අපනයන ආර්ථිකට ප්‍රවේශයක්

 

විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත්භාවය ප්‍රකාශයට පත්ව ඇති රටක රජයේ වාර්ෂික අයවැය ලේඛනය මගින් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? අත්‍යාවශ්‍ය භාණ්ඩවල ඉහළ ගිය මිල ගණන් අඩුකර, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකර, ඍජු සහ වක්‍ර බදු අඩුකර ජනතාවට සහන සලසන අයවැයක්ද? එසේ නොමැති නම් හැකි මුල්ම දිනයේදී රට බංකොලොත් භාවයෙන් මුදාගෙන, සැනසුමක සේයාවක් දැකගත හැකි විසඳුමක් ගෙනෙන අයවැය ලේඛනයක්ද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය විශ්ලේෂණය කිරීමේදී ඉහත සඳහන් ප්‍රශ්නවලින් කවරකට ඉන් විසඳුම් ලබාදී ඇද්ද යන්න සලකා බැලීම ඉතා වැදගත් වනු ඇත.

රට මුහුණ දී සිටින ආර්ථික ව්‍යසනය පිළිබඳවත් එයට හේතු වූ කරුණු පිළිබඳවත් රටේ මහජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට තරමක හෝ අවබෝධයක් ඇතැයි සිතේ. එයට හේතුව අද ගැටලුවට මූලිකම හේතුවක් වී ඇති විදේශ විනිමය හිඟය, එයට හේතු වූ සංචාරක කර්මාන්තය බිඳවැටීම, විදේශ ප්‍රේෂණ අඩු වීම ආදිය පිළිබඳව කොතෙකුත් සාකච්ඡා ඇතිව තිබීමය. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය වැනි හේතු නිසා රටේ විදේශ ආදායම්මාර්ග පහළ වැටෙද්දී ඒවාට පිළියම් යෙදීම සඳහා වූ උපාය මාර්ග ශ්‍රී ලංකාවට නොතිබුණි. උද්ගත වූ අර්බුදයේ සැබෑ ස්වරූපය, ඒවාට හේතුව සහ අනාගතයේදී ඒවාට තිරසර විසඳුම් ලබාගත හැකි ආකාරය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව අර්බුදයට විසඳුම් සෙවිය නොහැකිය.

ඒ සඳහා වූ ගමන් මග සකස් විය යුතු ආකාරය පිළිබඳ විග්‍රහයක් සහ දැක්මක් මෙවර අයවැය ලේඛනයෙන් ප්‍රකාශයට පත්කර ඇත. ‘‘1977 වසරේ නිර්මාණය කෙරුණු ආර්ථික පදනම දැන් වලංගු නැත. එය වර්තමානයට ගැළපෙන්නේ නැහැ. අපේ රටේ කලක් ක්‍රියාත්මක වූ සංවෘත ආර්ථිකය සේම 1977 නිර්මාණය කළ ආර්ථිකයත් අසාර්ථක වී හමාරයි. වර්තමානයේ ලෝක ප්‍රවණතා වෙනස්. ඒ නිසා නව ප්‍රවණතාවලට ගැළපෙන ලෙස අපි අලුත් ආර්ථික පදනමක් සකස් කරගත යුතුයි.’’

1977 වසරේදී ජේ.ආර්. ජයවර්ධන මහතා එතෙක් පැවති ආවෘත ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු මේ රටේ දක්ෂිණාංශික, මැද මාවතේ සහ වාමාංශික සියලු දේශපාලන පක්ෂ නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය පිළිගත්තේය. එයින් බැහැර වූ ආර්ථික පිළිවෙතක් පිළිබඳව රටේ ජනාධිපතිවරුන්ගේ හෝ දේශපාලන නායකයන්ගේ අවධානය යොමු වූ බවක් පෙනෙන්නට නැත. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය මෙන්ම විවෘත ආර්ථික ප්‍රතිපත්තියද වෙනුවට අලුත් ආර්ථික පදනමක් සකසා ගත යුතු බව පෙන්වා දී ඇත. නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දී වසර 45 කට පසු ඒ වෙනුවට නව පදනමක් සකස් කරගත යුතු බව ප්‍රායෝගිකත්වයෙන් යුතුව ප්‍රකාශ වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

අලුතෙන් බිහිවන ආර්ථික ක්‍රමය ‘‘සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක්’’ වන අතර එය ක්ෂේත්‍ර තුනක් මත පදනම් වන බව අයවැය ලේඛනය මගින් පෙන්වා දී තිබේ. අපනයන මූලික කරගත් තරඟකාරී ආර්ථිකයක්, පරිසර හිතකාමී හරිත සහ නීල ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් යන කරුණු පදනම් කරගෙන එම ආර්ථිකය ගොඩනගනු ඇත. ‘අප නව ආර්ථිකය නිර්මාණය කරන්නේ රටේ ජාතික සම්පත වන තරුණ තරුණියන් වෙනුවෙන් – ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන්’ යැයි අයවැය ලේඛනයේ සඳහන්ව තිබේ. ඒ තුළින් මේ අයවැය ලේඛනය ඔස්සේ රටේ ආර්ථික අර්බුදයේ සැබෑ හේතුව නිශ්චිත කර ගැනීමටත් තරුණ පරපුර මෙම තත්ත්වය කෙරෙහි දක්වන ප්‍රතිචාර හඳුනා ගැනීමටත් ඒ අනුව නව ප්‍රවේශය රටේ ඇතිව තිබෙන නව ගැටලුවලට ආමන්ත්‍රණය අරමුණු කරගෙන සකස් වී ඇති බවත් පෙනී යයි.

නව ආර්ථික ප්‍රතිපත්ති සහ දර්ශනය මගින් කෙටි, මැදි සහ දිගු කාලීනව නිශ්චිත අරමුණු සපුරා ගැනීම සඳහා අපේක්ෂා කරන වර්ධන සහ සංවර්ධන ඉලක්ක පැහැදිලිව සකස් කර තිබේ. සියයට හතක සහ අටක මට්ටමේ ආර්ථික වර්ධනයක්, 2023 සිට 2032 දක්වා වාර්ෂිකව ඩොලර් බිලියන තුනක අපනයන වර්ධනයක්, වසර 10 ක් යන තුරු වාර්ෂිකව ඩොලර් බිලියන තුනක ඍජු විදේශ ආයෝජන යන ඉලක්ක සහ ජාත්‍යන්තර වශයෙන් ඉහළ කුසලතාවලින් යුත් තරගකාරී ශ්‍රම බලකායක් බිහිකර ගැනීමද එම ඉලක්ක අතර වේ.

ඉහත කී ආර්ථික දැක්ම, ඒ සඳහා වූ උපායමාර්ග සහ මුලින් දක්වන ලද ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා වූ යෝජනා අයවැය ලේඛනය මගින් ඉදිරිපත් කර තිබේ. මේ අයවැයෙන් අප කරන්නේ ලෝකයට ණය වී මඟුල් කන තාලයේ වැඩ නොවන බවත් අයවැයෙන් අප කරන්නේ අපේම ශක්තියෙන් අපට නැගීසිටින්ට පුළුවන් පදනමක් සකස් කර ගැනීම සහ නව ආර්ථිකයක් නිර්මාණය කිරීමේ ප්‍රවේශයක් විවර කර ගැනීම බවත් සඳහන් වේ. ඒ අනුව 2021 දී සියයට 8.3 ක් වූ රාජ්‍ය ආදායම 2025 වසර වන විට ආසන්න වශයෙන් සියයට 15 දක්වා වැඩිකර ගැනීමටත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 110 ක් වන ණය බර සියයට වඩා පහළ මට්ටමට ගෙන ඒමටත් ඉලක්ක කර තිබේ.

නව ආර්ථික ක්‍රමය තුළ දිළිඳු සහ අවදානමට ලක්ව ඇති කණ්ඩායම් රැකබලා ගැනීම පිළිබඳව අප පූර්ණ අවධානය යොමු කරන බව සඳහන් කර ඇති අතර එම ප්‍රකාශය පරිදිම එම කණ්ඩායම්වලට අයවැය මඟින් සහන ලබා දී තිබේ. සමෘද්ධි අවම දීමනාව රුපියල් 420 සිට රුපියල් 3000 දක්වා වැඩිකර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 20750 ක් වෙන්කර තිබේ. අර්බුදකාරී තත්ත්වය නිසා පීඩාවට පත් පවුල් සඳහා තවත් මාස හතරක කාලයක් සඳහා රුපියල් 5000 ක දීමනාව ලබා දී ඇත. ඒ සඳහා රුපියල් මිලියන 18800 ක් වෙන්කර තිබේ. ආබාධිත සහ වකුගඩු ආබාධිත පිරිස්වලට සෑම මසකම රුපියල් 2500 ක දීමනාවක් වෙන්කර තිබේ.

රටේ ඉදිරි ගමන අනාගත විදේශ ආයෝජන මත බොහෝ දුරට රඳා පවතිනු ඇත. ඒ සඳහා සියලු ආයතන ඒකාබද්ධ කර එක ආයතනයක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක් වෙන්කර තිබේ. බස්නාහිර පළාත, වයඹ පළාත, හම්බන්තොට හා ත්‍රිකුණාමලය ආශ්‍රිතව නව ආයෝජන කලාප පිහිටුවීම සඳහා රුපියල් මිලියන 300 ක් වෙන්කර ඇත. සියලුම ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සම්බන්ධයෙන් කටයුතු කරන වෙළඳ කාර්යාලයක් පිහිටුවීමටද යෝජනා කර ඇත. ඒ අතරම බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පළාත් ආශ්‍රිතව සමුද්‍රීය සංචාරක ප්‍රවර්ධන කලාප ඇති කිරීම සඳහාද යෝජනා ඉදිරිපත් කර තිබේ.

මේ ආකාරයට රටේ ආර්ථික සහ යටිතල පහසුකම් සංවර්ධනය අරමුණු කරගත් යෝජනා රැසක් අයවැය ලේඛනයට ඇතුළත් කර ඒ සඳහා අරමුදල්ද වෙන්කර තිබේ. සෑම කරුණකදීම දැඩි ලෙස අවධාරණය කර ඇති කරුණ වන්නේ වෙනස් වන ලෝකයට සහ වෙනස් වන තාක්ෂණයට අනුකූලව අපේ රටේ ද වහාම වෙනස්කම් ඇති විය යුතු බවයි. ඩිජිටල් තාක්ෂණය සඳහා එහිදී ප්‍රමුඛතාවක් ලබාදෙන්නේ එය සෑම ආර්ථික අංශයකටම අදාළ කර ගත හැකි බැවිනි.

ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකටම අදාළව ප්‍රතිසංස්කරණ සහ නව ව්‍යාපෘති සඳහා වන යෝජනා ඉදිරිපත් කර තිබේ. කුරුඳු සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීම, ශ්‍රී ලංකාවේ ආර්ථික ඵලදායීතාව වැඩි කිරීම සඳහා ජාතික ආර්ථික ඵලදායීතා කොමිසමක් පිහිටුවීම, නව ව්‍යාවසාය දිරි ගැන්වීම සඳහා කටයුතු කිරීම වැනි යෝජනා ඒ අතර වේ. ආර්ථික අර්බුදයත් සමඟ උග්‍ර වීමට ඉඩ ඇති ආහාර ගැටලුවට පිළියම් සෙවීම සඳහා ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට පියවර රැසක් ගෙන තිබේ.

2023 අයවැය ලේඛනයේ සමස්තයක් ලෙස ගත් විට ඉතාම වැදගත් කරුණ වන්නේ එක් අතෙකින් අප දැනට මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බුදයට කෙටිකාලීන විසඳුම් සොයන අතරම දිගුකාලීන මෙවැනි අර්බුදයක් නැවත ඇති නොවන ආකාරයෙන් ආර්ථික පදනම ශක්තිමත් කිරීමයි. ජනාධිපතිවරයා ලෙස මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙසද රටේ දිගු කාලීන ආර්ථික ගැටලුව පිළිබඳව විවෘතව අදහස් දැක්වීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. ‘‘රටේ දීර්ඝ කාලීන සංවර්ධනයට පදනම වන්නේ ජනප්‍රිය කරුණුද? අපේ රටේ බොහෝ අවස්ථාවල සිදු වූයේ නිවැරදි තීන්දු වෙනුවට ජනප්‍රිය තීන්දු ගැනීමයි. දැන් බොහෝ අය උත්සාහ කරන්නේද ජනප්‍රිය තීන්දු ගැනීමටයි’’. ජනප්‍රිය නොවූවද අවශ්‍යම තීන්දු ගැනීමට ඔහු ක්‍රියා කර ඇත.

බොහෝ දෙනකු සිතා සිටියේ පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ල IMF උපදෙස් මත පෞද්ගලීකරණය කරන යෝජනා අයවැය ලේඛනය තුළ අඩංගුව පවතිනු ඇතැයි යන්නයි. එහෙත් ශ්‍රී ලංකන්, ටෙලිකොම්, හිල්ටන්, වෝටර්ස් එජ් සහ රක්ෂණ සංස්ථාව වැනි ආයතන කිහිපයක් පමණක් ප්‍රතිව්‍යුහගතකරණය කරන බව දක්වා තිබේ.

නිදහස ලබන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පැවතියේ විවෘත ආර්ථික ක්‍රමයයි. 1956 සිට 1977 දක්වා වසර 21 ක් තුළ සංවෘත ආර්ථිකයක් ක්‍රියාත්මක විය. එතැන් සිට මේ වසර දක්වා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය. සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය අසාර්ථක වීම නිසා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළද දැන් එය යල් පැන ගොස් තිබේ. එබැවින් වෙනස්වීමට කාලය පැමිණ තිබේ.

තරුණ පරපුරේ හැඟීම් සහ අවශ්‍යතා හඳුනාගත හැකි සහ නැගී එන මධ්‍යම පන්තියේ බලාපොරොත්තු සහ අපේක්ෂා අවධානයට යොමුකර අනාගත ලෝක ප්‍රවණතා හඳුනාගෙන අපේ ආර්ථික උපායමාර්ග සකස් කරගත යුතුව ඇත. සියල්ලටම වඩා ඒ සඳහා වූ දර්ශනයක් ද උපායමාර්ගික සැලැස්මක් ද මෙම අයවැය ලේඛනය මඟින් ඉදිරිපත් කර තිබීම ආර්ථික විද්‍යාඥයන්ගේ මෙන්ම සැලසුම් සම්පාදකයන්ගේ මෙන්ම මහජනතාවගේ ද අවධානයට යොමු විය යුතු යැයි සිතමි.

-කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

( ලංකාදීප )

Social Sharing
නවතම විශේෂාංග