අමු අමුවේ සිදු වන නීති උල්ලංඝනයන් හෙලා දැකීමේ සමාජ වටපිටාවක් ගොඩනැගීය යුතු නොවේද?

ඇඳිරි නීතිය පැවැති අවස්ථාවක මුව ආවරණ ද නොමැති ව පා පැදියකින් ගමන් කරමින් සිටි බාලවයස්කාර මන්ද මානසික ළමයකුට අලුත්ගම අඹගහ හංදිය පොලිස් මුරපොළක රාජකාරියේ සිටි නිලධාරියකු විසින් පහරදීමක් සම්බන්ධයෙන්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබීය.   එම නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය මැයි 25 වෙනිදා සවස 4.45 ට පමණ අඹගහහංදිය ඉන්ධන පිරවුම් හල අසල මාර්ග බාධකය හරහා දර්ගා නගරය දෙස සිට වැලිපැන්න දෙසට පා පැදියකින් පුද්ගලයකු මුව ආවරණ ද නොමැතිව ගමන් කර ඇති බවය. එම පුද්ගලයාට නවතින ලෙසට පොලීසිය එහිදී සංඥාකර ඇතත් ඔහු පොලිස් අණ නොතකා ගමන් කර ඇති බව ද පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි.  එම පුද්ගලයා නැවත සුළු වේලාවකට පසු මාර්ග බාධකය හරහා ම දර්ගා නගරය දෙසට ගමන් කරමින් සිට ඇති බවත් එහි දී පොලීසිය පාපැදිය අල්ලා ඔහුව නවත්වා ගැනීමට උත්සහ දරා තිබෙන බවත් පොලිස් මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. පොලිස් නිලධාරියෙක් විසින් පා පැදිය අල්ලා ගැනීම නිසා පාපැදිකරුට එය පාලනය කිරීමට නොහැකි ව අසල පිහිටි මාළු ලෑල්ලක ගැටී බිම ඇද වැටී තිබේ.

එම අවස්ථාවේ දී පාපැදි කරු උස් හඩින් කෑ ගසමින් එම ස්ථානයෙන් පැන දුවන්නට උත්සහා දරා ඇති බවත් එහිදී ඔහුව පාලනය කිරීමටත් මෙල්ල කිරීමටත් කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය අංශයේ නිවේදනයේ සදහන්ය. එම අවස්තාවේදී මුරපොළ වෙත පැමිණි පුද්ගලයෙක් පාපැදිකරු මන්ද මානසික අයකු බව පොලිස් නිලදාරීන්ට සදහන් කර ඔහුගේ පියා දර්ගා නගරයේ මධ්‍යම පාරේ පදිංචිකරුවෙක් බව පවසා තිබේ. පොලිස් මාධ්‍ය අංශය සදහන් කරනුයේ එම මානසික ආබාධ සහිත ළමයා හොදින් හැදී වැඩී ඇති අයෙක් වූ බැවින් ඔහු මානසික රෝගියෙක් සේ හදුනාගෙන නොමැති බවත් ඔහු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති පුද්ගලයෙක් බවට සැක මතුවී ඇති බවත්ය. එම ළමයා මන්ද මානසික අයකු බව දැනගත් වහාම පියාව කැදවා තත්වය වටහාගෙන අධිකරණ ක්‍රියා මාර්ගයකින් තොරව එම ළමයාව පියාට භාරදීමට පොලීසිය පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

පොලීසිය කර ඇත්තේ පාපැදිකරුව මෙල්ල කර ගැනීමට අවශ්‍ය බලය පාවිච්චි කිරීමක් මිස පහරදීමක් කර ඇති බවක් මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිස් මාධ්‍ය අංශය අවධාරණය කරයි. මෙම සිද්ධිය සම්බන්දයෙන් බාහිර පාර්ශවයක් විසින් සමාජ මාධ්‍ය ජාලා හා විද්‍යුත් මාධ්‍ය ජාල මගින් විවිධ ප්‍රචාරයන් ලබාදීමට කටයුතුකර ඇතැයි නිරීක්ෂණය වන බවද පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් කළුතර නියෝජ්‍ය පොලිස්පති සහ කළුතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාගේ අධික්ෂණයෙන් එම අවස්ථාවේදීම රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගෙන් රාජකාරි පැහැර හැරීමක් සිදුවී තිබේදැයි පරීක්ෂා කර අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භකර ඇති බවත් පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මේ වන විට එම ළමයාගේ පියාගෙන්ද ප්‍රකාශ සටහන් කර ළමයා නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙතද ඉදිරිපත් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සදහන් කරයි. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට විමර්ශන භාරදී ඇත්තේ මෙතෙක් කර ඇති විමර්ශනයන්ට අමතරවය.

සිදුවූ පොලිස් පහරදීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියමයෙන් විමර්ශනයක් අරඹා තිබේ. ඒ අනුව පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට විශේෂ රාජකාරි සඳහා අල්ගම පොලිසියට අනුයුක්ත කර සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත. 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව යටතේ කිසිදු පුද්ගලයෙකුව වධහිංසාවකට නැතහොත් කෲර, අමානුෂික, අවමන්සහගත සැලකිල්ලකට හෝ දඩුවමකට යටත් නොකළ යුතු අතර එහි 12 වන ව්‍යවස්ථාව අනුව නීතියේ රැකවරණය සර්ව සාධාරණ අයුරින් සෑම තැනැත්තෙකු වෙතම ලැබිය යුතුය. එසේම 1994 අංක 22 දරණ වධහිංසාවලට නැතහොත් කෲර, අමානුෂික, අවමන්සහගත සැලකිලිවලට හෝ එවැනි ආකාරයේ දඩුවම් වලට එරෙහි සම්මුති පනත යටතේ පොලිස් නිලධාරීන් හෝ හමුදා නිලධාරීන් වැනි ආරක්ෂක අංශයේ නිලධාරීන් හට තම රාජකාරි බලතල යොදා ගනිමින් කිසිදු තැනැත්තෙකුට වධහිංසා පමුණුවීමට හෝ එසේ වධහිංසා කරන ලෙස තමා යටතේ සේවය කරන නිලධාරියෙකුට නියෝග කිරීමට හැකියාවක් නොමැත. මෙවන් නීති මගින් පුද්ගල නිදහස ආරක්ෂා වී තිබුනද එම නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් දිගින් දිගටම සිදුවන මෙවැනි ආකාරයේ ක්‍රියාවන්ට එරෙහිව නීතිය නිසියාකාරව ක්‍රියාත්මක විය යුතු සේම, මෙවැනි ක්‍රියා හෙලා දැකීමේ සමාජ වටපිටාවක් ගොඩනැගීමට සමාජයක් වශයෙන් ජාති භේද, ආගම් භේද ඉවත දමා සියළු දෙනාම පෙල ගැසිය යුතු අතර ඒ උදෙසා සමාජ කතිකාවතක් ගොඩනැංවිමට පියවර ගත යුතුය.

Social Sharing
විශේෂාංග