වළ

 

අපි කිව්වෙ වළ කියල.
පැය විසි හතර පුරාම ඕනෙ කෙනෙක්ට වළට යන්න පුළුවන්… කොයිම වෙලාවකවත් වළ හිස් නෑ. දෙපැත්තෙ තියන පොත් ගොඩවල් දෙක නිසා මැද ඉන්නෙ කවුද හොයන්න බැරිවෙන වෙලාවල් තියනව. පාන්දර තුනට විතර මිනී ඔළුවක් අත ගාමින් කල්පනා කරන වෛද්‍ය ශිෂ්‍යයො දැක්කම වැම්පයර් චිත්‍රපට මතක් වෙනව. ඒ අතරෙ පාන්දර හතරට විතර පෙම් කවි ලියන ලියන පෙම්වත්තු නොහිටියාම නෙවේ.
වළට ඇවිල්ලත් ඕප දූප කතා කරන අය හිටියත් ඒ කයිවාරුවේ සද්දෙ වැඩි වුණු ගමන් ඔක්කොම හැමෝම ඒ පැත්තට හිස් හරවල බලන්නෙ අපරාධ කාරයෙක් පාරෙ දැක්ක වගේ.

මුල් මාස හතර පහේ ලංකාවෙ විශ්ව විද්‍යාල වල නම් වළට යන්න අමාරුයි.. රැග් එක නිසා.
යුරෝපා රටවල රැග් එක එක අහන්න දකින්න නෑ. කොහොම වුනත් වළ අපූරු තැනක්. ( වළට කියන තවත් නමක් Study room නැත්තං Study Space) .

ලෝකෙ හැම විශ්ව විද්‍යාලයකම වගේ ඒ අයටම ආවේණික වළවල් තියනව.
නමුත් ඒව එකිනෙකට වෙනස්.

වළ විතරක් නෙවේ, අධ්‍යාපන ක්‍රමය…. ගුරුවරු… ශිෂ්‍යයො මේ හැමදේම වෙනස්.
යුරෝප‍යේ වගේම උතුරු ඇමරිකාවෙත් විශ්ව විද්‍යාල කියන්නෙ බොහොම විවෘත්ත ස්ථාන. ඒ වගේ තැන්වල ආරක්ශක නිළධාරීන් .. යතුරු.. ඉබ්බො දකින්න නැති තරම්.

යුරෝපයේ ඉගෙන ගන්න මුල් කාලෙ මම දවසක් ගුරුවරයෙක්ගෙන් ඇහුවා “ කිසිම කෙනෙක් කිසිම දෙයක් පාලනය කරන්නෙ නෑ… ඕනෙම කෙනෙක්ට ඇතුලට එන්න පුළුවන්. මේක අනාරක්ශිත නැද්ද.? “
“ආරක්ශා කරන්නෙ මොනවද තරුණයා….?
“මේ අදහස් හුවමාරු වෙන ස්ථානයක්. මේක දැනුම බෙදන ස්ථානයක්… දැනුම හොරකම් කරන්න බෑ.”
එයා කියනව මට මතකයි.
විශ්ව විද්‍යාල පරිශ්‍ර භාහිර සමාජයට විවෘත්තයි. එලිමහන් අවකාශ වල සිසුන් ගුරුවරුන් වගේම .. කවියන්… ගත් කරුවන් විතරක් නෙවේ පාරෙ තොටේ ඕනෙම කෙනෙක්ට මේ කුඩා සංවාද වලට සහභාගි වෙන්න පුළුවන්.

න්‍යායික දැනුම ප්‍රායෝගික අදහස් එක්ක එකතු වෙන මේ සංවාද පුදුමාකාර විදිහට රසවත්.
ගුරුවරුන්ට සර් මැඩම් කියන්නෙ නෑ. බොහොම පිලිගත් … ජ්‍යේශ්ඨයින්ට ප්‍රොෆෙසර් කියල කතා කරත් පොදු වශයෙන් හැමෝටම නම කියල කතා කරන්නෙ.
ගුරුවරය කොයිම වෙලාවකවත් වේදිකාවෙ විතරක් ඉන්නෙ නැහැ. බොහෝ වෙලාවට මුළු ශාලාව පුරාම ඇවිදිනව. ඉඩ තියන තැනක වාඩි වෙනව.
කිසිම පීඩනයක් නැහැ මේ ශාලාවල.
වළ වගේම දේශණ ශාලා විවෘත්තයි. හෝඩියේ පන්තියේ වගේ නම ලකුණු කරන්නෙ නෑ.
අළුතින්ම ආපු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගුරුවරු කියන්නෙ ” විභාග තියල සමත්ද සමත්ද කියල බලන්න අපිට අවශ්‍ය නෑ… මේ හැමදෙනාම මෙතෙන්ට ඇවිත් තියෙන්නෙ දක්ශයො නිසා… මෙතනදි අපි කරන්නෙ දැනුම හුවමාරු කර ගැනීම.. ලබාගත්ත දැනුම ප්‍රායෝගික ලෝකෙදි භාවිතා කරන්නෙ කොහොමද කියල දැන ගන්න එක… කෙනෙක් තෝර ගත්ත මාවතේ තව ටිකක් ඉදිරියට යන එකට මග පෙන්වීමක් විතරයි.”

ශිෂ්‍යයෙක් අසමත් වෙනව නම්.. හරියට පිළිතුරු සපයන්න බැරිවෙනව නම් ගුරුවරු පිලිගන්නෙ ඒක ගුරුවරුන්ගෙ වැරැද්දක් කියල.

වළට කිට්ටුවෙන් තියනව සාකච්ඡා කාමරය… දේශණයකදි යම් දෙයක් තේරුනේ නැත්තං අදාලා ගුරුවරය සාකච්ඡා කාමරේ ඉන්නව අදාල සිසුවා හෝ සිසුවිය එනකල්.

මට මතක් වෙනව ඒ කාලෙ ලංකාවෙ හිටපු සමහර විශ්ව විද්‍යාල ගුරුවරු….
“මගේ විශයට ඒ “A” සාමාර්ථයක් ගත්ත කිසිම කෙනෙක් නෑ පහුගිය අවුරුදු දෙක තුන තුල .. පුළුවන් නම් ඔන්න උත්සාහ කරන්න.. වැඩ කාරයෙක් ඉන්නව නම්. මීට අවුරුදු දාහතරකට කලින් මම ඒ සාමාර්ථයක් ගත්ත” ඒ එක ගුරුවරයෙක් පලවෙනි දේශණාවට කියපු දේ. ඒක කියන්නෙ පුදුමාකාර ආඩම්භරයකින්.

ඒ වචන වල තියන ආඩම්භරය.. ඊරිසියාව ඕනෙම පොඩි දරුවෙකුට තේරෙනව.. දැනෙනව.
තව ගුරුවරයෙක් හිටිය එයාගෙ නම අන්නන්පිල.. හේතුව එයා බලන්නෙ අන්නන්මයි. එහෙමත් නැත්තං විභාගෙ ෆේල් කරන්න…
මේ ගුරුවරු හරි ප්‍රසිද්ධයි පුළුවන් තරම් ශිෂ්‍ය ශිෂ්‍යාවො අසමත් කරන්න.

හැකි තරම් ශිෂ්‍යන්ව පහත් කරන්නත් තමන් වීරයෙක් බව පෙන්නන්නත් මේ අය දේශණා වලදි නොකරන දෙයක් නෑ. ( හැම ගුරුවරයම නෙවේ)
එහෙම ගුරුවරු මට විදේශයන් වලදි හමුවෙලා නෑ. හැම ගුරුවරයම බලන්නෙ පුළුවන් තරම් දැනුම දෙන්න මිස.. ඒ දැනුම නිවැරදිව තේරුම් ගත්තද බලන්න මිස සීයට අසූවක් අනූවක් ලකුණු දීල වීරයා තෝරන්න නෙවේ.

හැම ගුරුවරයම පුළුවන් තරම් උත්සාහ කරන්නෙ තමන්ගෙ ගෝලයන්ව ඉහලින් සමත් කරන්න මිස අසමත් කරන්න නෙවේ.
ඒ අය අතර තියෙන්නෙ සහයෝගයක් .. උදව් කරගැනීමක් මිස තරඟයක් හෝ ගුරු ගෝල සටනක් නෙවේ.

බොහොම විශ්ව විද්‍යාල වල විභාගයට වඩා තැනක් දෙන්නෙ ඉදිරිපත් කිරීමේ වැඩසටහන්.. නැත්තං ප්‍රසන්ටේශන් වලට.
පලවෙනි පන්තියේ සාමාර්ථ හෝ දෙවනි පන්තියේ සාමාර්ථ වලට වඩා ඒ අයට වැදගත් ප්‍රායෝගික දැනුම තියනවද බලන එක.

විශ්ව විද්‍යාල කිට්ටුව තියන අවන්හල්වල මේ ගුරුවරු හා ගෝලයො බොහොම සුහද සංවාද වල යෙදෙනව දකින්න පුළුවන් සති අන්තයේ බීර වීදුරුවක් එක්ක.
ගුරුවරයෙක්ගෙන් ප්‍රශ්ණයක් ඇහුවොත්… මම ඒක හරියට දන්නෙ නෑ… ඒ ගැන මට තියන දැනුම මදි… ඒකට උත්තර දෙන්න මට පොඩි කාලයක් අවශ්‍යයි වගේ උත්තර දෙන්න ගුරුවරු පැකිලෙන්නෙ නෑ.
ඒ අය අහසින් පාත්වුනු සුරංගනාවො විදිහට හැසිරෙන්නෙ නෑ. ඒක අධ්‍යාපනය වෙන්න ඇති.

අළුතෙන් එන අය පක්ශවලට බඳවා ගන්න පරන සිසුන්ට පුලුවන් කමක් හෝ අවශ්‍යතාවයක් නැත්තෙ පරණ සිසුන්ගෙ දේශපාලනය මොකද්ද කියල ඒ අයවත් දන්නෙ නැති නිසා.
මේ රටවල දේශපාලකයන් දේශපාලනය හරියාකාරව කරන නිසා විශ්ව විද්‍යාල සිසුන් අතර දේශපාලනය කිරීමේ උවමනාව ඉතාම අඩුයි.

සිසුන් ගුරුවරුන් එක්තරා ආකාරයක මිතුරන්…. මේ මිතුරු කම මත ගොඩනැගෙන අධ්‍යාපනය බොහොම සංවාදශීලීයි.. විවෘත්තයි.

 

වාර්සවික් විශ්ව විද්‍යාලයේ වළට ආපු සංචාරක තරුණියක් වළේ අසිරිය තමන්ගෙ දුරකථනයේ සටහන් කරන ආකාරය දැක්කම හිත ආපහු සැරයක් වළට ගියා.

මිනී ඔළු තියාගෙන පාඩම් කරපු ශිෂ්‍යයො අද ලෝකෙ කොහේ හරි කොනක වෛද්‍යවරයෙක් වෙන්න ඇති… එලි වෙනකම් ගිණුම හදපු අය අද බැංකු හෝ මූල්‍ය ආයතන වල ලොකු පුටුවල ඇති. කවි ලියපු තරුණයො තවම තනිකඩද… නැත්තම් දාර්ශණිකයො වෙලාද.. ඒක වෙනම ප්‍රශ්ණයක්…. රෑ එලිවෙනකල් පාඩම් කරල උදේ අටට මූණ හොදන්නෙවත් නැතිව දේශණ වලට ගිය ඛාන්ඩෙකුත් හිටිය…
“මූන හෝදන්න .. දත් මැදින්න මම නිදාගත්තයෑ.. විකාර. “. සමහරු කියපු විදිහ තවම මතකයි.
වළේ අද අළුත්ම කොටසක් ඇති. ගුරු ගෝල අවකාශය වෙනස් වෙලාද කියන්න නම් දන්නෙ නැහැ.
වළ ඒ විදිහම වුනත් අධ්‍යාපන ක්‍රමය තවමත් ඒ වළේමද කියල නොඅසාම බැහැ.

Malcom sang

උපුටා ගැනීම – ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම