යහපාලන මූල්‍ය වංචාවක්, සීඅයිඩීය යනවා රොෂාන් රණසිංහ කියයි

බ්‍රිතාන්‍ය සමයේ ඉදිකරන ලද බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ ඓතිහාසික සිවු මහල් ගොඩනැඟිල්ල අත්තනෝමතික ලෙස ගලවා දමමින් තරුණ සේවා සභාවේ හිටපු පාලනාධිකාරිය 2016 වසරේදී රුපියල් ලක්ෂ දෙදාහකට අධික වංචාවක් සිදුකර ඇතැයි ප්‍රකාශ කරන ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ, ඒ පිළිබඳව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නැයි තමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ යැයි ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ තරුණ කටයුතු හා රැකී රක්ෂා ඇමැතිව සිටියදී ආරම්භ කළ මෙම ආයතනය ඓතිහාසික වටිනාකමකින් යුක්තය. එහි අධ්‍යාපන කටයුතු සඳහා භාවිත කළ සිවුමහල් තේ කම්හල් ගොඩනැඟිල්ල මෙසේ හදිසියේම ගලවා ඉවත් කිරීමට 2016 වසරේදී තීරණය කර ඇති අතර එය ගැලවීම සඳහා ද රුපියල් ලක්ෂ 80ක මුදලක් වැය කර ඇතැයි ප්‍රකාශ කරන අමාත්‍යවරයා එසේ ගලවා දැමූ ගොඩනැඟිල්ලේ අමුද්‍රව්‍ය හෝ අබලි ද්‍රව්‍ය කිසිවක් මේ වනවිට සොයාගත නොහැකිව ඇති බව ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම ක්‍රියාව තනිකරම රාජ්‍ය දේපළ වංචා කිරීමක් බව ඒ මහතා පවසයි.

තරුණ සේවා සභාවේ නිලධාරීන්ගෙන් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී ඊයේ (22) මේ ගැන විමසීමට මන්ත්‍රිවරුන් කටයුතු කර ඇති අතර ඒ අනුව වහාම මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නැයි තමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්