20 න් ජනාධිපතිට කියන තරම් බලයක් නෑ – මහින්ද අරමවීර

ජනාධිපති ක්‍රමය මේ අවස්ථාවේ අහෝසි කිරීම ප්‍රායෝගික වශයෙන් කළ නොහැක්කක් වුවද, ජනාධිපති ක්‍රමයට ශ්‍රී.ල.නි.ප.ය එදා වගේම අදත් විරුද්ධයි. 78 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ක්‍රමය මේ රටට හඳුන්වා දුන් දා සිට ශ්‍රී.ල.නි.ප.ය එය අහෝසි කිරීම සදහා සටන් කළා. විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් අපේ මතයේ කිසිඳු වෙනසක් නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අරමවීර මහතා වීරකැටියේදී පැවසීය.

පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරියේ අනුග්‍රහයෙන් රට පුරා විහාරස්ථාන දහසක “ හුස්ම දෙනතුරු “ ඔසු උයන් වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගිවෙමින් ඇමතිවරයා එසේ පැවසීය.

වීරකැටිය කුඩාබිඹුල ශ්‍රී බෝධිරුක්කාරාමයේ පැවති එම උත්සවයේදී වැඩි දුරටත් අදහස් දැක් වූ පරිසර අමාත්‍ය වරයා මෙසේද පැවසීය.

“ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ඇති කරන ලද විධායක බලතල සහිත ජනාධිපති ධූරය අහෝසි කිරීම මේ වන විට දුෂ්කර කටයුක්තක් වුවද අඩුම වශයෙන් මනාප ඡන්ද ක්‍රමයවත් අහෝසි කරනු ලබන මැතිවරණ සංශෝධන ක්‍රමයකටවත් අප යා යුතුයි කියන ස්ථාවරයේ ශ්‍රී.ල.නි.ප.ය ඉන්නවා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෝඨාභය ජනාධිපතවරයාට අමුතු බලයක් ලැබී නෑ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කලින් ජනාධිපති ධූරයට තිබු බලතලයි 20 සංශෝධනය තුළින් නැවත ඇති කළේ. ජනාධිපතිවරයෙකුට 19 වැනි සංශෝධනයට කලින් තිබූ සමහර බලතලත් 20 වැනි සංශෝධනය තුළ නෑ. උදාහරණයක් විධියට 19 සංශෝධනයට පෙර ජනාධිපතිවරයෙකුට පාර්ලිමෙන්තුව වසරකට පසුව විසරවීමේ බලයක් තිබුණා. නමුත් එය දැන් වසර දෙක හමරක් දක්වා වෙනස් කොට තිබෙනවා.

ජේ.ආර්. ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුට තිබූ බලතලවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන්නේ නෑ. සමහරුන් කියන පරිදි ඒකාධිපති බලයක් එතුමාට ලැබී නෑ.

මේ ආණ්ඩුව බලයට පත්කිරීම සදහා වෙහෙසුනු මහා සංඝරත්නය සමග 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිදු විය යුතු වෙනස්කම් පිළිබදව ශ්‍රී.ල.නි.ප.ය සාකච්ඡා කළා. උන්වහන්සේලාගේ බොහෝ ඉල්ලීම් ඉටු කර දීමට අප සමත් වුණා. සමහර කරුණු ඉටු කරන්නට අපට නොහැකි වුණා.

අපේ වැඩි අවධානය යොමු වී තිබෙන්නේ 20 වැනි සංශෝධනය ගැන නොවෙයි. වත්මන් ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත අළුත් ව්‍යවස්ථාව සම්බන්ධවයි. ඒ ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතු බොහෝ කරුණු පිළිබදව අප අධ්‍යනය කරමින් ඉන්නවා .මහා සංඝ රත්නයේ අදහස් වලටද එහිදී අපි වැඩි අවධානයක් යොමු කරනවා.

ද්විත්ව පුරවැසි පනත පිළිබදව ජනාධිපති තුමා දරණ මතය පිළිබදව අපි විශ්වාසයෙන් ඉන්නවා. අළුත් ව්‍යවස්ථාවෙන් මේ රටේ රාජ්‍ය පාලනයට ද්විත්ව පුරවැසියන්ට සහභාගී වීමට ඇති අවස්ථාව ඉවත් කිරීමට එතුමා පොරොන්දු වී තිබෙනවා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ලබා දීම සදහා විපක්ෂයේ ඉන්න  සිංහල මන්ත්‍රී වරිය වගේම මුස්ලිම් ද්‍රවිඩ මන්ත්‍රී වරුනුත් පෙළඹවීම තුලින් පැහැදිලි වන්නේ වත්මන් ආණ්ඩුව ජාතිවාදී පදනමක් නැති කාටත් එක සේ වටිනාකමක් දෙන ආණ්ඩුවක් බවට පත්ව ඇති බවද මහින්ද අමරවීර අමාත්‍ය වරයා වැඩි දුරටත් පැවසීය.

-චන්ද්‍රසේන ගමගේ-

 

Social Sharing
නවතම