යළිත් ඇඟලුම් සේවක කප්පාදුවක් රටේ සිදු වෙයිද?

මාතලේ, නා උල, කොන්ගහවෙල පිහිටි ප්‍රසිද්ධ නාමයක් සහිත ඇඟලුම් කම්හලක් වසා දමා ඇති බව ඊයේ (09) දින දැන ගන්නට ලැබුණි. එහි පාලනාධිකාරිය පවසන අයුරින් නම් ඒ වසා ඇත්තේ සති දෙකක කාලයකටය. ඒ ඔවුන්ට අවශ්‍ය විදේශීය ඉල්ලුම් නොලැබීම, එමෙන්ම අවශ්‍ය ඇඟලුම් ද්‍රව්‍ය හිඟ වීම නිසාය. මේ නිසා එහි රැකියා කළ සේවක සේවිකාවන් රැසකට දැන් සිදුව ඇත්තේ ආයතනය පාඩු ලැබීම නිසා නිවසේ රැඳීමටය

කොරෝනා වසංගතය පාලනය කරමින් යළි රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් ඇත. මාස දෙකක් පමණ රට වසා තැබුවාද කියා දැන් මේ රටේ සමහර පුද්ගලයින්ට මතකවත් නැත. කොරෝනා උවදුරෙන් පාලනය වීමට රටේ සියල්ල අකර්මන්‍ය කළ පසු යළි රට විවෘත කෙරුණේ බොහෝ අයට රැකියා අහිමි කිරීමේ අවදානමක් සමඟිනි. ඊට මූලික හේතු වී තිබුණේ රටේ ණය බර ඉහළ යාමය.

ඒ අතර තුර මැතිවරණයක්ද පැවැත්වුයේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද රැසක් අනුගමනය කරමිනි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද වරින් වර දේශපාලන වේදිකා වලදී ප්‍රකාශ කර සිටියේ තවදුරටත් රට මෙලෙස පැවතුණහොත් ඉදිරියේ ඇඟලුම්හල්, කර්මාන්තශාලා වැසෙනු ඇති බවය.

කෙසේ නමුදු මේ වන විට බොහෝ කර්මාන්තශාලා රැසක සේවක කප්පාදුවක් සිදුවෙමින් පවතියි. මේ සම්බන්ධයෙන් අයිතිය නිදහස් වෙළඳ කලාප  සහ පොදුසේවා සේවක සංගමයේ ඇන්ටන් මාක්ස් මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ඉදිරියේදී ලක්ෂයක්ගේ හෝ හැටදහසකට ආසන්න පිරිසකගේ රැකියා අහිමි වීමක් පවතින බවයි.

ඇඟලුම් කර්මාන්ත හිමියන්ගේ සංසදයේ සභාපති පවසන ආකාරයට නම් කොරෝනා තත්ත්වය නිසා තවමත් යුරෝපයේ, ඇමරිකාවේ ආදී රට වල නිමි ඇඳුම් සාප්පු සංකීර්ණ තවමත් විවෘත නොවීම හමුවේ මෙරට ඇඟලුම් නිෂ්පාදන විදේශයට යවා ගත නොහැකිව ඇත. ඒ නිසා මෙහි ඇඟලුම් කර්මාන්තශාලා වල වැඩ කිරීමත්, අවශ්‍ය ඇණවුම් නොලැබීමත් මත සේවක කප්පාදු සිදු වේ. එමෙන්ම ශාඛා බොහෝමයක් ඇති කර්මාන්තශාලා මේ වන විට අඩු කරමින් පවතින අයුරුද දැකිය හැකිය.

නමුත් ඇන්ටන් මාක්ස් මහතා කියා සිටින්නේ මේ වන විට ස්ථිර, කොන්ත්‍රාත්  සේවකයින්ගේ ගමන් පහසුකම්, අතිකාල දීමනා, පැමිණිමේ දීමනා කපා හරිමින් සේවකයින් අධෛර්යමත් කිරීමට ඇතැම් කර්මාන්තශාලා හිමියන් කටයුතු කරමින් සිටින බවය. එමෙන්ම බොහෝ ආයතන මේ වන විට මෑන් පවර් සේවකයින් යොදා ගන්නා බවද ඔහු සඳහන් කර සිටියි.

මේ ඉවත් කරන සේවකයින් සම්බන්ධ තොරතුරු කම්කරු කාර්යාලයෙන් හා කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියත් ඔවුන්ද මේ වනතුරු ලබා නොදුන්  බවත් නව ආණ්ඩුව යටතේ ඉදිරියේදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවේය.

-ශානිකා-

Social Sharing
නවතම