිමයක්.
ඒ හැම එකක්ම මැද්දෙ ඉරාන පාපන්දු කණ්ඩායමට මේ ලෝකයේ සාධාරණයට කැමති බොහෝ දෙනෙක් වගේ මමත් හිස නමනව.
ප්‍රභල බ්‍රිතාන්‍ය කණ්ඩායම ඉස්සරහ ඉරානය පරදිනව ගෝල් හයට දෙකක් විදිහට.
ගැටළුවක් නෑ… තවමත් ඉරාන කණ්ඩායම විශිෂ්ඨයි.

ඒ ක්‍රීඩකයො තවමත් ආදරණීයයි.

ඇයි.. ඒ…?

ඉරාන ක්‍රීඩකයන්ට කොන්දක් තිබුන තමන්ගෙ රටේ අරගලයට සහයෝගය දෙන්න. ඉරාන පාපන්දු ක්‍රීඩකයන්ට හදවතක් තිබුනා දුක් විඳින තමන්ගෙ රටේ මිනිස්සු වෙනුවෙන් තමන් ඉන්නව කියල කියන්න.
ඒ ක්‍රීඩකයො කෑ ගැහුවෙ නෑ… ඒ ක්‍රීඩකයො නිහඬ වුනා.
ඒ අය ප්‍රථික්ශේප කරා තමන්ගෙ රටේ ජාතික ගීය ගායනා කරන්න ලෝකයක් ඉදිරියේ.
ජාතික ගීය වාදනය කරන වෙලාවෙ ඒ අය නිහඬ වගේම හැඟීමක් නැති මූණු මුළු ලෝකයටම ප්‍රදර්ශණය කරේ අමුතුම හැඟීමක් ඇති කරමින්.

නිහඬ කම බොහොම බලවත්.

තරඟයට පෙර ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි ඉරාන නායක අලිරේසා ජහාන්බාක්ශ් (Alireza Jahanbhaksh) කීවෙ “අපි හැමෝම එකතුවෙලා එකට තීරණය කරා ජාතික ගීය නොගයා ඉන්න.
ඒ අපේ රටේ පාරවල් ගානෙ කෑ ගහන … අන්තවාදී ආණ්ඩුවට විරුද්ධව හඬ නගන අරගල කරුවන් වෙනුවෙන්.”
“අපි ඒ අය වගේමයි… අපි එකයි.”
අලිරේසා කියනව.

ඉරානයේ වීදි පුරා සටන් කරන මිනිස්සු වගේම ගෙවල් ඇතුලෙ හිරවෙලා ඉන්න මිනිස්සුත් මිලියන ගාණක් සතුට පලකරනව.. ආදරය කරනව තමන්ගෙ පාපන්දු කණ්ඩායමට.
ඒ සිද්ධිය හරි ආදරණීයයි. දිනුවත් පැරදුනත් ඒ හැඟීම පුදුමාකරයි.

ආපහු තමන්ගෙ රටට ගියාම මේ ක්‍රීඩකයන්ට මොනව වේවිද..? ඒක වෙනම ප්‍රශ්ණයක්.
නමුත් ඒ ක්‍රීඩකයන් මිනිස්සුන්ගෙ හදවත දිනාගෙන ඉවරයි.

අද වෙද්දි ඉරානයේ අරගලය වෙනුවෙන් 426 දෙනෙක් ජීවිත පූජා කරල තියනව. 13,000 ට අධික අරගල කරුවන් හිර ගෙවල් වල දුක් විඳිනව.
රට පුරා කාන්තාවන් හිජාබ් නොපලඳින වරදට එක පිට එක කස පහර කනව.
පර්සියාව විදිහට.. ලෝකයට බොහොම ලස්සන… වැදගත් දේ හඳුන්වල දුන්නු ඒ දේශය ඉරානය නමින් අන්තවාදී ආගමික රාජ්‍යයක් බවට පත්වෙලා තමන්ගෙ මිනිස්සුන්වම තලා පෙලනව.

වාසනාවකට ඒ රටේ හඬක් තියන නළු නිලියො.. ගායක ගායිකාවො විතරක් නෙවේ පාපන්දු ක්‍රීඩකයො පවා අරගල කරුවන් එක්ක ඉන්නව ඒ අයට පුළුවන් විදිහට.

ඉන්දියන් සාගරයේ තියන දූපතේ ප්‍රසිද්ධ ක්‍රීඩාවක සුපිරි ක්‍රීඩකයො හෝ සුපිරි ක්‍රීඩා කණ්ඩායම් ගැන කතා කරන එක හොඳ මදි.
හේතුව ඒ අය දේවත්වයෙන් සලකන සුපිරි කොටසක් වීමත් … සාමාන්‍ය දුප්පත් ජනතාව කියන කොටසට ඒ අය අයිති නොවීමත් නිසා.

ඒ අතින් ඉරාන පාපන්දු කණ්ඩායම විශිෂ්ඨයි. ඒ අය ඉන්නෙ සුපිරි දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් වෙසෙන සුපිරි පන්තියේ නෙවේ… පාරවල් ගානෙ දුක් විඳින තමන්ගෙ මිනිස්සුත් එක්ක.

මාස තුනකටත් වඩා චෝදනා නැතුව හිරගත කරල ඉන්න වසන්ත මුදලිගේත්.. සිරි ධම්ම හිමිත් මතක් වෙනව.
රටේ භහුතර මිනිස්සුන්ට.. ක්‍රිඩකයන්ට.. දේශපාලකයන්ට ඒ අය වැදගත් නැතුව ඇති. ඒ නිසා ඔහේ අමතක කරල දානව ඇති.

ඒ අතින් ඉරාන ක්‍රීඩකයන් විශිෂ්ඨයි.
නූල් බැඳගෙන… යාතිකා කරගෙන…දෙවියන් ලඟ අන්ධව වැඳවැටීගෙන..බෝල ගහනව වෙනුවට ඒ ක්‍රීඩකයො තමන්ගෙ රටේ මිනිස්සු ගැන හිතනව. සුපිරි වාහන.. නිල තල….. සුරූපී කාන්තාවො පැත්තකින් තියල ඒ අය පාරවල් ගානෙ කෑගහන තමන්ගෙ මිනිස්සු ගැන හිතනව.

ඒ ක්‍රීඩකයො විශිෂ්ඨයි… ඒ රට ගැන හැඟීමක් තියන මිනිස්සු.

Malcom sang

උපුටා ගැනීම – ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම