ලංකාවේ කතුන් ඕමානයේ දී ගණිකා සේවයට විකුණයි

ඕමානයේ රැකියා සිහින පෙන්වා රැගෙන ගිය තරුණියන් හා කාන්තාවන් රැකියා නියෝජිතයන්ගේ කාර්යාලවලදී එරට හාම්පුතුන්ට රිසි සේ තෝරාගැනීමට පෝලිම් ගස්සවා ප්‍රදර්ශනය කර විකුණා ඇතැයි අනාවරණය වී ඇත.

මනා පෙනුමක් ඇති තරුණ වයසේ කාන්තාවන් මෙහිදී හාම්පුතුන් විසින් රුපියල් මිලියනයකට පවා වටිනාකමක් ගෙවා ලිංගික වහලුන් සේ මිලට ගෙන තිබේ. වයස හා පෙනුම අනුව මිල තීරණය වන බවද හෙළිවී ඇත.

මෙහිදී රුපියල් මිලියනයේ වටිනාකමක් ගෙවා මිලදී ගත්තද එම කාන්තාවන්ට ඒජන්සිකරුවන් ගෙවා ඇත්තේ සොච්චමක් බවද විමර්ශන කණ්ඩායම් අනාවරණය කරගෙන ඇත. මේ බව හෙළිවී ඇත්තේ ජනපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙන් ඕමානයට යැවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හා රාජ්‍ය ඔත්තු සේවාවේ නිලධාරීන් කළ විමර්ශනයකදීය.

ඩුබායි රාජ්‍යයට සංචාරකයන් මෙන් රැගෙන ගොස් අල්බුරේහි දේශසීමාව ඔස්සේ බස් මගින් ඕමානයට රැගෙන යාම එක් ජාවාරමකි. ඉන්දියාවට සංචාරක වීසා මත රැගෙන ගොස් ඕමානයට රැගෙන යාමද ජාවාරම්කරුවන්ගේ තවත් සැලැස්මකි.

ජාවාරම්කරුවන් විසින් රැකියා නියෝජිත කාර්යාලයට රැගෙන යන අතරේත් බහුතරයක් දූෂණයට ලක්වූ බවද අනාවරණය වී තිබේ. මෙම ඒජන්තවරුන් ළඟට ගිය පසුව ගුවන් ගමන් බලපත්‍රය හා ජංගම දුරකථනය ඔවුන් භාරයට ගෙන කාන්තාවන්ගේ විස්තර සහිත වීඩියෝ පට රැගෙන හාම්පුතුන්ට යවා ඔවුන් ප්‍රදර්ශනයට ගෙන්නා ගන්නා බව හෙළිවී ඇත. ප්‍රදර්ශනයේදී තෝරාගෙන හාම්පුතා වෙත රැගෙන යන අතරේ ටැක්සි රියැදුරන් පවා කාන්තාවන් දූෂණය කරන බවද හෙළිවී තිබේ.

හාම්පුතුන් විසින් මිලදී ගන්නා කාන්තාව තමන්ගේ වත්කමක් සේ සලකා අසීමිත වැඩ කන්දරාවක් දීමට අමතරව ඔවුන්ගේ ඥාති නිවාසවලද සේවයේ යොදවා ලිංගික අතවරයන්ටද ලක්කර ඇත. හාම්පුතුන්ගේ අතවරයට හා හිංසනයට ලක්ව එම නිවෙස්වලින් පැන යන කාන්තාවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගෘහ සේවය යටතේ ලියාපදිංචි නොවූවන් නිසා ඔවුන්ට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටද යෑමට නොහැකි බව හෙළිවී ඇත.

මෙම කාන්තාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගියද හාම්පුතුන් විසින් ඔවුන්ට මුදල් ගෙවා වසර ගණනකට මිලදී ගෙන ඇති නිසා එරට නීතිය අනුව තානාපති කාර්යාලයටද මැදිහත්වීමට නොහැකි බවද අනාවරණය වී තිබේ.

තානාපති කාර්යාලයෙන් සහනයක් ගෙන ලංකාවට පැමිණීමට නොහැකි අයව ඒජන්තවරුන් විසින් එරට ගණිනා ජාවාරමට යොදවාගෙන බංගලිදේශ ඇතුළු විදේශිකයන්ට විකුණා ලිංගික වහල් වෙළෙඳාමට යොදා ගන්නා බවද හෙළිවී ඇත.

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආසන්නයේ පවත්වාගෙන යන සුරක්ෂා ආරක්ෂක නිවස්නයේ සිටින කාන්තාවන් 45 දෙනා අතර මෙවැනි ජාවාරම්වලට කොටුවූ කාන්තාවක්ද සිටින බව හෙළිදී තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි නොකර රැකියා සිහින පෙන්වා කාන්තාවන් සංචාරක වීසාවලින් රැගෙන යන ජාවාරමට දැඩි දඬුවම් පැමිණවීමට ක්‍රියාමාර්ග නොගතහොත් මෙම ජාවාරමට වැට බැඳීම අසීරු බව විමර්ශකයන් පෙන්වා දෙයි. මේ සඳහා මධ්‍යකාලීන හා දීර්ඝකාලීන සැලසුම් ක්‍රියාත්මක විය යුතු බවද ඔවුන් පෙන්වා දෙති.

– Aruna

Social Sharing
නවතම