රියැලිටි ෂෝ 13 ට අඩු දරුවන්ට තහනම් වෙන ලකුණු!

පහුගිය සති කිහිපය පුරා රටේ අවධානය යොමු වුයේ ප්‍රසිද්ධ රූපවාහීනී නාලිකාවක් විසින් සංවිධානය කරන කරන රියැලිටි වැඩසටහන් රැසකදී එහි පසුතල නිර්මාණ ශිල්පියා අතින් කුඩා දරුවන් රැසක් අපයෝජනය වීමේ සිදුවීම කෙරෙහිය.

විටෙක පෞද්ගලික උපකාරක ගුරුවරයෙකු ලෙසින්ද පෙනී සිට ඇති ඔහු කුඩා දරුවන් අපයෝජන ය කර ඒවා විදේශයට අලෙවි කරන්නටද ඇති බවට පොලීසිය සැක පළ කරනු ලබයි. කෙසේ නමුදු මේ වන විටත් ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

මේ අතර, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාද මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කර තිබු අතර ඔහු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ගෙන්වා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණි. එහිදී ඔහු දැඩි ලෙස කියා තිබුණේ දරුවන් සුරක්ෂිත කළ යුතු බවය.

ඒ අනුව රූපවාහීනී රියැලිටි වැඩසටහන් සඳහා මින් ඉදිරියට වයස අවුරුදු 13 ට අඩු දරුවන් යොදා ගැනීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරන මහතා තීරණය කර තිබේ.

එම මාර්ගෝපදේශ පිලිනොපදින නාලිකා වෙනුවෙන් නීතිමය පියවර ගන්නා බවද ඔහු පවසයි.

එමෙන්ම වෙලඳ දැන්වීම් හා දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහාද දරුවන් යොදා ගැනීම වැලැක්වීම මේ සමඟම හඳුන්වාදිමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියි.

පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා කියා සිටින්නේ මේ වන විට දරුවන් සයිබර් අපරාධ වලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් ඇති බවය. ඒ ජංගම දුරකතන හා පරිඝණක හරහාය.

ඒ නිසා මේවායෙන් දරුවන් බේරා ගැනීමට නම් දෙමාපියන්ද සක්‍රීය දායකත්වයක්, භූමිකාවක් ඉටු කළ යුතුව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

-ශානිකා-

Social Sharing
නවතම